දකුණු ඉන්දියානු චිත්‍රපට රස විඳින රසිකයන් තුළ මේ දිනවල මහා උන්මාදයක් ඇති කර ඇති සිනමාපටයක් ගැනයි මේ සටහන. මේ චිත්‍රපටයේ නම Pushpa 2: The Rule . තෙලිගු චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ අතිශය ජනපි‍්‍රය නළු නිළි දෙපළක් වන අල්ලූ අර්ජුන් සහ රශ්මිකා මන්දනා.
චිත්‍රපටය ප්‍රදර්ශණය ආරම්භ කළේ පසුගිය 6 වැනි දින යි. නමුත් මේ වනවිටත් එය ආදායම් වාර්තා රැසක් පිහිටුවන්නට සමත්ව තිබෙනවා. ප්‍රදර්ශණය ආරම්භ කර කෙටිම කාලයක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 1,000 ආදායම් සීමාව පසුකර ගිය ඉන්දීය චිත්‍රපටය ලෙස Pushpa 2 විසින් පිහිටුවන ලද වාර්තාව ඒ අතරින් ප්‍රධානයි. මෙම ආදායම් සීමාව පසුකර යාමට එයට ගත වුණේ දින 6 ක් පමණයි.
එමෙන්ම තිරගත වූ පළමු දිනයේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු සිනමාපටය හැටියටත් එය වාර්තාවක් පිහිටුවූවා. ඒ, පළමු දිනයේ ඉන්දියානු රුපියල් කෝටි 280 කට ආසන්න ආදායමක් උපයමින්. මෙම වාර්තාවට ඊට පෙර හිමිකම් කීවේ තවත් තෙලිගු චිත්‍රපටයක් වූRRR චිත්‍රපටය යි. එස්. එස්. රාජමෞලි අධ්‍යක්ෂණය කළ එම සිනමාපටය තිරගත වුණේ 2022 වසරේ යි.
මෙම සටහන ලියන දෙසැම්බර් 21 වැනි දින වනවිට Pushpa 2 ලොව පුරා ප්රදර්ශණයෙන් උපයා තිබූ ආදායම ඉ. රුපියල් කෝටි 1,500 ක්. ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලැයිස්තුවේ තුන්වැනි තැනට ළඟා වීමටත් ඒ වනවිට ඊට හැකි වී තිබුණා. ආමීර් ඛාන් ගේ දන්ගල් පළමු තැන සිටින අතර දෙවැනි තැන සිටින්නේ බාහුබලී-2 චිත්‍රපටය යි. ඉදිරියේ ද්ී Pushpa 2 මෙම ලැයිස්තුවේ තවත් ඉහළට යාමට ඉඩ තිබෙනවා.
Pushpa 2 චිත්‍රපටය 2021 වසරේ තිරගත වූ Pushpa: The Rise චිත්‍රපටයේ දෙවැනි කොටස යි. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවන නීති විරෝධී රත් හඳුන් දැව ජාවාරමක් පිලිබඳ කතාවක් තමයි මෙම චිත්‍රපටවලට පසුබිම් වන්නේ. අර්ජුන් මේවායේ රඟපාන්නේ පුෂ්ප රාජ් නැමැති චරිතයක්. මුලින් සාමාන්‍ය කම්කරුවකු ලෙස මෙම ජාවාරම් කල්ලියකට බැඳෙන පුෂ්ප පසුව සිය කපටි ඥනය සහ එඩිතර බව තුළින් එහි නායකත්වයට පත් වෙනවා. ඔහු මුහුණ දෙන අභියෝග සහ ඔහුගේ වික්‍රමයන් මෙම චිත්‍රපටවලින් නිරූපනය වෙනවා. ශී්රවල්ලි තමයි පුෂ්ප රාජ් ගේ පෙම්වතිය සහ (පසුව) බිරිඳ. මෙම චරිතය රඟපාන්නේ ජනප්‍රිය නිළි රශ්මිකා මන්දනා. අර්ජුන්ට සහ රශ්මිකාට අමතරව තවත් දක්ෂ නළුවකු වන ෆහාද් ෆාසිල් ද Pushpa 2 හි ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා. ඔහු රඟපාන්නේ පුෂ්ප රාජ් සමග ගැටෙන පොලිස් නිලධාරියකු ගේ චරිතයක්.
මෙම සිනමාපටය නිසා අල්ලූ අර්ජුන් ද වාර්තාවක් පිහිටෙව්වා. ඒ, චිත්‍රපටයක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කළ ඉන්දියානු නළුවා හැටියට යි. Pushpa 2 හි රඟපෑම සඳහා ඔහු ඉ. රුපියල් කෝටි 300 ක මුදලක් අය කර ඇති බවක් මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙය ලංකා රුපියල් කෝටි 1,000 කට කිට්ටු මුදලක්. මෙයට කලින් මෙම වාර්තාවට හිමිකම් කීවේ දෙමළ සිනමාවේ සුපිරි නළු විජේ. ඔහු මේ දිනවල අලූත් චිත්‍රපටයක රඟපාමින් සිටින අතර එය දැනට තාවකාලිකව නම් කර ඇත්තේ ‘තලපති 69’ යනුවෙන්. මෙය විජේ රඟපාන අවසන් චිත්‍රපටය වනු ඇති බවත් පැවසෙනවා. ඒ ඔහු එයින් පසු පූර්ණ කාලීනව දේශපාලනයට කැප වීමට අදහස් කරන නිසා යි. ‘තලපති 69’ චිත්‍රපටයේ රඟපෑම සඳහා විජේ ඉ. රුපියල් කෝටි 275 ක මුදලක් අය කළ බව සඳහන්.
Pushpa 2 චිත්‍රපටය නිසා පසුගිය දිනෙක අල්ලූ අර්ජුන්ට අත්අඩංගුවට පත් වීමටත් සිදු වුණා. ඒ චිත්‍රපට ශාලාවක ඇති වූ තදබදයක් හේතුවෙන් කාන්තාවක මරණයට පත් වීමේ සිද්ධියකට අදාළව යි. මෙම සිද්ධිය සිදුව තිබුණේ හයිද්‍රබාද් හි පිහිටි සිනමා ශාලාවක යි.
එක් දිනක් අල්ලූ අර්ජුන් සිය පවුලේ උදවියත් සමග මෙම සිනමා ශාලාවේ Pushpa 2 රාත්‍රී දර්ශණයක් නැරඹීමට ගොස් තිබුණා. එම වෙලාවේ ඇති වූ තදබදයකින් තමයි අර කාන්තාව මිය ගොස් තිබුණේ. ඇය සමග සිටි 8 හැවිරිදි දරුවාත් බරපතල ලෙස රෝගී වී රෝහල්ගත කර තිබුණා. ඔහුගේ තත්වයත් ඉතා බරපතල බවයි සඳහන් වුණේ.
මෙම සිද්ධියට අදාළව අර්ජුන්ට චෝදනා එල්ල වුණේ ඔහු පූර්ව දැනුම් දීමකින් තොරව සිනමා ශාලාවට පැමිණ තිබූ බවක් පැවසුණු නිසා යි. ඔහුවත්, ඔහුගේ ආරක්ෂකයින්වත්, සිනමා ශාලාවේ කළමනාකාරිත්වයවත් අර්ජුන් ගේ පැමිණීම සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කර නොතිබුණු බවක් ඇතැම් පාර්ශ්ව පවසා තිබුණා. එවැනි දැනුම්වත් කිරීමක් කර තිබුණා නම් ජනතාව හැසිරවීම සඳහා පොලිසියට පැමිණීමට හැකියාව තිබුණා. අර්ජුන් ගේ ආරක්ෂකයින් එහි රැස්ව සිටි ජනතාව තල්ලූ කරන්නට යාම නිසා තත්වය වඩාත් දරුණු වී තිබූ බවක් හයිද්‍රබාද් පොලිසිය සඳහන් කළා.
කෙසේ නමුත් අර්ජුන් ගේ නීතිඥයන් පසුව සඳහන් කර තිබුණේ සිනමා ශාලාවේ කළමනාකරුවන් අර්ජුන් ගේ පැමිණීම ගැන පොලිසියට දැනුම් දී තිබූ බවයි. නමුත් ඇත්ත කියන්නේ කව්ද යන්න පැහැදිලි නැහැ.
මෙම සිද්ධියට අදාළව අර්ජුන්ට සහ සිනමා ශාලාවේ කළමනාකාරිත්වයට එරෙහිව මිය ගිය කාන්තාවගේ සැමියා පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර අර්ජුන් අත්අඩංගුවට ගත්තේ ඒ අනුව යි. ඔහු දින 14 ක් පොලිස් භාරයේ තබා ගැනීමට අධිකරණයක් මුලින් නියෝග කර තිබුණත් පසුව මහාධිකරණයක් ඔහු ඇප මත නිදහස් කර තිබුණා. නමුත් එක රාති‍්‍රයක් ඔහුට පොලිසිය තුළ නිදා ගැනීමට සිදුව තිබූ බව පැවසෙනවා.
අර්ජුන්ට එරෙහිව ගොනු කළ පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීමට කැමති බවක් මිය ගිය කාන්තාවගේ සැමියා පසුව සඳහන් කර තිබුණා. අර්ජුන් එම පවුලට උදව් කිරීමට පොරොන්දු වී ඇති බවත් සඳහන්.
නිහාල් පීරිස්