එදා මෙදා තුර ලෝකයේ බිහි වුණු හැම කවි කිවිඳියකටම කිනම් හෝ දැක්මක් තිබෙනවා.ඔවුන් ගේ කවි නිර්මාණ වලින් ඒ දැක්ම සියුම් ලෙස හෝ එළි දැක තිබෙන්න පුළුවන්.රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්ය වරියක් විදිහට කටයුතු කරන රසිකා මුහන්දිරම්ගේ.ලියූ “තාත්තා හමු වුණේ කොහොමද ?”නම් මේ පද්‍ය රචනය තුළිනුත් ඒ වගේ දැක්මක් යාන්තමට ඉස්මතු වෙන බවකුයි අපට හැඟෙන්නේ. ඒ ඇය මේ නිර්මාණය කාන්තා කේන්ද්‍රීය දෘෂ්ටියකින් නිර්මාණය කොට තිබීම හින්දයි.නමුත් “තාත්තා හමු වුණේ කොහොමද ?”පද්‍ය රචනය තුළින් අපට යමක් සෘජුවම නොපවසන රසිකා එය අපට වටහා ගන්නට ඉඩ හැර නිහඬ වෙනවා. “ගම ගාල්ලෙ” යන විශේෂණයට හිමිකම් කියන රසිකා මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයෙන්. පසුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට යොමු වුණු ඇගේ විෂය ක්ෂේත්රය වුණේ සමාජ විද්‍යාවයි. රසිකා පුතුන් දෙදෙනෙකු ගේ මවක්. ඇගේ සැමියා රක්ෂණ සමාගමක සේවය කරනවා. “මම වෘත්තියත් ශාස්ත්‍රීය වැඩත් එක්ක කවියටත් මුල් තැන දෙමින් කටයුතු කරනවා. .මගේ සතුට තියෙන්නේ කවි ලිවීම තුළ.විශේෂයෙන්ම ස්ත්‍රීත්වය පිළිබඳ තමයි කවියෙන් මම කතා කරන්නේ.එකම පොතක් කරලා තියෙනවා `ගෑනු හිටියෙම හිනා වීගෙන` කියලා”රසිකා අපට කීවේ එහෙමයි.එහෙනම් දැන් අපි බලමු ඇය කියන විදිහට “තාත්තා හමු වුණේ කොහොමද ?”කියලා
තාත්තා හමු වුණේ කොහොමද ?
මා තුරුණු විය එළිපත්ත
මනමාල ඇස් කුරුමානම් අල්ලන
කුහුලින් පිරි ප්‍රේමය
විමසුවෙමි අම්මාගෙන්
තාත්තා හමු වුණේ කෙලෙසද…?
ලිපි ගිනි අව්ලන්න
පූ කරන දුම් බට දරණ
දර කඩන් මැස්ස පුරවන
ඒ ගමන් තාත්තාගේ තේ එක
හාන්සි පුටුවට වඩම්මන
අම්මා සිනාසුනා පමණය…
මා ඔහු හා බැඳුණු පළමු දින
ඉහවහා ගිය ප්‍රහර්ෂයෙන් මන්මත්ව
එදා රෑත් සුපුරුදු ලෙස
ඇගෙන් විමසුවෙමි
තාත්තා හමු වුණේ කෙලෙසද…?
බත් වඩවා මේසයට
තාත්තාගේ පිඟන් කෝප්ප ළංකර
වළදේ අඩියේ ඇතැයි රසම ටික
අතඟා ඉඟිමරමින් මට කවන
අම්මා සිනාසුනා පමණය…
මා ඔහු හා මධුසමය ගතකර
ඔහුගේ නිවසේ පළමු උදෑසන
ඔහු සදා දුන් කිරිබර
තේ කෝප්පය විඳමින….
අප හැමෝටට තේ සදා දී උණුවට
මඳක් නිවුණු කහට බඳුන
අල්ලට ගත් සීනි හා මුසුකර
කුස්සි පඩියේ වාඩිව
ඈත බලාගත් නිමක් නැති
කල්පනාවක ගිලුණ
අම්මාට කවදා හෝ තාත්තා හමුවී නැති බව
පසක් කර ගතිමි
ප්‍රශ්න නොනඟාම.
රසිකා මුහන්දිරම්ගේ