රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම්වලට අදාළව ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙර රජයේ එක් එක් ආයතනවල සිටින කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කරන ලෙස අගමැති ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.
අදාළ සමාලෝචන රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණයට අදාළව පත් කරන ලද කමිටුවට දැනුම් දෙන ලෙස ද එම ලිපියේ දැක්වේ.
දැනටමත් අනුමත කාර්ය මණ්ඩලය මගින් තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය නව ඊ-රාජ්‍ය මහජන සේවා ප්‍රවේශය සහ නව මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදය හරහා නිසි මානව සම්පත් ඇගැයීමක් සිදුවෙතැයි කමිටුව බලාපොරොත්තු වන බවද අදාළ ලිපියේ දැක්වේ.
පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ සේවක සංඛ්‍යාව ප්‍රසාරණය නොවන අයුරින් කටයුතු කරමින් අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ කමිටුවට බලතල පැවරී ඇතැයි ද අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී යොමු කරන ලද ලිපියේ දැක්වේ.
ඒ අනුව, එක් එක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුව, පළාත් සභාව, ආයතනය සඳහා දැනටමත් අනුමතව පවතින කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව, පිළිවෙළින් ප්‍රතිශතයක් ලෙස ජ්‍යෙෂ්ඨ, ද්විතීයික සහ ප්‍රාථමික යනාදි ලෙස පෙළගස්වා, සංශෝධිත කාර්ය මණ්ඩල සීමාවන් සකස් කරන ලෙසත්, අවශ්‍ය ප්රශස්ත සේවක සංඛ්‍යාව ද ගණනය කර එම නව කාර්ය මණ්ඩලයේ සැලසුම සකස් කරන ලෙසද අදාළ ලිපියේ සඳහන් කර ඇත.
එමෙන්ම, තවදුරටත් පුරප්පාඩු පවතින බවට විද්‍යාමාන වන්නේ නම් පමණක් ඊට අදාළ ආකෘතිය පුරවා කමිටුවට ඉදිරිපත් කරන ලෙස ද අදාළ ලිපියේ සඳහන් කර තිබේ.