රාත්‍රියට අඳුරේ ගිලෙන නව ගාලු පාරේ කිලෝමීටර 6ක්

පානදුර, අලුත් පාලම සිට මොරටුව දෙසට කිලෝමීටර හයක පමණ ප්‍රදේශය රාත්‍රි කාලයේ දැඩි අඳුරේ පැවතීමෙන් ජනතාව විශාල අවදානමකට මුහුණදෙමින් සිටියි.

ගැටලුව මතුව ඇත්තේ 2021 වසරේ විදුලි අර්බුදය මැද ගලවා දැමූ එම මාර්ගයේ විදුලි පහන් යළි පිළිසකර නොකිරීම හේතුවෙනි.මේ තත්ත්වය පවතින්නේ පානදුර අලුත් පාලම ප්‍රදේශයේ සිට මොරටුව නව නගරය දක්වා දිවෙන නව ගාලු පාරේය.

අතිශය ජනාකීර්ණ මෙම මාර්ගයේ රාත්‍රී කාලයේදීත් විශාල රථවාහන සංඛ්‍යාවක් ගමන් කරයි.තත්ත්වය එසේ වද්දී 2021 වසරේ සිට මෙතෙක් වසර 4කට අධික කාලයක් මෙම මාර්ගයේ කිලෝමීටර 6ක පමණ මෙම කොටස පවතින්නේ දැඩි අන්ධකාරයකය.

මාර්ගය දෙපස පදික වෙළෙඳුන්ට මෙන්ම මාර්ගයේ ගමන් කරන ජනතාවට මේ හේතුවෙන් විශාල අවදානමකට මුහුණදීමට සිදුව තිබේ.මේ හේතුවෙන් ජනතාවට හුළුඅතු දල්වාගෙන මහමඟ ගමන් කිරිමට සිදුව ඇත.මාර්ගයේ අඳුරේ පවතින මෝදර, එගොඩ උයන, කටුකුරුන්ද, කොරළවැල්ල සහ මොරටුවැල්ල ආශ්‍රිත ප්‍රදේශ තුළ රාත්‍රියේ රිය අනතුරුවලද වර්ධනයක් දැකිය හැකිය.

ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදී අදාළ අංශ දැනුම්වත් කළත් මේ වනතෙක් විසඳුම් ලබාදී නැත.අප මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විදුලි පහන් යළි සකස්කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් නොවීම හේතුවෙන් එය ප්‍රමාද වූ බවය.

දැනට එම විදුලි පහන් පේනු ලුණු බැඳී අබලන්ව ඇති බවත් ඒවා පිළිසකර කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කාලීන පුවත්