රාම කුමරු රාවණා රජුට පහර දීමට ඉදි කළ ඉන්දු ලංකා පාලම යළි ඉදි වේද?

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය වසර දහස් ගණනක අතීතයකට නෑකම් කියන බව සැබෑ මුත් මෑත වකවානුවේ ඉතිහාසයේ කවරදාකටවත් වඩා ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කරන ආකාරයක් පැහැදිලිව ම දකින්නට ලැබේ. මෙයට එක් හේතුවක් ලෙස දකින්නට ඇත්තේ තිබෙන්නේ IMF ණය ආධාර ලබාගැනීමේ ක්‍රියාවලිය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ය. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති රාශියක් ඇති කිරීම සඳහා ද එරට ඉදිරිපත් වී සිටියි. ‘රාම සේතු’ එසේත් නැත්නම් ‘රාම පාලම’ පිළිබඳ කතාබහ නැවත කරළියට පැමිණ තිබෙන්නේ මේ අතරතුරේ දී ය.

රාම සේතු පාලමේ පුරාවෘත්තය

මෙයට ‘රාම සේතු’ හෝ ‘රාම පාලම’ ලෙස ඉන්දියාව තුළ හඳුන්වනු ලැබුව ද සිතියම්වල මෙය දක්වා ඇත්තේ ‘ආදම්ගේ පාලම’ වශයෙනි. එයට හේතුව බයිබලය සහ කුරානය යන ආගමික ග්‍රන්ථ දෙකේ ම සඳහන් වේ. මේ ආගමික ග්‍රන්ථ දෙකේ ම ආදම්ගේ උයනක් පිළිබඳ සඳහන් වේ. ඇතැම් විශ්වාසයන්ට අනුව ආදම්ගේ උයන පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාව සමනළ කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ය. සමනළ කඳු මුදුන ‘ආදම්ගේ මුදුන’ වශයෙන් සිතියම්වල දක්වා ඇත්තේ ද මේ නිසා ය. ඉන්දියාවේ සිට ආදම්ගේ උයන දක්වා පයින් ගමන් කිරීම සඳහා මෙවැනි පාලමක් ඉදි කරන්නට ඇති බවට ද මේ අනුව මතයක් පවතී. රාමායනයට අනුව නම් වානර හමුදාව මෙය ඉදි කොට ඇත්තේ රාම කුමරුගේ ප්‍රියංබිකාව වන සීතා දේවීය යළි බේරා ගැනීම පිණිසය. රාවණාට පහරදීම පිණිස ඉන්දියාවේ සිට ලංකාව තෙක් ඇති මෙම මාර්ගය තනා ඇත්තේ පාවෙන පාෂාණ විශේෂයක් උපයෝගී කොට ගනිමිනි. මෙවැනි පාවෙන පාෂාණ අදටත් ඉන්දියාවේ රාමේෂ්වරම් අවට ප්‍රදේශයේ දකින්නට ලැබීම ද විශේෂිත මෙන් ම විමතියට ද කාරණයකි.

ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපත අතර දුර කිලෝමීටර් 48 කි. ඉන්දියාව ආරම්භ කළ ‘රාමේෂ්වරම් ව්‍යාපෘතිය’ (Project Rameswaram) මගින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව මේ මේ පාලම පිළිබඳ වාර්තා වසර 7,000 – 18,000 අතර කාලයක තුළ දෙරට තුළින් ම හමු වෙයි. නමුත් විද්‍යාත්මක ව දින වකවානු ගණනය කිරීමේ දී පෙනී යන්නේ ඒවා වසර 3,500 කට වඩා පැරණි නැති බව ය. ඓතිහාසික වාර්තා සහ විද්‍යාත්මක කාරණා අතර දැඩි පරස්පරයක් පවතී. මෙය ස්වාභාවික නිර්මාණයක් ද, නැතහොත් මිනිසා හෝ වෙනත් යම් ජන කොට්ඨාශයක නිර්මාණයක් ද යන සාධාරණ සැකය මතු වීමට එය ම හේතුවක් වී තිබේ. පැරණි වාර්තාවන්ට අනුව ක්‍රි.ව. 1480 වන තෙක් ම මේ පාලම හරහා ශ්‍රී ලංකාවට පයින් ඇවිද ගෙන පැමිණීමේ හැකියාව තිබී ඇත. කෙසේ නමුත් ඉන්දියාව මෙය මිනිස් හෝ වෙන යම් ජන කොට්ඨාශයක ශ්‍රමයෙන් ඉදි කරන ලද්දක් බවට නිල වශයෙන් ප්‍රකාශ කරන්නට ඉන්දියාව තවමත් ඉදිරිපත් වී නැත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් ඉදිකරයිද?

2002 – 2004 සමයේ ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානයත් අතර සාම ගිවිසුමක් ක්‍රියාත්මක වූ අතර මේ කාලයේ එවකට අගමැති ව සිටි, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ‘හනුමන් පාලම’ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන්නැයි ඉල්ලා සිටියේ ය. මෙය ‘පෝක් සමුද්‍ර පාලම සහ උමග’ (Palk Strait bridge and Tunnel) යනුවෙන් නම් කොට තිබූ අතර එහි උපරිම දුර කිලෝමීටර් 30 ක් විය. 2015 වසරේ දී ඉන්දියාවේ මහාමාර්ග හා ප්‍රවාහන ඇමති නිතින් ගෝදාකරී මේ පාලම් ව්‍යාපෘතියේ යෝජනාව ආසියානු සංවර්ධන බැංකුවට ඉදිරිපත් කළේ ය. නමුත් 2015 දී ශ්‍රී ලංකාවේ මහාමාර්ග හා ප්‍රවාහන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මෙයට චීනය කැමති නැති බව පවසමින් මේ යෝජනාව ඉවත දැමුවේ ය.

මේ පාලම ඉදිකිරීම සම්බන්ධව සක්‍යතා වාර්තාවක් 2018 වසරේ දී ඉන්දියාව විසින් සකස් කරන ලදී. මේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ මෙවැනි පාලමක් තුළින් වෙළෙඳාම, සංචාරක කර්මාන්තය සහ රැකියා අවස්ථා ජනිත වීම ආදිය වර්ධනය කළ හැකි බව ය. අනෙක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගැනීමේ අදහස ද ඉන්දීය පාලකයන් තුළ කලක සිට ම පවතින අදහසකි. හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් වූ ජවහර්ලාල් නේරු වරෙක පවසා තිබුණේ ශ්‍රී ලංකාව යනු සංස්කෘතික, ආගමික සහ සදාචාරාත්මක වශයෙන් ඉන්දියාවේ කොටසක් බව ය. අතීතය සම්බන්ධයෙන් එම කාරණා සත්‍ය වුව ද වර්තමානයට ඒවා එතරම් සත්‍ය වන්නේ නැත. එමෙන්ම දැනට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව පිහිටි වීමට ඉදිරිපත් වීම පසුපස ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් බවට පත්කර ගැනීමේ සිහිනය ද පැවතිය හැකි බව දේශපාලක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාව කුළ ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳ ව කතාබහක් පවතී. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ඉන්දියාවට යම් බලපෑමක් කළ හැකි වුවහොත්, ශ්‍රී ලංකාව නිරායාසයෙන් ම ඉන්දියාවේ ආර්ථික යටත් විජිතයක් බවට පත් වීම වළක්වා ගත නොහැක. ආර්ථික යටත් විජිත ස්වභාවය කාලයත් සමග භෞමික යටත් විජිතයක් දක්වා වර්ධනය ය වන්නට ද ඉඩ නැතිවාම නොවේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලම ඉදිකිරීම පිළිබඳ කතාව නැවත කෙමෙන් කරළියට එන්නේ මෙවැනි කාරණා ද පවතිද්දී ය. මේ පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් 2002- 2004 සමයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කරුණු ඉදිරිපත් කරද්දී ශ්‍රී ලංකාවේ විවිධ පාර්ශ්ව එයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කරන ලදී. එහි දී නැගුණු ප්‍රධාන චෝදනාව වූයේ දකුණු ඉන්දියානු සරණාගතයන් මිලියන ගණනක් මෙරටට ඇදී ඒමට ඇති ඉඩකඩ පිළිබඳ ය. එමෙන්ම ඉන්දියානුවන්ට පහසුවෙන් මෙරටට පැමිණීමට ඇති හැකියාව නිසා ශ්‍රී ලංකාව තුළ රැකියා ගැටලු ඇති වීමේ අවදානමක් පවතින බව ද පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් මේ පාලම ඉදිකිරීම පිළිබඳ නිල වශයෙන් කතාබහක් ඉස්මතු වන්නේ කුමන මොහොතක ද ඒ මොහොතේ සිට අප රටේ ඊට එරෙහිව විරෝධතාවන් මතු වී වළක්වා ගත නොහැකිය. දැන් අප රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියානුවන්ගෙන් ද ඊට විරෝධතාවක් මතු විය හැකි ය. ඒ ශ්‍රී ලාංකික සරණාගතයන් පහසුවෙන් ම ඉන්දියාවට පිවිසෙන්නට ඇති ඉඩකඩ නිසා ය. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව දැඩි සහයක් ලබා දීම පිටුපස සරණාගත ගැටලුවක් ද පවතින බැව් ඉන්දියාව විසින් සිදු කරන ලද ප්‍රකාශවලින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාව දැනට පවතින ආර්ථික අර්බුදයෙන් තවත් පහළට වැටී මෙරට ජීවත් වන්නට නොහැකිව ඉන්දියාවට පළා යන්නට සූදානම් වන සරණාගතයන්ගේ වර්ධනයක් සිදුවුවහොත් එය ඉන්දියාවට මහත් හිසරදයක් වන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට උදව් කිරීම තුළින් අනාගතයේ දී ශ්‍රී ලංකාව නිසා ඉන්දියාවට මුහුණ පාන්නට වේ යැයි ඔවුන් බියෙන් පසු වන සරණාගත ගැටලුව විසඳා ගත හැකි වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

මෙවැනි හේතු කාරණා මත දෙරට යා කෙරෙන රාම පාලම ඉදිකිරීම පිළිබඳ ස්ථිරව කිසිවක් පැවසීමේ හැකියාවක් නැත. නමුත් කරුණු කාරණා වෙනස් වන්නේ අප සිතන පතන ආකාරයට නොවේ. ලෝක දේශපාලනය කෙසේ හැසිරේ දැයි අපට අනාවැකි පළ කළ නොහැක. කෙසේ නමුත් රටවල් අතර ප්‍රවාහනය පහසුවෙන් සිදුකරගැනීම අනාගත ලෝකයේ ආර්ථික වර්ධනයට අතිශයින් ම ඉවහල් වන කාරණයකි. එවැනි කාරණා මත අනාගතයේ යම්කිසි දිනෙක මේ පාලම ඉදි නොවනු ඇතැයි සිතිය නොහැක.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර