ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනයට එරෙහිව මේ වනවිට විශාල දේශපාලන අරගලයක් ගෙන යමින් සිටින එරට විරුද්ධ පක්ෂයේ ප්‍රධාන බල කණුවක් වන රාහුල් ගාන්ධිට හිරබත් කන්නට සිදු වේවි ද යන පැනය මේ දිනවල නැවතත් කරළියට පැමිණ ඇති ආකාරයක් දැකිය හැකි වේ. ඒ ඔහුට එරෙහිව මෙයට මාස කිහිපයකට පෙර ප්‍රාදේශීය අධිකරණයක් ලබා දී තිබූ තීන්දුවකට අදාළව ගාන්ධි විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් එරට ගුජරාත් මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා ය. පසුගිය මාර්තු මාසයේ ගාන්ධිට එරෙහිව ලබා දුන් මුල් තීන්දුවෙන් ඔහුට වසර 2 ක සිර දඬුවමක් නියම කරනු ලැබිණි. මෙම තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලමින් ගාන්ධි මහාධිකරණයේ අභියාචනයක් ගොනු කළේය.
ඔහුට වසර 2 ක සිර දඬුවම නියම කරන ලද්දේ සාපරාධී අපහාස චෝදනා යටතේ යි. එයට පසුබිම් වූයේ 2019 වසරේ දේශපාලන රැළියක් අතර ඔහු විසින් කරන ලද ප්‍රකාශයකි. “මේ සියලුම හොරුන්ට මෝදි කියන වාසගම තියෙන්නේ ඇයි? නිරව් මෝදි, ලලිත් මෝදි, නරේන්ද්‍ර මෝදි” යනුවෙන් ඔහු එහිදී විමසුවේය. නිරව් මෝදි මේ වනවිට නීතියෙන් කට්ටි පනිමින් සැඟවී සිටින කෙනෙකි. ලලිත් මෝදි කලක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කළේය. මේ වනවිට ඔහුට එරෙහිව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ජීවිතාන්තය තෙක් තහංචියක් පනවා තිබේ.
රාහුල් ගාන්ධිගේ මෙම ප්‍රකාශයට එරෙහිව පූර්නේෂ් මෝදි නැමැත්තෙකු අධිකරණය හමුවට ගියේය. ඔහු නරේන්ද්‍ර මෝදි ද අයත් වන ඉන්දියාවේ ආණ්ඩු පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෙකි. පූර්නේෂ්ගේ චෝදනාව වූයේ රාහුල් ගාන්ධිගේ ප්‍රකාශයෙන් සමස්ත මෝදි ප්‍රජාවටම අපහාසයක් වන බවයි. මෙම චෝදනාව සම්බන්ධයෙන් පසුව ගාන්ධි ප්‍රතිචාර දැක්වීය. තමාට අවශ්‍ය වූයේ දූෂණයට එරෙහිව අදහසක් ප්‍රකාශ කිරීමට විනා කිසියම් ජන පිරිසකට අපහාස කිරීමට නොවේ යයි ඔහු පැවසුවේය.
කෙසේ නමුත් ගාන්ධිට එරෙහිව වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට ඉහත කී ප්‍රාදේශීය අධිකරණය තීන්දු කළේය. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග ගාන්ධිට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහිමි විය. අපරාධයක් සම්බන්ධයෙන් වරදිකරුවකු වී වසර 2 කට වැඩි සිර දඬුවමක් ලැබූවකුට ඉන්දියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට අවසරයක් නැත. එම අවසරය නැවත ලැබෙන්නේ ඉහත කී තීන්දුව අත්හිටුවීමක් හෝ අදාල පුද්ගලයා නිfදාස් කොට නිදහස් කිරීමක් හෝ සිදු වුවහොත් පමණි. දැනට පවතින තත්ත්වය තුළ ලබන වසරේ පැවැත්වීමට නියමිත එරට මහා මැතිවරණයට තරග කිරීමට පවා රාහුල් ගාන්ධිට නොහැකි වනු ඇත. මේ වනවිට ඔහු සිටින්නේ ඇප මත යි.
ඔහුගේ පක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසය පවසන්නේ මෙය දේශපාලන පලි ගැනීමක් බවයි. රාහුල් ගාන්ධි දැන් කලෙක සිටම මෝදි පාලනයේ වංචා දූෂණ පිලිබඳව විශාල හඬක් නගමින් සිටින අතර එය ආණ්ඩු පක්ෂයට විශාල හිසරදයක් වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. කෙසේ නමුත් මෙය දේශපාලන පලිගැනීමක්ය යන චෝදනාව භාරතීය ජනතා පක්ෂය ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ මෙහි දී නිසි අධිකරණමය ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ය.
ඉහත කී නඩු තීන්දුවට එරෙහිව ගාන්ධි ගොනු කළ අභියාචනය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු දැන් ඔහුට ඉතිරිව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීම පමණි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට පියවර ගන්නා බව කොංග්රස් පක්ෂය ප්‍රකාශ කර තිබේ. යම් හෙයකින් එම අභියාචනය ද ප්‍රතික්ෂේප වුවහොත් රාහුල් ගාන්ධිට සිර දඬුවම් විඳීමට සිදුවනු ඇති අතර ඔහුගේ දේශපාලන අනාගතයට එයින් විශාල බලපෑමක් එල්ල වනු ඇත.
මේ වනවිට 53 වැනි වියෙහි පසුවන රාහුල් ගාන්ධි හිටපු අගමැති රජීව් ගාන්ධිගේ සහ සෝනියා ගාන්ධිගේ පුත්‍රයෙකි. පසුගිය කාලයේ ඔහුගේ නායකත්වයෙන් ගෙන ගිය දේශපාලන සටන් නිසා කොංග්රස් පක්ෂය කෙමෙන් ජනප්‍රිය වෙමින් සිටින ආකාරයක් ද දැකිය හැකි වේ. මැයි මාසයේ පැවැති කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදිගේ පක්ෂය පරදවා සුවිසල් ජයග්‍රහණයක් දිනා ගැනීමට ද කොංග්රස් පක්ෂයට හැකි විය. මෙම ජවය දිගටම පවත්වා ගැනීමට ඔවුන්ට හැකි වුවහොත් 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයට විශාල අභියෝගයක් එල්ල කිරීමට ඔවුන්ට හැකි වීමට ඉඩ තිබේ.
නිහාල් පීරිස්