රැකියාව අහිමි වූ බස් රියදුරුවරියට කමල් හසන් මෝටර් රියක් තෑගි දෙයි

කමල් හසන් ඉන්දියානු නළුවන් අතර ඉහළින්ම කියැවෙන නමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වනවිට සිනමාව තුළ පමණක් නොව දේශපාලන ක්‍ෂේත්‍රය තුළ ද ඔහු බොහෝ දේ කරමින් සිටියි.

කමල් විසින් කරන ලද අපූරු කටයුත්තක් පසුගිය දිනවල මාධ්‍ය තුළ විශේෂ අවධානයක් දිනාගෙන තිබිණි. ඒ අසරණව සිටි තරුණ කාන්තාවකට සිය මුදලින් මෝටර් රථයක් මිල දී ගෙන දීම යි. මේ කාන්තාවගේ නම ෂාර්මිලා ය. ඇය ඉන්දියාවේ කොයිම්බතෝර් නගරයේ පළමු කාන්තා බස් රියදුරුවරිය යි. නමුත් පසුගිය දිනවල ඇතිව තිබූ යම් මතභේදාත්මක සිද්ධියක් නිසා ඇයට සිය රැකියාවෙන් ඉවත් වන තැනට වැඩ සිද්ධ වී තිබිණි. ඊට පසුබිම් වී තිබුණේ එරට ප්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන කානිමෝෂි ඇයගේ බසයේ ගමන් කිරීම හා බැඳුණු ගැටලුවකි.

ෂාර්මිලා පළමු බස් රියදුරුවරිය ලෙස රැකියාවට පත් වීමත් සමග ඇය සමාජයේ අවධානය දිනාගත් චරිතයක් බවට පත් විය. සමහර අවස්ථාවල ඇය ප්‍රසිද්ධ පුද්ගලයන් තම බස් රියෙහි රැගෙන ගොස් තිබූ බව ද සඳහන් වේ. කානිමෝෂිගේ ගමන ද එවැන්නකි. නමුත් දේශපාලනඥයන් වැනි අය මේ ආකාරයෙන් බස් රියෙහි රැගෙන යාම ගැන එම බස් සමාගමේ කළමනාකාරිත්වය කැමැත්තක් දක්වා නැත.

කානිමෝෂි ෂාර්මිලාගේ බස් රියෙහි ගමන් කර තිබුණේ මෙවැනි රැකියාවක් තෝරාගත් ඇයට කරන ගෞරවයක් වශයෙන් බව පෙනේ. ‘සමහරු අහනවා කාන්තාවන්ට බස් රියදුරන්, ලොරි රියදුරන් වැනි රැකියා කරන්න පුලුවන් ද කියලා. නමුත් එවැනි කටයුත්තක් කරන කාන්තාවක් අද ඔබට මෙතන දකින්න පුලුවන්. වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය වැනි වෘත්තීන්වල පමණක් නොව තව බොහෝ වෘත්තීන්හි නියැලෙන කාන්තාවන් දකින්නට ලැබීම මට හරි සතුටක්’ ඉහත කී බස් ගමනෙන් පසු කානිමෝෂි මාධ්‍ය සමග පවසා තිබුණාය. ‘මම මෙයට කලිනුත් ෂාර්මිලාට දුරකතනයෙන් සුබ පතා තිබෙනවා. මා කොයිම්බතෝර් වෙත පැමිණි අවස්ථාවක මා හමුවීමට කැමැත්තෙන් සිටින බව ඇය මට පැවසුවා. ඉතින් අද මා මෙහි පැමිණ ඇයගේ බස් රියෙහි ගමන් කළා. මා ඇයව අගය කරනවා. ඇයට සුබ පතනවා’ මන්ත්‍රීවරිය තවදුරටත් පවසා තිබුණාය.

කෙසේ නමුත් ෂාර්මිලා සේවය කරන බස් සමාගමේ හිමිකරුවන් චෝදනා කරන්නේ ෂාර්මිලා ඇයගේ ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය වෙනුවෙන් මෙවැනි දේශපාලනඥයන් වැනි අය බස් රියේ රැගෙන යන බවයි. අවසානයේ ෂාර්මිලාට ඇය දැඩි ලෙස ආදරය කළ රැකියාව හැර දා යාමට සිදුව තිබුණේ මෙම සිද්ධිය පසුබිම් කරගෙන ඇතිව තිබූ මත ගැටුමක් නිසා ය.

ෂාර්මිලාට මේ ආකාරයෙන් රැකියාව අහිමි වූ බව දැනගත් කමල් හසන් ඇයට උදව් කිරීමට ඉදිරිපත්ව තිබිණි. ඒ ඔහුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ‘කමල් හසන් සංස්කෘතික මධ්‍යස්ථානය’ හරහා යි. මේ හරහා ඔහු ෂාර්මිලාට අලුත්ම මෝටර් රථයක් තෑගි කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ෂාර්මිලාට මෙම රථය කුලී රියක් සේ සේවයේ යොදවා ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇත. මේ තුළින් ඇයට කුඩා ව්‍යවසායිකාවක බවට පත්වීමට ද අවස්ථාව උදා වී තිබේ.

‘ෂාර්මිලා කියන්නේ (බස් රියදුරු රැකියාව තුළින්) ඇගේ වයසේ කාන්තාවන්ට විශාල ආදර්ශයක් ලබා දුන් කෙනෙක්’ යයි කමල් පවසා තිබිණි. ‘මගේ අදහස මෙවැනි තවත් බොහෝ ෂාර්මිලාලා බිහි කිරීමයි’.

68 වැනි වියෙහි පසුවන කමල් හසන් මේ දිනවල ඔහුගේ අලුත් සිනමා කටයුතු නිසා ද විශාල අවධානයක් දිනාගනිමින් සිටියි. විශේෂයෙන් Project K නැමැති දැවැන්ත සිනමා නිර්මාණයකට ඔහු සම්බන්ධ වීම ඔහුගේ රසික රසිකාවියන් තුළ සුවිසල් උද්යෝගයක් ජනිත කර තිබෙනු දැකිය හැකිය. ඉන්දීය රුපියල් කෝටි 500 ක පමණ විශාල වියදමක් දරා නිපදවනු ලබන මෙම චිත්‍රපටයේ තවත් සුපිරි නළු නිළියෝ තිදෙනෙක් රඟපාති. ඒ අමිතාභ් බච්චන්, ප්‍රභාස් සහ දීපිකා පාදුකෝන් ය. කමල් හසන් ද මෙහි රඟපෑමට තෝරාගෙන ඇති බව නිවේදනය කෙරුණේ මෙයට දින කිහිපයකට කලිනි. ඔහුට ආදරය කරන රසිකයන්ගෙන් එම පුවතට උණුසුම් ප්‍රතිචාරයක් හිමිව තිබිණි. Project K පිලිබඳ ඇති තවත් විශේෂත්වයක් වන්නේ කමල් එහි රඟපාන්නේ දුෂ්ඨ චරිතයක් වීමයි. දෙමළ සිනමාවේ සුපිරි වීරයකු වන කමල් දුෂ්ඨ චරිතයකින් දැක ගන්නට ලැබීම සිනමා ලෝලීන්ට තවත් අලුත් අත්දැකීමක් වනු ඇත.

නිහාල් පීරිස්

 

latest news sri lanka in sinhala

එතෙර - මෙතෙර