වියළි කලාපය කිව්වම හිතට දැනෙන්නේ ශුෂ්ක බවින් පිරුණු දේශගුණික කලාපයක් . නමුත් වියළි කලාපයේ පිහිටි මිහිදුමින් පිරුණු අපූරු කඳු ගැටයක් ගැනයි මේ කතා කරන්න යන්නේ.
රිටිගල කන්ද කියන්නේ සොබාදහමේ විස්මිත නිර්මාණයක්. අනුරාධපුර- හබරණ මාර්ගයේ හබරණ මරදන්කඩවල අතර තමයි රිටිගල කන්ද පිහිටා තිබෙන්නේ. මේ කන්ද රිටක් මෙන් සෘජුව පිහිටි ගලක් නිසා මේ නමින් හඳුන්වන බව පැවසෙනවා.
නිරිතදිග මෝසම් සුළං සහිත කාලයට එම සුළඟ කෙළින්ම ඇවිත් රිටිගල කන්දේ වදිනවා. ඒ නිසා වියළි කලාපයේ පිහිටා තිබුණත් මේ කන්දේ එක් පැත්තක සිසිල් සෞම්‍ය දේශගුණයක් පවතිනවා. කන්ද මුදුනේ මීදුම.
ඒ අනුව කන්ද උඩරට ප්‍රදේශයේ දකින්නට ලැබෙන සතුන්, සිවුපාවන් වගේම එම ප්‍රදේශවල වැවෙන ශාක වර්ග රැසක් ද රිටිගල කඳු මුදුනේ දකින්න පුළුවන්. ඒ හින්දම ඉංග්‍රීසි පාලන සමයේ “සුදු ජාතිකයන්” පවා මේ පරිසර පද්ධතිය ගෑන විශේෂ අවධානයක් යොමු කරලා තියනවා. මෙම කොටස අධි ආරක්ෂිත වනජීවී කලාපයක්. මුළු රක්ෂිතයේ ප්‍රමාණය අක්කර 366 ක් වෙනවා.මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 2513ක්.
ජනප්‍රවාදවල දැක්වෙන අන්දමට රාම රාවණා යුද්ධයෙන් තුවාල වන හමුදාවට ප්‍රතිකාර කිරීම සඳහා හනුමන්තා විසින් හිමාල කඳුවැටියේ ඖෂධ පැළෑටි සහිත කොටසක් මෙහි ගෙනවුත් තැබූ බව පැවසෙනවා.
විශේෂයෙන් රාමගේ හමුදාවේ මියයන අයට නැවත පණ දිය හැකි මෘත සංජීව නමින් යුතු අගනා ඖෂධ පැළෑටියක් මෙහි ඇති බවද ජනප්‍රවාද වල දැක්වෙනවා.
රිටිගල ජයසේන නමින් හඳුන්වන්නේ අපේ සංස්කෘතිය තුළ අපට ඉතා හුරු පුරුදු මහසෝනා නම් යක්ෂයායි. ඒ අනුව මහසෝනාගේ මාලිගය මෙම කන්දේ තිබූ බවටත් ජනප්‍රවාදයක් පවතිනවා.ඒ අනුව අපට වැටහී යන්නේ රිටිගල ජයසේන අතීතයේ අපේ රටේ ජීවත් වුණු සුඛෝපභෝගී දිවියක් ගත කළ ජන ප්‍රධානියෙක් බවයි.
කෙසේ වුවත් රිටිගල කන්දේ නටබුන් දැක බලා ගනිමින් කන්ද උඩට නැගීම හැරුණු විට රිටිගල රක්ෂිතයට ඇතුල්වීමට අවසර නෑ. රක්ෂිතයට ඇතුළු වෙනවා නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ අවසරයක් ලබා ගත යුතුයි. එසේ කර ඇත්තේ රක්ෂිතයේ ආරක්ෂාව උදෙසා යි.
රිටිගල කන්ද පුරාවිද්‍යා නටබුන් රාශියකින් යුතුයි. ඒ අතර පොකුණු, රෝහලක්, පුස්තකාලයක්, බෙහෙත් අඹරන ලද ගල් ආදිය හමුවී තිබෙනවා.
මෙම නටබුන් 10 -11 සියවස්වලට අයත් බව සැලකෙන අතර, මෙම නටබුන් මුලින්ම මතු කරගෙන තිබෙන්නේ 19 වෙනි සියවසේදීයි. මෙහි භික්ෂූන් වහන්සේලා වැඩ විසූ ආශ්රමයක් පවතින්නට ඇතැයි විශ්වාස කරනවා.
රිටිගල චාරිකාවේ යෙදෙන ඔබට දැක බලා ගත හැකි ආවේණික කුරුල්ලන් අතර කෑදැත්තා, හබන් කුකුලා සහ වටු වර්ග ප්‍රධානයි. තවත් බොහෝ කුරුලු වර්ග මෙන්ම දිවියා, වලහා වැනි තවත් සිව්පා වර්ග සහ උරග වර්ගද රිටිගල දී දක්නට ලැබෙනවා.
රිටිගල යන ඔබට එහි රාත්‍රිය ගත කළ හැකි ස්ථානයක් නෑ. ඒ අනුව රිටිගල නරඹා රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය නම් දඹුල්ලට , හබරණට හෝ අනුරාධපුරයට යන්නට සිදු වෙනවා.
ඉන්දු පෙරේරා