මේ වන විට ප්‍රමාණවත් දුම්රිය රියැදුරු සහ සහායකයන් ප්‍රමාණයක් සේවයේ නොමැති වීම මත එළඹෙන උත්සව සමයේ මෙරට දුම්රිය සේවයේ බිඳ වැටීමක් සිදුවීමට මේ වන විට කරුණු යෙදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.සම්පූර්ණ සේවා අවශ්‍යතා සඳහා දුම්රිය රියැදුරන්458 සිටිය යුතු වුව ද මේ වන විට සේවයේ යොදවා ඇති විශ්‍රාමිකයන් 35 දෙනා ද සමඟ සේවයේ යෙදී සිටිනුයේ රියැදුරන් 330 ක් පමණක් බව පෙන්වා දෙන දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කරනුයේ එම විශ්‍රාමික රියැදුරන්ට හිමි වේතනය මාස තුනකින් නොලැබීම මත ඔවුන් මේ මස අවසානයේ සේවය හැර යාමේ අවදානමක් ද පවතින බවකි.එමෙන්ම දුම්රිය රියැදුරු සහායකයන් 540 සේවයේ යෙදී සිටිය යුතු මුත් විශ්‍රාමිකයන් කිහිප දෙනකු ද ඇතුළුව මේ වන විට සේවයේ යෙදී සිටින රියැදුරු සහායකයන් ගේ ගණන 200කටත් අඩු බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.මේ අතර එළඹෙන උත්සව සමයේ දුම් රිය රියැදුරන් හා සහායකයන් යම් පිරිසක් හෝ නිවාඩු ගැනීම මත සමස්ත දුම්රිය ධාවන පද්ධතියම අඩාල වීමේ හැකියාවක් පවතින බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.ඒ අනුව වෙන දා මෙන් උත්සව සමයට විශේෂ දුම්රිය ධාවනය කරවනු තබා සාමාන්‍ය කාල සටහන් වත් පවත්වා ගෙන යාම සිදු කළ නොහැකි අතර හිටිහැටියේ දුම් රිය ගමන් වාර අවලංගු වීමේ අවදානමක් ද ඉදිරි කාලය තුළ පැන නැඟිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර දුම් රිය ගාස්තු ඉහළ නැංවීම සඳහා ඊයේ(28)කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අප්‍රේල් පළමු වෙනිදායින් පසුව දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.රට මුහුණ දී ඇති තත්වය මුල් කොට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකර ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.නමුදු මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවත්නා සකල විධ සූරා කෑම් ඇතුළු මහා ධන නාස්තිය සම්බන්ධයෙන් බලධාරීන් ගේ අවධානය යොමු නොවීම මත සමස්ත දුම් රිය සේවයම දරුණු අර්බුදයකට පත් වීමේ අවදානමක් එළඹ ඇතැයි දුම්රිය සේවකයෝ කියති.ඔවුන් පවසනුයේ මෙය අප රටේ දුම් රිය සේවය සම්බන්ධයෙන් මහ ජනතාව තුළ කලකිරීමක් ඇති කොට එමඟින් එය ද විකුණා දැමීමේ යටි අරමුණක් රජය තුළ තිබිය හැකි බවය.