රිළවුන් චීනයට යැවීම ආණ්ඩුවේ තවත් මගඩියක්ද? විශේෂ හෙළිදරව්ව (Exclusive)

waduru-china

ශ්‍රී ලංකාවේ රිළා ගැටලුව කෙමෙන් සැකසහිත කාරණයක් බවට පත්වෙමින් තිබෙන බැව් පෙනේ. අප රටෙන් කිසිදු රිළවෙක් ඉල්ලා නොසිටිය බව චීන රජය දැනුම් දී වැඩි දවසක් ගතවන්නට පෙර රජය පාර්ශ්වයෙන් පැවසූවේ රිළවුන් ඉල්ලා සිටියේ චීන රජය නොව චීනයේ සතුන් අභිජනනය කිරීමේ සමාගමක් බව ය. ZHEJIANG WUHU ANIMAL BREEDING COM.LTD නම් වන එම සමාගම අප්‍රේල් මස 26 වැනි දින රිළවුන් අපනයනයට අවශ්‍ය සියලු ලිපි ලේඛන කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා වෙත භාරදුන් බව ප්‍රවෘත්තිවලින් කියැවිණි. ඉහත කී චීන සමාගම විසින් කෘෂිකර්්ම අමාත්‍යංශයට එවන ලද ලිපියක්, ඔවුන්ගේ ලිපි ශීර්ෂය සහිතව පුවත් වෙබ් අඩවි කිහිපයක දක්නට ලැබිණි. මේ ලිපි ශී්ර්ෂය ද දුටුවනින්ම ඇතිවන්නේ සැකසහිත බවකි. ලොකු කුඩා කුමන සමාගමක් වුවත් තම සමාගමේ නමට අමතරව ලිපිනය, දුරකතන අංක, ඊමේල් ලිපිනය, වෙබ් අඩවිය ආදී සියල්ල එහි සටහන් කරයි. නමුත් මෙහි සමාගමේ නම හැර ඉහතින් සඳහන් කළ තොරතුරු කිසිවක් දක්නට නොලැබේ. එය හුදෙක් ජාම බේරා ගන්නට හදිසියේ පිළියල කළ ලිපි ශීර්ෂයක් දැයි බැලූ බැල්මටම සැක පහළ වේ. මේ අනුව මේ රිළවුන් අපනයන කිරීම පිළිබඳ යළි ඇතිවන්නේ මෙය ආණ්ඩුවේ තවත් මගඩියක්දැයි විශාල සැකසහිත බවකි.

ඔවුන් අප රටෙන් රිළවුන් ඉල්ලා සිටින්නේ චීනයේ සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා බැව් පැවසෙයි. මේ චීන සමාගම ඉල්ලා ඇත්තේ මුලින්ම රිළවුන් 500 ක් ලබා දෙන ලෙස වුව ද පසුව එය 1500 ක් දක්වා ඉහළ දමා තිබේ. ඉන්පසු වසර දෙකක පමණ කාලයක් තුළ ක්‍රමානුකූලව චීනයට රිළවුන් ලක්ෂයක ප්‍රමාණයක් දක්වා අපනයනය කරවා ගැනීම මේ සමාගමේ සැලැස්ම වී තිබේ.

ඉහත සඳහන් චීන සමාගම විසින් ශ්‍රී ලංකා රජය වෙත සිය ලිපි ශී්ර්ෂය සහිතව 2023 මාර්තු 10 දාතමින් යුක්තව එවන ලද ලිපියක් ද ප්‍රවෘත්ති සමග දක්නට ලැබිණි. එහි සඳහන්ව ඇති කරුණු සැකෙවින් මෙසේය.

“අප චීනයේ ස්ථාපිත ඉහළ කීර්තියක් සහිත සත්වෝද්‍යාන සමාගමකි. අප මුළු චීනය මුළුල්ලේම ක්‍රියාත්මක වේ.

එක්තරා සත්ත්ව විශේෂයක් නිසා ශ්‍රී ලංකාවේ වගා හානි පිළිබඳවත්, එය වළක්වා ගැනීම සඳහා විවිධ සැලසුම් ක්‍රියාත්මක කරන බවත් අපට දැනගන්නට ලැබිණි.

මේ පවතින තත්ත්වය සලකා බලා රිළවුන් විශාල ප්‍රමාණයක් ලබාගැනීමට අප කැමැත්තෙන් පසුවන අතර ශ්‍රී ලංකා රජය අවසර දෙන්නේ නම් ඔවුන් චීනයේ සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා ලබා ගත හැකිය.

අප ලොව පුරාම විවිධ රටවලින් සත්ත්ව විශේෂ ලබා ගන්නා අතර, කිසිදු හානියක් නොවන අයුරින් ඔවුන් අල්ලා ගැනීම, සංරක්ෂණය කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධව විශේෂඥයින් අප සතුව සිටියි.”

මේ ආකාරයට සම්පාදනය කොට ඇති ලිපිය අවසානයේ ඔවුන්ගේ නිල මුද්‍රාව තබා අත්සන් කොට තිබේ.

චීනයේ කීර්තිමත් සමාගමක් වීම, චීනය පුරාම සත්වෝද්‍යාන පවත්වාගෙන යාම සහ ලෝකයේ වෙනත් රටවලින් ද සත්ත්ව විශේෂ ලබා ගැනීම වැනි සුවිශේෂී කාර්යයන්වල නිරතව සිටීම නිසා ඒ පිළිබඳ වැඩිදුර විස්තර සොයා ගන්නට ඔවුන්ගේ වෙබ් අඩවියක් සොයා අන්තර්ජාලය පීරමින් ගිය ද එවැන්නක් සොයා ගන්නට නැත. ගම්වල සිල්ලර වෙළෙඳසල්වලටත් වෙබ් අඩවියක් ඇති වර්තමානයේ මෙවැනි ජාත්‍යන්තර කටයුතු සිදුකරන සමාගමක වෙබ් අඩවිය සොයා ගැනීමට දුෂ්කර වීම සිතා ගත නොහැකි දෙයකි.

විකිපිඩීයාව ඇතුළු තවත් මූලාශ්‍ර කිහිපයකම සඳහන් වන අන්දමට චීනයේ නිල වශයෙන් ක්‍රියාත්මක වන්නේ පිළිගත් සත්වෝද්‍යාන 18 ක් පමණි. ඉහත සමාගම චීනය පුරා ක්‍රියාත්මක කීර්තිමත් සත්වෝද්‍යාන සමාගමක් වුව ද ඔවුන්ගේ නම මේ සත්වෝද්‍යාන 18 අතර නැත. අප එය මදකට අමතක කොට චීනයේ ඇති මේ සත්වෝද්‍යාන සියල්ලේම ප්‍රදර්ශනය සඳහා වසර දෙකක කාලයක් තුළ රිළවුන් අපනයන කරන්නේ යැයි මොහොතකට සිතමු. එවිට එක් සත්වෝද්‍යානයකට සාමාන්‍යයෙන් රිළවුන් 5,555 ක් හිමි වෙයි. එක් සත්වෝද්‍යානයකට රිළවුන් 5000ක අධික ප්‍රමාණයක් තබා ගැනීම එක් අතකට විමතියකට කාරණයකි.

පෙර වසරවලදී, රසායනාගාර පරීක්ෂණ සඳහා සතුන් භාවිතයට ගැනීම චීනය තුළ අධිකව සිදුවිය. 2016 දී වාර්තා වූයේ දළ වශයෙන් මිලියන 20 ක් පමණ සතුන් රසායනාගාර පරීක්ෂණ සඳහා භාවිත කර ඇති අතර, ප්‍රයිමේටාවන් සහ මැකේක් වඳුරන් මෙයට ඇතුළත් වේ. 2021 දී රූපලාවන්‍ය පරීක්ෂණ ආශ්‍රිත නීතිවල වෙනස්කම් සිදු කළ ද, චීනය සිය අත්හදා බැලීම් සඳහා සතුන් දිගටම භාවිත කරයි.

ZHEJIANG WUHU ANIMAL BREEDING COM.LTD යන සමාගම් නාමය අන්තර්ජාලයේ සොයන විට ලැබෙන්නේ මේ සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත් සහ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පුවත් අඩවිවල මේ සම්බන්ධව පළකළ පුවත්වල පමණි. එයින් බාහිරව චීනයේ වෙබ් අඩවිවලින් මේ සම්බන්ධ කිසිවක් සොයා ගත නොහැකිය. ඇතැම් ප්‍රතිඵලවලට පැමිණෙන්නේ WUHU ANIMAL BREEDING COM.LTD යන්න රේඛාවකින් කපා දමා ඇති ආකාරයටය. එසේ ප්‍රතිඵලවලට පැමිණෙන්නේ බොහෝ විට එවැනි නමක් අන්තර්ජාලයේ නොමැති වූ විටය.

මේ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය කුමක් පැවසුව ද මෙසේ රිළවුන් අපනයනය කිරීම පසුපස තවමත් ඇත්තේ සැකසහිත බවකි. නමක් ගමක් සොයා ගත නොහැකි සමාගම් සමග අප රටේ ජනතා මුදල් කෝටි ගණන් සමගින් කටයුතු කළ ඉතිහාසයක් අප රටේ ආණ්ඩුවලට තිබේ. එබැවින් මෙය ද තවත් එවැනි සමාගමක් වන්නට පුළුවන. රිළවුන්ගේ වගාවන්ට හානි සිදුවන බව සැබෑ මුත් මෙවැනි අවිනිශ්චිත කටයුතු හමුවේ රිළවුන් පමණක් නොව අප රටේ තව තවත් සත්ත්ව විශේෂවල අනාගතය ද ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක ය.

monkeys

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර