රුක් අත්තන ගසක් යට සුදු වතින් දිස් වන අද්භූත උපාසකම්මා

හොරණ, කුඩා උඩුවේ, ජයබිම අරම මීට වසර විස්සකට පමණ පෙර මට අතිශයින් හුරු පුරුදු තැනක් විය. ඒ 1950 දශකයේ මැද භාගයේ සිට වසර විස්සක් පමණ ශ්‍රී පාද හිමයේ හුදකලාව බවුන් වැඩූ අනගාරික නාරද තුමා ඒ වනවිට එහි වැඩ වාසය කිරීම හේතුවෙනි.
පීඩාකාරී සමාජමය හා වෘත්තීය පසුබිමක් තුළ නිරතුරු මා පෙළමින් තිබූ මානසික ආතතිය පිටු දැකීම පිණිස එවක මා යොදා ගත් රහ මෙර පානයට අමතර උපාය මාර්ගය වූ එවක තුරු ගොමුවක් තුළ සැඟව ගත් අනගාරික නාරද තුමන්ගේ අසපුවට යාම සිත ගත දවන රහ මෙර පානයට වඩා අතිශය සුවදායක සහනශීලී අත්දැකීමක් විය.බොහෝ විට එහි යන මම එතුමන්ගේ ඉල්ලීම පරිදි ජයබිම අරමේ එක් රැයක් ගත කරමි. ඒ බුදු දහම හා සම්බන්ධ විවිධ කරුණු පිළිබඳව මා හා කතා බස් කිරීමට එතුමන් තුළ පැවැති උනන්දුව නිසා ය. එම අසපුව අවට වූ වනගහනයට සැඳෑ අඳුර වැටීමත් සමග ඇරඹෙන අපේ කතා බහ බොහෝ විට මැදියම් රැය දක්වාම දික්වෙයි. එමෙන්ම විවිධ කරුණු මුල් කොට නාරද තුමන් හමුවීම අපේක්ෂා කරන පුද්ගලයෝ ද එවක ජයබිම අරම වෙත වරින් වර සපැමිණෙති. එලෙස එක්තරා දිනෙක ඒ ප්‍රදේශයේම ව්‍යාපාරික මහතකු එහි පැමිණියේ ය.අද පවා බොහෝ දෙනකු නොදත් මුත් පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි පූජා සඳහා යොදා ගත් බුදු රැස් මාලා කවි ඇතුළු මා අතිශයින් ප්‍රිය කරන මීට දශක කිහිපයකට පෙර දිනපතා හිමිදිරියේ පානදුරේ අරියධම්ම හිමියන්ගේ සුමධුර හඬින් ගැයෙනු ලදුව ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ
සැනසුමේ රන් දොරටු ඇරිලා
ලෝ සතුන් සිත් සිසිල් වේවා
සියළු දුක් දොම්නස් සිඳේවා
දහම් සුවඳින් හද නිවේවා
ගැටළු ඉඳ හිට නැගෙන තරමට
විසිඳුමක් ඒ සමග වේවා
සමාදානය සිසිල පැතිරී
ලෝක සාමය උදා වේවා
යන ආශීර්වාදාත්මක පද්‍ය සංකල්පනාව ද නාරද තුමන්ගේ පබැඳුමකි.එ නිසා එම ව්‍යාපාරිකයා එහි පැමිණ තිබුණේ විභාගයකට පෙනී සිටින තම දියණියකගේ මානසික සංහිඳියාව උදෙසා සෙත් කවියක් ලියවා ගැනීමට ය.ඒ ගමනේ දී මට එම ව්‍යාපාරික මහත්මාගෙන් කදිම හෝඩුවාවක් ලබාගත හැකි විය.
එනම් හොරණ ප්‍රදේශය ආසන්නයේ ගම්මානයක කුඹුරක් අද්දර පිහිටි රුක් අත්තන ගසක් යට අලුයම් යාමයේ අද්භූත උපාසිකාවකගේ අද්භූතරුවක් දක්නට ලැබෙන බවකි.එම උපාසිකාව කලකට ඉහත ගම්මානයේ විහාරස්ථානයක සිල් සමාදන්ව සිටියදී හදිසි හෘදයාබාධයකින් මිය ගොස් තිබේ. එමෙන්ම කිරි අම්මාවරුන්ගේ දානවලදී පත්තිනි හෑල්ල වැනි පද්‍යයන් මිහිරි ලෙස ගැයීමටත් ඊට අදාළ පුද පූජාවන් කදිමට ඉටු කිරීමටත් ඇය තුළ විශිෂ්ට හැකියාවක් තිබී ඇත. ඇගේ මරණයෙන් සති හෝ මාස කිහිපයකට පසු ඇගේ නිවස ආසන්නයේ පිහිටි කුඹුරු යායක් අද්දර රුක් අත්තන ගසක් යට සුදුවතින් සැරසුණු ඇගේ රුව ප්‍රදේශයේ බොහෝ දෙනකුට දර්ශනය වී තිබේ.
මෙම කතා ප්‍රවෘත්තිය පළමුව නාරද තුමන් හමුවේ තැබූ ව්‍යාපාරිකයාගේ අභිලාෂය වූයේ ඒ උපාසිකාව මේ වන විට දේවාත්මයක් ලබා තිබේද? යන්න දැන ගැනීම ය. එහෙත්, එවැනි කරුණක් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකි බව පැවසූ නාරද තුමන් එම ස්ථානයට ගොස් ඒ පිළිබඳ විමසුමක් කළ හැකි දැයි මගෙන් විමසා සිටියේ මා තුළ පැවැති අසීමාන්තික උනන්දුව මනාව වටහාගත් අයුරිනි.

තමන් නොදන්නා දේවල් ද දන්නා බවක් අඟවන බහුතරයක් වෙසෙන වත්මන් සමාජයේ දන්නා දේ පවා නොදන්නා ලෙසින් අන්‍යයයන් ගෙන් අසා දැන ගැනීමට යුහුසුළු වීම නාරද තුමන් කෙරෙන් මා දුටු සුවිශේෂත්වයකි.

අනගාරික නාරද තුමා

තමන් නොදන්නා දේවල් ද දන්නා බවක් අඟවන බහුතරයක් වෙසෙන වත්මන් සමාජයේ දන්නා දේ පවා නොදන්නා ලෙසින් අන්‍යයයන් ගෙන් අසා දැන ගැනීමට යුහුසුළු වීම නාරද තුමන් කෙරෙන් මා දුටු සුවිශේෂත්වයකි. එතුමන් පිළිබඳව මට මුල් වරට දැන ගන්නට ලැබුණේ මා ගලහිටියාව මැදි විදුහලේ උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේ අපට බෞද්ධ සංස්කෘතිය ඉගැන් වූ ගම්පහ මැදගම සුනන්නදාරාමයේ වැඩ සිට අපවත් වී වදාළ ශාස්ත්‍ර විශාරද පූජ්‍ය පණ්ඩිත පත්තඬුවන චන්ද්‍රසිරි හිමිපානණන් වෙතිනි.උන් වහන්සේ 1950 දශකයේ ශ්‍රී පාද අඩවියේ පලාබද්දල පාසලේ ඉගැන්වීම් කටයුතු කරන අතරේ ශ්‍රී පාද හිමයේ හුදකලාවේ බවුන් වඩන තවුසකු පිළිබඳව අසන්නට ලැබී තවත් තරුණ ගුරු මහතුන් කිහිප දෙනකු සමඟ මහ වනය පීරා ගොස් ඔහු හමු වී කතා බස් කොට දැන හඳුනා ගත් බව කීහ.නාරද තුමන් හා මා අතර පැවැති සුහදතාවයේ පදනම එයයි.

එම රාත්‍රියේ නියම කරගත් පරිදි ඊට පසු දින අලුයම පහට පමණ තම රථයෙන් ජයබිම අරම වෙත පැමිණි ඉහත සඳහන් ව්‍යාපාරිකයා මා ද කැටුව කිලෝමීටර් දහයක් දුරින් පිහිටි එම ඉසව්ව වෙත ළඟා විය. අතිශය මනස්කාන්ත වටපිටාවකින් යුත් එම ඉසව්ව ප්‍රධාන පාරෙන් වෙන් කරන ලද්දේ කුඹුරු යායක් මැදින් වැටුණු ගුරු පාරකිනි. ඒ ගුරු පාර අන්තයේ කුඹුරු යායට සමීප දෙනි පෙතක එම රුක් අත්තන ගස පිහිටා තිබූ අතර ඒ අද්දර නාන ළිඳක් ද විය. ව්‍යාපාරිකයා කී අන්දමට ඇතැම් අලුයම් කාලවල දී ඒ අද්භුත උපාසිකා රුව දර්ශනය වනුයේ ඒ රුක් අත්තන ගස ඉදිරියේ වූ කුඩා ගෙමිදුලක් තරම් වන බිම් කඩ මතදී ය.
අරුණෝදයට පෙර හාත්පස පැතිර පවතින මිහිදුම අතරින් එම රූපය දර්ශනය වන බවත් අරුණෝදයත් සමග අතුරුදන්වන බවත් මට එහිදී දැනගත හැකි විය.
මිහිදුම සහිත පාළු හුදකලා අවකාශයන් තුළින් අද්භූත රූප මතුවීම ලොව බොහෝ දෙනකු විසින් අද්දකින මායාත්මක දර්ශනයකි. හුදෙක් එවන් මායාත්මක දර්ශන කෙරෙහි මිනිසුන් තුළ පවත්නා සංජානනයට නැඹුරු කරවීම හැඳින්වෙනුයේ Pareidoilia යනුවෙනි. එමෙන්ම මේවා පාරමනෝ විද්‍යාවේදී භෞතික මාධ්‍යයන් ගෙන්බාහිරකරණය කරන ලද ද්‍රව්‍යයක් හෝ අධ්‍යාත්මික ශක්තියක් ලෙස ද ( Ectoplasm ) හැඳින්වෙයි.
මා අනාවරණය කරගත් අන්දමට ප්‍රදේශයේ ඇතැමුන් ඒ අද්භූත රූපය දැක ඇත්තේ ඊට තරමක් දුරින් සිටියදී ය. කිසිවකුත් ඒ ආසන්නයට නොපැමිණීම නිසා ඒ රුව කාගේදැයි හරිහැටි හඳුනා ගැනීමට ඒ කිසිවකු හට නොහැකි වී තිබේ.එහෙව් තත්ත්වයක් තුළ ඒ ඉහත සඳහන් කළ මියගිය උපාසිකාවම ලෙස බොහෝ දෙනකු තීරණය කළේ කෙසේද? ඒ සම්බන්ධයෙන් දිය හැකි සරලම පිළිතුර නම් උපාසිකාවගේ හදිසි මරණය සහ මිහිදුම් පටල අතුරින් හටගන්නා මායාත්මක පරිකල්පන එකි`නෙකට සම්බන්ධ අද්භූත සිද්ධීන් ලෙස බොහෝ දෙනා වරදවා වටහා ගැනීම ය.

‘‘අම්මා දැන් අපි අතරේ නෑ. ඒ හින්දා දැන් මේ ලෝකේ නැති අම්මාගේ රූපෙ එතැනින් මතු වෙන්න පුළුවන් කියමුකෝ. ඒත්, අම්මාගේ සේරම සුදු ඇඳුම්, අන්තිමට එදා ඇඳපු ඇඳුම සිල් රෙද්ද එක්ක තාමත් අන්න ට්‍රන්ක් පෙට්ටියේ. ඒත් මට තියෙන ප්‍රශ්නෙ අම්මගේ ආත්මයත් එක්ක ඒ ට්‍රන්ක් පෙට්ටියේ තියන රෙදි ටික ඒ රුක් අත්තනගහ මුලට යන්නේ කොහොමද කියලයි.’’ ඇය ඉතා සැහැල්ලු ලෙසින් කියා සිටියා ය. උගතුන් හා බුද්ධිමතුන් යනු එකම කොට්ඨායක් ය යන ජන සම්මතයක් අප සමාජයේ පවතී.එහෙත්, එය සැම විටම නිවැරදි නොවේ.උගත්කමින් පරතෙරට ගිය ඇතැම්හු ද තර්කානුකූල බව හා විචාරශීලීත්වය පිටු දැක අන්ධ විශ්වාසයනට නතු වන අවස්ථා ඕනෑ තර තිබේ.නමුදු සමාජ සම්මතය අනුව කිසිදු උගත් කමක් නොමැති මෙම කාන්තාව සැබෑ ප්‍රඥාවන්ත කාන්තාවකැයි මට සිතෙයි.

එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසුව මම එම ව්‍යාපාරිකයා ද සමඟ එකී උපාසිකාව ජීවත් වූ නිවසට ද ගියෙමි. නොවිධිමත් අයුරින් අඩක් ඉදි කොට තිබූ එම නිවසේ සිටියේ ඇගේ වැඩිමහළු දියණිය, සැමියා සහ දරු දෙදෙනා පමණි.පෙදරේරුවන් හට අත්වැඩ දෙන්නකු වූ සැමියා ඒ වන විටත් නිවසින් බැහැරව ගොස් සිටි අතර දරු දෙදෙනා පාසල් යාමට සැරසෙමින් සිටියහ.
‘‘ඔය කතාව මටත් දැන් හැම තිස්සේම වාගේ අහන්න ලැබෙනවා. අපේ අම්මා මේ වෙන කොට පත්තිනි මෑණියන්ගේ දේව මණ්ඩලයට ඇතුළු වෙලාලු. ඒ හින්දා පත්තිනි පූජාවක් කළොත් මටත් පත්තිනි දේව වරමක් අරගෙන අම්මට ආරූඪ වෙලා සාත්තර කියන්න පුළුවන්ලු.’’ එම මියගිය උපාසිකාවගේ දියණිය කියා සිටියා ය.
‘‘අම්මා දැන් අපි අතරේ නෑ. ඒ හින්දා දැන් මේ ලෝකේ නැති අම්මාගේ රූපෙ එතැනින් මතු වෙන්න පුළුවන් කියමුකෝ. ඒත්, අම්මාගේ සේරම සුදු ඇඳුම්, අන්තිමට එදා ඇඳපු ඇඳුම සිල් රෙද්ද එක්ක තාමත් අන්න ට්‍රන්ක් පෙට්ටියේ. ඒත් මට තියෙන ප්‍රශ්නෙ අම්මගේ ආත්මයත් එක්ක ඒ ට්‍රන්ක් පෙට්ටියේ තියන රෙදි ටික ඒ රුක් අත්තනගහ මුලට යන්නේ කොහොමද කියලයි.’’ ඇය ඉතා සැහැල්ලු ලෙසින් කියා සිටියා ය. උගතුන් හා බුද්ධිමතුන් යනු එකම කොට්ඨායක් ය යන ජන සම්මතයක් අප සමාජයේ පවතී.එහෙත්, එය සැම විටම නිවැරදි නොවේ.උගත්කමින් පරතෙරට ගිය ඇතැම්හු ද තර්කානුකූල බව හා විචාරශීලීත්වය පිටු දැක අන්ධ විශ්වාසයනට නතු වන අවස්ථා ඕනෑ තර තිබේ.නමුදු සමාජ සම්මතය අනුව කිසිදු උගත් කමක් නොමැති මෙම කාන්තාව සැබෑ ප්‍රඥාවන්ත කාන්තාවකැයි මට සිතෙයි.එබැවින් ඒ වන විට ජන මනසෙහි තිබූ සිය මව පිළිබඳ අන්ධ විශ්වාසය මුල් කොට ගෙන ‘‘පේන කාරියක’’ වී විශාල ධනස්කන්ධයක් ඉපැයීමට තිබූ අවස්ථාව ඉවත ලා හෘද සාක්ෂියට අනුව අව්‍යාජ අහිංසක දිවි පෙවෙතක් ගත කරන ඒ සුජාත දියණියට මගේ ගෞරවාදරය පුදමින් මේ සටහනට සමු දෙමි.

තිලක් සේනාසිංහ

පහන් ටැඹ