රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කළ වරෙන්තුව විශාල ආන්දෝලනයක් ඇති කළ කාරණයක් විය. පුටින්ට එරෙහිව මෙවැනි වරෙන්තුවක් නිකුත් කෙරුණේ යුක්රේන යුද්ධයේදී සිදු වූ බව කියන යුද අපරාධ පිලිබඳ චෝදනා නිසා ය. වසරකට වැඩි කාලයක් ගත වී ඇති මෙම යුද්ධයේදී මේ වනවිට සිවිල් වැසියන් 8,000 කට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.
පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුවට ප්‍රධාන වශයෙන් පසුබිම් වන්නේ යුක්රේන දරුවන් සම්බන්ධ චෝදනාවකි. යුක්රේනයේ දරුවන් දහස් ගණනක් ඔවුන්ගේ මව්පියන්ගෙන්, සමීපතමයන්ගෙන් වෙන් කර රුසියාව වෙත ගෙනැවිත් ඇති බවට චෝදනා නැගේ. දරුවන් 16,000 ක් පමණ මේ ආකාරයෙන් බලහත්කාරයෙන් රැගෙන විත් ඇති බවට වාර්තා පළ වී තිබිණි. දරුවන් මෙලෙස රැගෙනවිත් ඇත්තේ ඔවුන් තුළ ඇති රුසියානු විරෝධී අදහස් තුරන් කර රුසියාවට පක්‍ෂපාති අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණෙන් බවක් ද සඳහන් වේ. මෙසේ රැගෙන ආ දරුවන් රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශවල ඇති කඳවුරු ජාලයක රඳවා සිටින බවට ද චෝදනා එල්ල වී තිබේ.
කෙසේ නමුත් රුසියාව මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කළ වරෙන්තුව ගැන රුසියාව එතරම් බැරෑරුම් සැලකිල්ලක් නොදක්වන ආකාරයක් ද දැකිය හැකි වේ. එරට හිටපු ජනාධිපතිවරයකු වන ද්මිත්‍රි මෙද්වදේව් මෙම වරෙන්තුව වැසිකිලිවල භාවිත කරන (Toilet Paper) කඩදාසියකට සමාන කර තිබෙනු ද දැකිය හැකි විය. ‘මේක පාවිච්චි කරන්න ඕන මොනවට ද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ’ යයි ද ඔහු පවසා තිබිණි.
මෙම වරෙන්තුව නිසා පුටින් අත්අඩංගුවට පත් වේවි ද යන්න ගැන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල කුතුහලයක් ඇතිව තිබිණි. නමුත් දේශපාලන නිරීක්‍ෂකයන් පවසන්නේ එවැන්නක් සිදුවීමට ලොකු ඉඩක් නොමැති බවයි. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක් නොවීම ය. එවැනි රටක් තුළ සිය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට අපරාධ අධිකරණයට හැකියාවක් නැත. මේ වනවිට එහි සාමාජිකත්වය දරන්නේ ලෝකයේ රටවල් 123 ක් පමණි. ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි බලවතුන් පවා එහි සාමාජිකත්වය දරන්නේ නැත.
වරෙන්තුව නිසා පුටින් ක්‍ෂණිකව අත්අඩංගුවට පත්වීමට ඉඩක් නැතත් ඔහුගේ විදෙස් ගමන්වලට යම් දුරකට සීමාවක් පැනවෙන්නට හැකි බව විශ්වාස කෙරේ. මන්ද යත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය දරණ රටක දී ඔහු අත්අඩංගුවට පත්වීමේ යම් ඉඩක් ඇති බැවිනි. මෙවැනි වරෙන්තුවක් ලැබූ පුද්ගලයකු තම රටට පැමිණියහොත් එම පුද්ගලයා රඳවා ගෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත භාර දීමට මෙම සාමාජික රටවල් බැඳී සිටියි. එසේ වුවත්, ප්‍රායෝගිකව එවැන්නක් සිදුවීමට පවා වැඩි ඉඩක් නැති බව නිරීක්‍ෂකයන්ගේ අදහස යි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට මෙවැනි චුදිතයකු සෘජුව අත්අඩංගුවට ගැනීමට බලයක් නැත. එය කළ යුත්තේ අදාළ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශ ය. මෙම තත්ත්වය තුළ අත්අඩංගුවට ගැනීමක් සිදුවිය හැක්කේ එම රටේ බලධාරීන් ඒ සඳහා සූදානම් නම් පමණි.
යම් දිනෙක පුටින්ට රුසියාවේ බලය අහිමි වී වෙනත් නායකයකු පත් වුවහොත් එවැනි අවස්ථාවක ඔහුට යම් අනතුරක් එල්ල විය හැකි බව ඇතැම් නිරීක්‍ෂකයන්ගේ අදහස යි. මෙයට දශක කිහිපයකට පෙර යුගොස්ලාවියාවේ ජනාධිපති ධුරය දැරූ ස්ලොබදාන් මිලෙසොවිච්ට එවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු විය. ඔහුට ද ජාත්‍යන්තර අධිකරණයකින් මෙවැනි වරෙන්තුවක් නිකුත්ව තිබූ අතර ඔහුගෙන් පසු බලයට ආ නායකයෝ ඔහු එම අධිකරණය වෙත භාර දීමට පියවර ගත්හ.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මූලස්ථානය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේ හේග් නුවර යි. බලයේ සිටින රාජ්‍ය නායකයකුට එරෙහිව වරෙන්තුවක් නිකුත් වූ තුන්වැනි අවස්ථාවයි මේ. මෙයට පෙර එලෙස වරෙන්තු නිකුත් ව තිබුණේ ලිබියාවේ මුවම්මර් ගඩාෆිට සහ සූඩානයේ හිටපු ජනාධිපති ඔමාර් අල්-බෂීර්ට එරෙහිව පමණි. ගඩාෆිට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ 2011 වසරේ ජුනි මාසයේ යි. නමුත් එම වසරේ ඔක්තෝබර් මාසයේ ඔහු ඝාතනයට ලක් වූ නිසා මෙම චෝදනා විභාගය අත්හැර දමනු ලැබිණි. අල්-බෂීර්ට එරෙහිව චෝදනා ගොනු කළේ 2009 වසරේ ය. නමුත් මේ වනතුරුත් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.
පුටින්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව තවත් අතකින් විශේෂත්වයක් ගනියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක කවුන්සිලයේ නිශේධ බලය හිමි නිත්‍ය සාමාජික රටක නායකයකුට එරෙහිව මෙවැනි වරෙන්තුවක් නිකුත් වූ පළමු අවස්ථාව මෙය බැවිනි.
නිහාල් පීරිස්