රුසියා යුක්රේන ප්‍රශ්නය මුල් කොට බයිඩන් පුටින් හමුවක්?

රුසියා යුක්රේන ප්‍රශ්නය මුල් කොට ඇමරිකා රුසියා ජනපති වරු හමුවක්? රුසියාව සහ යුක්රේනය අතර මතුව ඇති අර්බුදය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්  සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබේ.ඒ ප්‍රංශ මැදිහත් වීමකින් පසුවය.ප්‍රංශය විසින් ඉදිරිපත් කොට ඇති මෙම යෝජනාව සළකා බැලෙනුයේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය නොකළහොත් පමණක් බව අමෙරිකාව අවධාරණය කොට ඇත.මෙම සාකච්ඡාව පිළිබඳ යෝජනාව ප්‍රංශ ජනාධිපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කොට ඇත්තේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ රුසියානු ජනපති පුටින් අතර වූ දුරකථන ඇමතුමකින් පසුව ය. එම ඇමතුම පැය තුනකට ආසන්න කාලයක් දිග් ගැස්සී ඇති බව ද පැවසෙයි.හතලිහේ දශකයෙන් පසු යුරෝපයේ ඇති වූ දරුණුතම ආරක්ෂක අර්බුදයකට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබා දීම සඳහා ඇමරිකානු සහ රුසියානු රාජ්‍ය නායකයින් මෙලෙස රැස්වන බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන සාකච්ඡාවේ දී මෙම සමුළුව පිළිබඳ වැඩිදුර විස්තර සාකච්ඡා කෙරෙනු ඇති බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි.

කාලීන පුවත්