ලංකාවේ ප්‍රදේශ රැසක් එකවර දැක බලා ගත හැකි තැනකට යමු

අප ජීවත් වන මේ රට මොනතරම් සුන්දර දිවයිනක්ද කියලා අපට නැවත නැවතත් තහවුරු කරවන ස්ථානවලින් අපේ රටේ කිසිදු අඩුවක් නෑ. අද ඔබව කැඳවා ගෙන යන්නෙත් එවැනි සුන්දර ස්ථානයකට. මේ කැලෑබොක්ක View point අංශක 360 කඳු මුදුන. අපේ රටේ තිබෙන තවත් දර්ශනීයම ස්ථානයක් තමයි මේ කැලෑබොක්ක .
මෙය පිහිටියේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික් මායිමේ පන්විල ප්‍රදේශයේයි. මෙහි කඳු මුදුන හපුතලේ පුංචි ලෝකාන්තය සහ හුන්නස්ගිරිය කඳු මුදුන අතර පිහිටා තිබෙනවා. මුළු නකල්ස් පරාසයම අංශක 360 ක දර්ශනයක් ලෙසින් දැක ගන්න ලැබෙන නිසා තමයි මෙය⁣ට view point 360 කි⁣යන්නෙ.

දැන් අපි අතරමග අසිරිය විඳ ගනිමින් කැලෑබොක්කට යමු.

  මහනුවරට ඇවිත් වත්තේගම හරහා පන්විල බඹරැල්ල මාර්ගයේ කැලෑබොක්කට යන්න පුළුවන්. මාතලේ පැත්තෙනුත් යන්න පුළුවන්. මේ කියන්නේ මහනුවර පැත්තෙන් යන විදිහ.
මේ පාරේ එනකොට මඩොල්කැලේ කඩමණ්ඩිය හමු වෙනවා. මේ කඩමණ්ඩිය ළඟින් තමයි හුළු ගඟ ගලා බසින්නෙ. හුළු ගඟ නිර්මාණය කරන හුළු ගඟ ඇල්ල මේ කඩමණ්ඩිය කිට්ටුවෙන්ම පිහිටා තිබෙනවා. උස අඩි 75ක් වුණු හුළුගඟ ඇල්ල ලංකාවේ දිය ඇලි අතර 28 වැනි ස්ථානය හිමිකරගෙන හිඳිනවා . කැලෑබොක්කට යන ඔබට ඒ යන ගමනෙදි අතරමග හමු වෙන මේ සුන්දර ස්ථානයත් දැක බලාගෙනම යන්න පුළුවන්. ඇල්ල ළඟට යන්න පහසු වන පරිදි පඩි පෙළක් ද සකසා තිබෙනවා. අවශ්‍ය නම් මේ පඩිපෙළ උඩ ඉඳලම ඇල්ල නරඹන්න හැකි වන පරිදි නැරඹුම් ස්ථානයක් (view point ) ලෙසින් තමයි මේ පඩිපෙළ නිර්මාණය කර තිබෙන්නේ.

පායන කාලයට නම් ඇල්ල පාමුල තිබෙන ගල් තලාවට ගොස් ඇල්ල නරඹන්න පුළුවන්. නමුත් වැසි කාලයට ඉතා විශාල ජල කඳක් හුළු ගඟ ඇල්ලෙන් පහළට ගලා හැලෙන නිසා ඒ ආසන්නයට යන්න අමාරුයි. ඒ වගේම එය ඉතාමත් අවදානම්.
මඩොල් කැලේ සිට දිස් වෙන නිරන්තරයෙන් අඩ මීදුමෙන් වැසී ගත් වතු සේවකයින් ගේ ලයින් ගම්මාන ද ඔබට දැකගත හැකිවේවි.
මඩොල් කැලේ සිට දකුණු පැත්තෙන් නකල්ස් කඳුවැටිය, ගොම්බානිය සහ යකුන්ගෙගෙල කඳු වැටි දෙසට ගමන් කළ හැකියි.
හුළුගඟ ඇල්ල තරමටම විශාල නැති, මේ ආසන්නයේම සාරි ඇල්ල නමින් තවත් කුඩා ඇල්ලකුත් තිබෙනවා. බඹරැල්ල කඩ මණ්ඩියෙන් උඩ පැත්තට තියෙන පොඩි කොන්ක්‍රීට් පාරේ කිලෝ මීටරයක් තරම් දුර ආවම මේ සාරි ඇල්ල දැක ගන්න පුළුවන්. සාරි පොටක් පහළට කඩා හැලෙන ආකාරයට පිහිටා තිබෙන මේ කුඩා දිය ඇල්ලේ ඒ පිහිටීම නිසාම අමුතු ලස්සනක් තිබෙනවා.
ඒ වගේම මේ ආසන්නයේ කිලෝමීටර් කිහිපයක දුර ප්‍රමාණයක් තුළ තවත් අලංකාර දිය ඇලි කිහිපයක් දැක බලාගන්න පුළුවන්. ඒ, රහස් ඇල්ල, තලිය වැටුණු ඇල්ල සහ ජෝඩු ඇල්ල යි.
මඩොල් කැලේ හන්දියෙන් කබරගල පැත්තට හැරිලා එනකොට කැලෑබොක්ක view point 360 බෝඩ් එක හමු වෙනවා. මෙතන තමයි ටිකට් කවුන්ටරය තියෙන්නේ. ඔබ කැලෑබොක්ක නරඹන්නට යන විට රුපියල් සියයක ටිකට් පතක් මිල දී ගත යුතුයි. camping කරනවා නම් එක් අයෙකුට රුපියල් සීයේ ටිකට් පතට අමතරව camping ගාස්තුව වශයෙන් රුපියල් දෙදහසක් ගෙවිය යුතුයි. ටිකට් කවුන්ටරය ළඟ ඉඳලා view point එකට කි. මී. 6 ක් පමණ දුරයි. ඒ වගේම මාර්ගයත් සෑහෙන දුෂ්කරයි. කාර් එකකින් නම් මේ ගමන එන්න අමාරුයි. උස ෆෝ වීල් වාහනයකින් නම් බොහෝ දුරට පුළුවන්. ඒ වගේම මෝටර් බයිසිකල්වලිනුත් තරමක් කටුක වුවත් යන්න පුළුවන්කම තියෙනවා.

මඩොල් කැලේ සිට කැලෑ බොක්ක ට එන පාර දුෂ්කර වුණාට මේ පාරේ එනවිට ඉතාමත්ම සුන්දර දර්ශන දැක ගන්නට ලැබේවි. නකල්ස් කඳු පන්තියට අයත් බොහොමයක් කඳු, අලගල්ල, බතලේගල වැනි කඳු පන්ති මේ අතර වෙනවා.
ඒ වගේම මේ ගමන ගැන කියන විට සඳහන් නොකරම බැරි තැනක් තමයි
කැලෑබොක්ක තේ වතුයාය. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් විශාලම තේ වතුයාය ලෙස සැලකෙන කැලෑ බොක්ක තේ වතුයාය අක්කර පන් දහසකට ආසන්න බවයි කියවෙන්නේ. වතු කම්කරුවන්ගේ ලයින් නිවාස මෙහි බොහෝ සෙයින් දැකගත හැකි අතර මෙම දරුවන් කිලෝමීටර් 5ක 6ක තරමේ දුරක් දෙපයින් ඇවිදගෙන පාසල් යාමත් මෙහි සුලභ දසුනක්. ඉතාමත්ම දුෂ්කර ජීවිත තමයි මෙම දරුවන් ගෙවාලන්නෙ.

කැලෑබොක්ක viewpoint එකට ගියාම අති සුන්දර මනස්කාන්ත දර්ශන ඔබට දැකගන්න ලැබේවි. ඉර බැසගෙන යන වෙලාවට හරිම ලස්සන රටා අහසේ මැවෙනවා. හැබැයි සුළංපාර සැරයි. ඒ වගේම ගොඩක් සීතලයි . ඒ නිසා රෑට camping කරන්න එනව නම් සුළං පාරට වගේම සීතලටත් ඔරොත්තු දෙන විදියට ඇඳුම් වගේම කූඩාරමත් සකස් කර ගන්න වෙනවා. මේක අමුතුම අත්දැකීමක්.


මේ view point එකට ඇවිත් ඈත බලනකොට නකල්ස් කඳු පන්තිය, රිවර්ස්ටන් කඳු ප්‍රදේශය, ඊට එහායින් පිටවලපතන, රිවර්ස්ටන් කඳු වලට ආසන්නයෙන් ලග්ගල, එතැනින් එහාට පොලොන්නරුව, අනුරාධපුරය, මාතලේ රත්තොට ප්‍රදේශය, පිටකන්ද, සෙම්බුවත්ත වැව මාතලේ නිම්නය, අනෙක් පැත්තට කඩුගන්නාව ප්‍රදේශය, බලන කපොල්ල, බයිබල් කන්ද වැනි තවත් මෙකී නොකී ප්‍රදේශ ගණනාවක් ඔබට දැක බලා ගන්න ලැබෙනවා.
නිවාඩු දවසක ඔබත් ගිහින් මේ අත්දැකීම විඳ බලන්න. නමුත් ඔබේ පා සටහන් මිස, ඔබ රැගෙන යන කිසිවක් එහි දමා එන්න එපා. අනාගත පරපුරටත් අප මේවා ඉතිරි කළ යුතු නිසා.

ඉන්දු පෙරේරා

ජායාරූප අන්තර්ජාලයෙනි.

හරිත දනව්ව