අද වන විට බොහෝ ලංගම ඩිපෝ තුළින් නිසි පරිදි ඩීසල් ලබා නොදීම හේතුවෙන් සමස්ත පෞද්ගලික බස් රථ 13,000ක ප්‍රමාණයෙන් ධාවනය කිරීමට හැකි ව ඇත්තේ බස් රථ 1,500-2000 කට ආසන්න ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ලංගම ඩිපෝ තුළින් බස් රථවලට ඩීසල් ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ ද ලංගම ඇතැම් වෘත්තීය සමිති මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරිමට කටයුතු කරන බවත්, මේ නිසා බොහෝ ඩිපෝ මගින් ඩීසල් ලබාදීම මන්දගාමී ආකාරයට සිදුකරන බවත් විජේරත්න මහතා පවසයි.නමුත් මේ සම්බන්ධයෙන් ලංගම ප්‍රාදේශිකයන් හි ආරංචි මාර්ග සඳහන් කරනුයේ ඩිපෝ වලින් සැලකිය යුතු පෞද්ගලික බස් රථ ප්‍රමාණයකට ඩීසල් සැපයීම “අටුව කඩා පුටුව හැදීමක්” වැනි ක්‍රියාවක් බව හා එය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ අදූරදර්ශී දේශපාලන තීන්දු වලින් එකක් පමණක් බව ය.ඇතැම් ලංගම ඩිපෝ වලට සැපයෙන ඩීසල් ප්‍රමාණය හා එම ටැංකිවල ධාරිතාව අනුව ඩිපෝවේ බස් ධාවන කටයුතු සඳහා යන්තම් පිරිමසා ගත හැකි මුත් ඒවායින් පෞද්ගලික බස් රථ සඳහා ද ඩීසල් ලබා දීමෙන් ලංගම බස් ධාවනය අඩාල වීමේ හෝ මුළුමනින් ඇන හිටීමේ අවදානමක් පැන නැඟී ඇති බව ද ලංගම ප්‍රාදේශීය කළමණාකරුවෝ කියති.එමෙන්ම පසුගිය කාලයේ ලංගමයෙන් ඩීසල් ලබා ගත් ඇතැම් පෞද්ගලික බස් රථ හිමියන් ඒවා වැඩි මිලට “කළු කඩය”ට විකුණා බස් ධාවනයෙන් වැලකී ඇති මුත් ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රවාහන කොමිසම හෝ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය නිහඬ පිළිවෙතක් අනුගමනය කොට ඇතැයි ද ලංගම ආරංචි මාර්ග සඳහන් කරයි.එමෙන්ම “ජාතික ගමන් සගයා” වශයෙන් පොදු ජනතාවට සෘජුව ප්‍රවාහන පහසුකම් සැපයීමට හැකියාව ලංගමය සතුව තිබිය දී එම සේවය පෞද්ගලික බස් වලට ඩීසල් සපයා වක්‍රව ලබා දීමට අවශ්‍ය නොවන බව ද ලංගම ආරංචි මාර්ග කියයි.