ලබන අවුරුද්ද ලංකාවේත් උණුසුම්ම අවුරුද්ද වේවි ද?

ලබන අවුරුද්ද ලංකා ඉතිහාසයේත් උණුසුම්ම අවුරුද්ද බවට පත් වේවි ද? මෙවැනි ප්‍රශ්නයක් මතු වන්නේ 2024 වසර මෙතෙක් ලෝකයේ වාර්තා වූ උණුසුම්ම වසර බවට පත් වීමට ඉඩ ඇති බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති නිසා ය. විද්‍යාඥයන්ගේ මෙම අනාවැකිය සම්බන්ධයෙන් ලොව බොහෝ පාර්ශ්ව අවධානය යොමු කරමින් සිටින ආකාරයක් දැකිය හැකි වේ. එවැනි තත්ත්වයක් ඇති වන්නේ නම් ඊට මුහුණ දීමට සූදානම් විය යුතු බැවිනි. ලංකාවේ අප ද දැන් සිටම මේ ගැන සැලකිල්ල යොමු කිරීම වැදගත් විය හැකිය.

ලෝකයේ කාලගුණ විද්‍යාඥයන් පවසන ආකාරයට ලබන වසර මේ ආකාරයෙන් උණුසුම් වසරක් වන්නට යන්නේ එල් නිනෝ (El Nino) නමින් හැඳින්වෙන කාලගුණික සංසිද්ධිය නිසා යි. සාමාන්‍යයෙන් එය වසර 2 සහ 7 අතර කාලයකට වරක් ලෝකයේ ඇති වන තත්ත්වයක් ලෙස සැලකේ. මෙම තත්ත්වය ඇති වන්නේ පැසිෆික් සාගරයේ සමකය ආසන්න කලාපයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග ය. සාගරය මේ ආකාරයෙන් විශාල වශයෙන් උණුසුම් වීම නිසා විශාල තාප ප්‍රමාණයක් වායුගෝලයට මුදා හැරේ. ඒ අතර මෙම පැසිෆික් සාගර කලාපය හරහා සුළං හමන ආකාරයේ ද වෙනසක් ඇති වෙයි.

සාමාන්‍යයෙන් ඉහත කී කලාපය හරහා සුළඟ හමන්නේ එම කලාපයේ නැගෙනහිර (මධ්‍යම ඇමරිකාව පැත්තේ) සිට බටහිර ( අග්නිදිග ආසියාව) දෙසට යි. නමුත් එල් නිනෝ තත්ත්වයක දී මෙම සුළං ප්‍රවාහයේ අඩු වීමක් සහ සමහර විට එය ආපසු හැරීමක් ද සිදු විය හැකිය. මේ නිසා මධ්‍යම ඇමරිකානු කලාපයට වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි අතර ආසියාවේ ඇතැම් ප්‍රදේශවලට සහ අප්‍රිකානු කලාපයට ලැබෙන වර්ෂාවෙහි අඩු වීමක් ද, එම ප්‍රදේශවල උණුසුම වැඩි වීමක් ද සිදු විය හැකි වේ. ඉන්දියානු සාගර කලාපයට ද මෙම තත්ත්වය බලපාන බැවින් දුකුණු ආසියානු කලාපයේ ද මෝසම් වැසි අඩු වීමක් සිදුවිය හැකි බවට කාලගුණ විශේෂඥයන් අනාවැකි පළ කර තිබේ. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එයින් කෘෂිකාර්මික කටයුතුවලට, ජල විදුලි නිශ්පාදනයට බලපෑමක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් ද දැන්ම අවධානය යොමු කළ යුතු වන්නේ මේ නිසා ය.

කාලගුණ විද්‍යාඥයන් පවසන ආකාරයට මේ වනවිටත් එල් නිනෝ තත්ත්වය වර්ධනය වෙමින් ඇති අතර මෙම වසර අවසන් භාගයේ සහ ලබන වසර මුල් භාගයේ එහි උපරිම බලපෑමක් ඇති විය හැකිය. ඕස්ට්‍රේලියාව වැනි රටවලට මෙයින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට ද විද්‍යාඥයෝ අනතුරු අඟවති. එහි නියඟයන් පවා ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.

මේ වනවිට ඉතිහාසයේ වාර්තා වී ඇති උණුසුම්ම වසර වන්නේ 2016 වසර යි. නමුත් වත්මන් එල් නිනෝ තත්ත්වය උග්‍ර වුවහොත් 2024 වසර මෙම වාර්තාව බිඳ හෙළන වසරක් වීමට ඉඩ ඇති බව සඳහන් වේ. ‘ලබන වසර තුළ ගෝලීය උණුසුමේ අලුත් වාර්තාවක් බිහි වෙන්න විශාල ඉඩක් තිබෙනවා. එය තීරණය වනු ඇත්තේ එල් නිනෝ තත්ත්වයෙහි ප්‍රබලත්වය මතයි. දැනට වර්ධනය වෙමින් ඇති එල් නිනෝ තත්ත්වය උග්‍ර අතට හැරුණහොත් ලබන වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර බවට පත් වීමට ලොකු ඉඩක් තිබෙනවා’ බ්‍රීතාන්‍ය කාලගුණ විද්‍යාඥයකු වන ඇඩම් ස්කයිෆ් සඳහන් කර තිබේ.

මෙවැනි දරුණු එල් නිනෝ තත්ත්වයන් ඇති වූ විට ඒවා ලෝකයට විවිධ ආකාරයෙන් බොහෝ පාඩු සිදු කරයි. ආර්ථික සහ මානුෂීය වශයෙන් සිදුවන පාඩු ඒ අතරින් ප්‍රධාන තැනක් ගනියි. 1997-98 කාලයේ ඇති වූ එල් නිනෝ තත්ත්වයක් නිසා සිදු වූ පාඩුව ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 5 කට ආසන්න ය. එම කාලයේ ඇති වූ විවිධ ස්වාභාවික විපත් නිසා 23,000 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව තිබිණි.

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වැනි වායූන් වැඩි වීම නිසා මේ වනවිට කොහොමටත් ගෝලීය උණුසුම ඉහළ යමින් ඇති බව රහසක් නොවේ. ඉහත කී එල් නිනෝ තත්ත්වය විසින් ඊට තවදුරටත් තල්ලුවක් ලබා දිය හැකි බව ද විද්‍යාඥයන්ගේ විශ්වාසය යි. දැන් කාලයක සිටම විද්‍යාඥයන් පවසමින් සිටින කතාවක් වන්නේ ගෝලීය උණුසුම කාර්මික යුගයට පෙර පැවැති මට්ටමට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යාමට නොදිය යුතු බවයි. නමුත් මේ වනවිට මෙම විද්‍යාඥයන් අනාවැකි පළ කරන්නේ 2027 වනවිට මෙම උෂ්ණත්ව සීමාව පසු කර යාමට බොහෝ දුරට ඉඩ ඇති බවට ය. මේ ආකාරයෙන් ගෝලීය උණුසුම වැඩි වීම දැවැන්ත පරිමාණයේ ඛේදවාචකයන්ට මග පාදන්නකි. සාගරවල උණුසුම ඉහළ යාම නිසා ජල මට්ටම වැඩි වීමෙන් ඇතැම් රටවල් මුහුදට බිලි වීමේ අවදානමක් ඇති බව දැන් කාලයක සිටම පෙන්වා දෙමින් තිබේ. මාල දිවයින වැනි රටවල් ඉතා දරුණු ලෙස මෙම අවදානමට මුහුණ දී සිටියි. තවත් බොහෝ රටවල ද වෙරළාසන්න ප්‍රදේශ මුහුදෙන් යට වනු ඇත. එමෙන්ම ලෝකයේ සමහර කලාපවල දරුණු නියං තත්ත්වයන් ඇති වන අතර තවත් කලාපවල අධික වර්ෂාව ඇති වීමෙන් ස්වාභාවික විපත්වල වැඩි වීමක් සිදු වෙයි. ගෝලීය උණුසුම ඉහත කී සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 සීමාව ඉක්මවා ගියහොත් එය ආපසු හැරවිය නොහැකි අර්බුදයක ආරම්භය සනිටුහන් කරනු ඇති බවට අනතුරු ඇඟ වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර