ලොවට හොරෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ගිය පැය 10 යේ දුම්රිය ගමන

නිරන්තරයෙන් බෝම්බ ප්‍රහාර සහ වෙඩි ප්‍රහාරවලින් ගිනියම් වෙමින් යුද ගිනි දැල් ඇවිලෙමින් ඇති යුක්රේනය වෙත පසුගිය දා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ගිය අසාමාන්‍ය ‘නිල සංචාරය’ ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් බවට පත් විය. යුක්රේනයේ පවතින ආරක්‍ෂක තත්ත්වය තුළ මෙය අතිශයින් අනතුරුදායක ගමනක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත. 80 වැනි වියෙහි පසුවන බයිඩ්න් මෙම ගමන ගොස් තිබුණේ ඉතා හොර රහසේ ය. ඒ ගැන දැන සිට ඇත්තේ ඔහු සමීපයේම කටයුතු කරන ඉතාම සුළු පිරිසක් පමණක් බව සඳහන් විය. ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් මෙවැනි නිල සංචාරවල නිරත වෙද්දී වේලාසනින්ම ඒ ගැන මාධ්‍ය දැනුම්වත් කිරීම සිරිතයි. නමුත් බයිඩ්න්ගේ යුක්රේන සංචාරය ගැන මාධ්‍ය පවා එතරම් නොදැන සිටි බව පෙනේ. මෙම ගමන සඳහා රැගෙන ගොස් තිබුණේ ද මාධ්‍යවේදීන් දෙදෙනකු පමණක් බව සඳහන් විය. යුක්රේනයේ කිව් අගනුවර වෙත ළඟා වනතෙක්ම ඔවුන්ට ජනාධිපතිවරයා දැකගන්නට පවා ලැබී තිබුණේ නැත. ගමන ආරම්භයේදී ම ඔවුන්ගේ දුරකතන ද ආරක්‍ෂක නිලධාරීන් භාරයට ගෙන තිබිණි.

බයිඩ්න්ගේ මෙම ගමන මෑත කාලයේ ඇමරිකාවේ කිසිදු ජනාධිපතිවරයකු නොගිය ආකාරයේ ගමනක් බව නිරීක්‍ෂකයන් පෙන්වා දී තිබිණි. ඇෆ්ගනිස්තානය සහ ඉරාකය වැනි රටවල යුද ගැටුම් පවතිද්දී ඇමරිකානු ජනාධිපතිවරුන් එම රටවලට ගොස් තිබිණි. නමුත් ඒ වනවිට එම රටවල ඇමරිකානු හමුදාව ද රැඳී සිටියේය. එම නිසා ඒ ජනාධිපතිවරුන්ට වැඩි ආරක්‍ෂාවක් සැපයිණි.

මෙම ගමනේ දී රැයක් එලිවෙනතුරු ජනාධිපතිවරයා ගමන් කර තිබුණේ දුම්රියකිනි. එය පැය 10 කට වැඩි දීර්ඝ ගමනක් වූ බව ද සඳහන් ය. බයිඩ්න් යුක්රේනය බලා ධවල මන්දිරයෙන් පිටත්ව තිබුණේ ඉරිදා (19) උදය කාලයේ යි. ඔහුගේ කණ්ඩායමට අයත්ව සිටියේ ආරක්‍ෂක නිලධාරීන්, වෛද්‍යවරුන් සහ උපදේශකයන් කිහිප දෙනෙකු පමණි. එය ඉතා කුඩා කණ්ඩායමක් වූ බව පැවසිණි.

මුලින්ම ගුවන් යානයකින් ගමන් කළ බයිඩ්න් පැය 7 ක පමණ ගමනකින් පසු ජර්මනියේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරක් වෙත ළඟා වී තිබිණි. ඔහුගේ යානය එහි ගොඩ බස්වා තිබුණේ ඉන්ධන නැවත පුරවා ගැනීම සඳහා ය. එයින් පසු එතැනින් පිටත් වූ යානය ඊළඟට පියාසර කර තිබුණේ පෝලන්තයේ ගුවන් තොටුපලක් වෙත ය. ගුවන් ගමන් එතැනින් නිම විය. මෙම ගුවන්තොටුපලේ දී ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මෝටර් රථවලට මාරු වී තිබිණි. මේ වෙද්දී අඳුර වැටෙමින් තිබුණු බව ද සඳහන් වේ.

මෝටර් රථ පෙල අඳුර අතරින්ම ඊළඟට ගමන් කර තිබුණේ යුක්රේන දේශ සීමාව ආසන්නයේ තිබෙන දුම්රිය ස්ථානයක් වෙතයි. මෙම දුම්රිය ස්ථානය හැඳින්වෙන්නේ ප්ෂෙමිස්ල් ග්ලෝව්නි යනුවෙනි. මෝටර් රථ පෙල මෙම දුම්රිය ස්ථානය වෙත ළඟා වෙද්දී වේලාව රාත්‍රි 9.15 ට පමණ වූ බැව් සඳහන් විය. ජනාධිපතිවරයා ඇතුළු පිරිස එහි දී දුම්රියට ගොඩ වීමෙන් පසු එය යුක්රේනයේ කිව් නුවර බලා ගමනාරම්භ කළේය. මෙම දුම්රිය මැදිරි 8 කින් සමන්විත වූවකි. එහි වැඩි වශයෙන් සිටියේ ආරක්‍ෂක නිලධාරීන් බව සඳහන් වේ.

රැය එලිවෙනතුරුම බයිඩ්න් ගමන් කර තිබුණේ දුම්රියෙනි, එය පැය 10 ක පමණ ගමනක් විය. බයිඩ්න් කොහොමටත් දුම්රිය ගමන්වලට කැමැත්තක් දක්වන්නකු ලෙස සැලකේ. ඔහු තරුණ වියේදී සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලයේ තම නිවස පිහිටා තිබූ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් නුවර වෙත දිනපතා ගමන් කර තිබූණේ දුම්රියෙනි. තමා මෙම ගමන්වලින් විශාල ආස්වාදයක් ලැබූ බව ඔහු නිතර සඳහන් කරයි. එකල ඔහුට ‘ඇම්ට්‍රැක් ජෝ’ යනුවෙන් නමක් පටබැඳී තිබූ බව ද පැවසේ. ඇම්ට්‍රැක් යනු ඇමරිකාවේ ප්‍රධාන දුම්රිය සේවා සමාගමයි.

පසුදාට පහන් වෙද්දී ජනාධිපති බයිඩ්න් රැගත් දුම්රිය යුක්රේන අගනුවර වෙත ළගා වී තිබිණි. එදින උදයේ පටන්ම කිව් නුවර ඇතැම් මාර්ග සහ ඉසව් වසා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් ඊට හේතුවක් ගැන වැඩි දෙනෙකු කිසිවක් නොදැන සිටි බව ද සඳහන් වේ. ඒ අතර නවතම ආවේක්‍ෂණ තාක්‍ෂණයෙන් සමන්විත ඇමරිකානු යුද ගුවන් යානා පෝලන්ත සීමාවේ සිට කිව් නගරය ගැන ඇසගසාගෙන සිටි බව ද පැවසේ.

පසුව බයිඩ්න් යුක්රේන ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මුණ ගැසුණු අතර ඔහු පැය 5 ක පමණ කාලයක් යුක්රේනයේ ගත කර තිබිණි. යුද්ධයෙන් මිය ගිය යුක්රේන සෙබළුන් වෙනුවෙන් ඉදි කෙරුණු ස්මාරකයක් අබියස මල්වඩමක් තැන්පත් කර ගෞරව දැක්වීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය. මේ අතර තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක යුද ආධාර යුක්රේනයට ලබා දෙන බවට ද ඔහු පොරෝන්දු විය. මේ වනවිටත් ඇමරිකාව ඩොලර් බිලියන 50 ක පමණ යුද ආධාර යුක්රේනයට ලබා දී තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර