වසරක් ගෙවී නව වසරක් උදා වී තිබේ. අප රටේ මෙන්ම ලෝකය පුරා ද ජනතාව නව වසර සමරන්නට පටන් ගෙන ඇත. ලොවම උත්සව සිරියකින් පිරී තිබේ. ජනවාරිි 1 වැනිදා නව වසරක් උදාවීම අප යම් උත්සවශ්‍රීයකින් සැමරුව ද එය අප්‍රේල් මාසයේ උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද තරම් චාරිත්‍ර වාරිත්‍රවලින් පිරුණු එකක් නොවේ. සාම්ප්‍රදායික වශයෙන් අපි එය ‘ජනේරුව’ හෝ ‘ජනේරු මංගල්‍යය’ ලෙස හඳුන්වන්නට පුරුදුව සිටිමුු. එය බොහෝවිට උදාවන්නා වූ නව වසර වෙනුවෙන් ආශීර්වාද කරමින් ආගමික වතාවත් සිදු කරමින් සමරන දෙයක් පමණක්ම වන්නේය. ඊට අමතරව රැයක් පහන්වන තුරු පවත්වනු ලබන විවිධාකාර සාද ද මෑතක සිට ප්‍රචලිත වෙමින් පවතී. කෙසේ නමුත් ලෝකයේ බොහෝ රටවල ජනවාරි 1 වැනිදා යනු අමුතුම ආකාරයේ චාරිත්‍රවාරිත්‍රවලින් සපිරි සැණකෙළියක් ලෙස පැවැත්වෙන්නකි.
මළවුන්ට හඩ ගසා නව වසර සමරන චිලිය
චිලියේ නව වසර සඳහා දේව මෙහෙය පවා පැවැත්වෙන්නේ සොහොන් පිටියකදීය. සිය පවුලේ සාමාජිකයකු වියෝ වී ඇත්නම්, ඔහු හෝ ඇය භූමදානය කළ සොහොන අසලට ගොස් දේව මෙහෙයට සවන් දෙයි. ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ සිය පවුලේ සාමාජිකයා ද නව වසර සැමරීම සඳහා එක්කර ගැනීමය. ෆින්ලන්තයේ හා දකුණු ඇමරිකානු රටවලත් මෙම සිරිත දක්නට ලැබේ.
අවුරුද්ද උදා වන තුරු මිදි කන ස්පාඤ්ඤය
ස්පාඤ්ඤ වැසියන් නව වසර පිළිගන්නේ අපූරු ආකාරයකටය. මැඩ්රිඩ් අගනුවර ‛ප්ලාසා ඩි එස්පානා’ එළිමහන් චතුරශ්‍රයට එක් වන ඔවුහු නව වසර උදා වන්නට තත්පර 12ක් තිබියදී තත්පරයට එක බැගින් මිදි ගෙඩි දොළහක් කෑමට පුරුදුව සිටිති. ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ එළඹෙන මාස 12 සුබදායක වේවා යන්නය.
නව වසරේ ආහාර වේල් 12ක් ගන්නා එස්තෝනියාව
එස්තෝනියාවේ වැසියෝ නව අවුරුදු උදාවත් සමඟ කෑම වර්ග 12ක් පිළියෙළ කරති. යම් අයෙකුට මේ කෑම වේල් 12 ද ඉතිරි නැතිව කෑමට හැකි වුවහොත් එළඹෙන වසරේ සෑම දිනකම ඔහුට හෝ ඇයට ආහාර පානවලින් හිඟයක් නැති බැව් ඔවුහු විශ්වාස කරති. එමෙන්ම එම පුද්ගලයාට සත් දෙනෙකුගෙ ශක්තිය ලැබෙන බව ද විශ්වාසයක් පවතී.
නව වසර වෙනුවෙන් රවුම් හදන පිලිපීනය
රවුම එසේත් නැත්නම් වෘත්තය යනු අපගේ ලෝකය ගමන් කරනා මාර්ගයයි. අපේ ලෝකයේ හැඩයයි. අනාදිමත් කාලයක සිටම මිනිස්සු වෘත්තය යනු ශුද්ධ වූ සංකේතයක් ලෙස සලකන්නට පුරුදුව සිටියහ. පිලිපීනයේ දී වෘත්තයට පූජනීය තත්වය ලැබෙන්නේ නව අවුරුදු උදාවේදීය. ඔවුන් නව වසරේ අඳින ඇඳුමේ ඇත්තේ රවුම් හැඩය ඇති මෝස්තරය. ආහාරයට ගන්නේ මිදි වැනි රවුම් හැඩයේ පලතුරුය. නිවෙස වටා ගමන් කරනා අතරේ වළඳකට රවුම් කාසියක් දමා වටේට ගමන් කරවීම සිදු කරයි. මෙසේ කිරීමෙන් නිවසට සෞභාග්‍යය උදාවන බව ඔවුහු විශ්වාස කරති.
අතීතය පුළුස්සා දමන ඉක්වදෝරය
ඉක්වදෝර් වැසියෝ නව වසර එළඹෙන්නට පෙර තමන් ගත කළ වසරේ සිදු කළ වැරදි කඩදාසියක ලියති. අනතුරුව එය පුළුස්සා දමති. එමෙන්ම පත්තර කඩදාසිවලින් තනන ලද පඹයකු පුළුස්සා දැමීම ද සිදු කරනු ලබයි. ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ පසුගිය වසරේ නරක දේ පළවා හැරීමය. මෙම සම්ප්රදාය වර්තමානය වන විට දේශපාලඥයින්ගේ රුව සහිත පඹයන් පුළුස්සා දැමීම තෙක් වර්ධකය වී තිබේ.
බෙලරුස්වලින් ඇසෙන කුකුල් කතාව
බෙලරුස්වල අවිවාහක තරුණ තරුණියෝ නව වසරේ මුල්ම පැය කිහිපය ගත කරනුයේ පසුගිය වසරේ ඔවුනොවුනගේ ආදර සබඳතා පිළිබඳ මෙනෙහි කරන්නටත් අනාගත ආදර සබඳතා පිළිබඳ සිහින මවන්නටත්ය. තරුණියෝ මෙහිදී අපූරු ක්‍රිඩාවකට ද සහභාගී වෙති. සෑම අවිවාහක තරුණියක් ඉදිරියේම ඉරිඟු ධාන්‍ය පිරවූ පිඟානක් තබනු ලබයි. ඉන් පසු කුකුළකු එතැනට රැගෙන එයි. මෙහිදී කුකුළා මුලින්ම ධාන්‍ය අනුභව කළ පිඟාන හිමි තරුණිය එහි සියලු තරුණියන් අතුරින් මුලින්ම විවාහපත් වන බව ඔවුහු විශ්වාස කරති. විවාහක කාන්තාවන් සිය අවිවාහක මිතුරියන් වෙනුවෙන් තවත් ක්‍රීඩාවක් කරති. විවාහක කාන්තාවෝ සිය නිවසේ පාන්, මුදු වැනි විවිධ දෑ කිහිපයක් සඟවයි. අවිවාහක මිතුරියක් මේ සැඟවූ දෑ අතරින් පාන් කැබැල්ලක් සොයා ගත්තේ නම් ඇය ධනවත් තරුණයකු හා විවාහ වන බවත්, මුද්දක් සොයා ගත හොත් ඇය කඩවසම් තරුණයකු හා විවාහ වන බවත් විශ්වාස කෙරේ.
මිතුරකු වෙනුවෙන් දීසියක් කඩන ඩෙන්මාර්කය
ඔබගේ නිවසේදී දීසියක් බිම වැටී බිඳී ගියහොත් සිදු කරන්නේ එය කසල ගොඩට දැමීම වුවත් ඩෙන්මාර්කයේ අලුත් අවුරුදු උදාව සමඟ එවැන්නක් සිදු වුවහොත් ඔබට ඒ වසරේ අලුත් යහළුවන් හමුවන බව පැවසේ. ඩෙන්මාර්ක් වැසියෝ වසර පුරා එකතු කරන දීසි, නව වසර එළඹීමත් සමඟ කඩා දමති. නිවස ඉදිරිපිට මෙසේ බිඳින ලද දීසි ගොඩ වැඩි වන තරමට ඒ වසරේ එම පුද්ගලයාට මිතුරු මිතුරියන් හිමි වන බව විශ්වාස කෙරේ.
පාට පාට යට ඇඳුම් ඇඳ නව වසර පිළිගන්නා මධ්‍යම හා දකුණු ඇමරිකාව
නව වසරේ අඳිනා යට ඇඳුම මගින් උදා වන වසරේ තමාට ලැබෙන මුදල් හා ආදරය තීරණය කෙරෙන බැව් එම රටවල වැසියෝ විශ්වාස කරති. බොලීවියානු වැසියෝ තද කහ පැහැ යට ඇඳුම් අඳිනා අතර ඔවුහු එයින් එළඹෙන වසරේ වාසනාව වැඩිවේ යැයි බලාපොරොත්තු වෙති. මෙක්සිකානුවෝ මේ සඳහා අඳින්නේ තද රතු යට ඇඳුම්ය.
නව වසර උදා වන දිනය ආදරයෙන් පුරවන්නට කැමති ස්කොට්ලන්තය
ස්කොට්ලන්ත වැසියන් නව අවුරුදු උදා වන දිනය හඳුන්වන්නේ ‛හොග්මානි’ යනුවෙන්. එහි අරුත වන්නේ ‛මහා ආදර දිනය’ යන්නයි. නව අවුරුදු දිනයේ මැදියම් රාත්‍රියේ ස්කොට්ලන්ත වැසියෝ ගිනි දැල්වූ පොලු වනමින් නගරය පුරා සැරිසරති. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ නව වසර පවිත්‍ර කිරීමයි. එමෙන්ම නව වසරේ මුලින්ම නිවසට පැමිණෙන පුද්ගලයා අනුව ඉදිරි වසර කුමනකාර වේදැයි අනුමාන කරන්නට ද ඔවුහු පුරුදුව සිටිති.
නිරංජන් චාමින්ද කරුණාතිලක