ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර ආශ්‍රිතව ඇති වූ ලැව් ගිනි තත්ත්වය මේ වන විට ලෝක අවධානය දැඩිව ග්‍රහණය කර ගත් ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. මේ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් දහස් ගණනක ජනතාවක් අවතැන් වී සිටිති. එපමණක් නොව නොගිනිය හැකි තරම් සතුන් ද අසරණ තත්ත්වයට පත්ව සිටින බව මේ පිළිබඳ පළවන පුවත්වලින් මොනවට පැහැදිලි වේ. ගිනි දැල්වලට නිවාස බිලි වෙද්දී එයට මැදි වූ අසරණ සතුන් පිළිබඳ සහකම්පනයට පත් මිනිසුන් පිළිබඳ සිදුවීම් ද බොහෝ අසන්නට ලැබේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටකින් මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ කෘෂිකර්මයට හානි සිදු කරන්නේ යැයි පවසමින් සතුන් මරා දැමීම ප්‍රවර්ධනය කරන පුවත්, බෞද්ධ දර්ශනයෙන් පෝෂිත ශ්‍රී ලංකාව වැනි රටකින් නිරන්තරයෙන් ඇසෙන වකවානුවකය.
ලැව් ගින්න නිසා ඇති වූ කලබලකාරී තත්ත්වය මැද මැක්ස් නම් ගෝල්ඩන් රිට්රීවර් වර්ගයේ සුනඛයකු සිය හිමිකරුවන්ගෙන් මග හැරී ගින්නට මැදි වී තිබිණි. මැක්ස් ගින්නට මැදිව සිටින බව අසල්වැසියන් දුටුවේ ඌ සිටි නිවස ආසන්නයටම ලැව් ගින්න ඇවිලීගෙන එද්දීය. අසල්වැසියන් කළේ ගලවා ගැනීමේ කණ්ඩායම් ළඟා වන තුරු මැක්ස් සිටි ප්‍රදේශයට නලයක් මගින් ජලය විදීමය. එයින් ඌ සිටි ස්ථානයේ ගිනිදලුවල ප්‍රබල බව අඩු කරන්නට හැකියාවක් ලැබිණි.
සොබා දහමේ අනුකම්පා රහිත ලැව් ගින්නට මැදි වූ සතුන් පිළිබඳ හද පාරවන කතා කිහිපයක්ම විවිධ ප්රවෘත්ති තුළින් ග්‍රහණය කර ගත හැකි විය. ලොස් ඇන්ජලිස් හි වුඩ්ලන්ඩ් හිල් ප්‍රදේශයෙන් එවැනි සිදුවීමක් වාර්තා විය. ලැව් ගින්න නිසා ඇති වූ කලබලකාරී තත්ත්වය මැද මැක්ස් නම් ගෝල්ඩන් රිට්රීවර් වර්ගයේ සුනඛයකු සිය හිමිකරුවන්ගෙන් මග හැරී ගින්නට මැදි වී තිබිණි. මැක්ස් ගින්නට මැදිව සිටින බව අසල්වැසියන් දුටුවේ ඌ සිටි නිවස ආසන්නයටම ලැව් ගින්න ඇවිලීගෙන එද්දීය. අසල්වැසියන් කළේ ගලවා ගැනීමේ කණ්ඩායම් ළඟා වන තුරු මැක්ස් සිටි ප්‍රදේශයට නලයක් මගින් ජලය විදීමය. එයින් ඌ සිටි ස්ථානයේ ගිනිදලුවල ප්‍රබල බව අඩු කරන්නට හැකියාවක් ලැබිණි. අවසානයේ මැක්ස් බේරා ගැනීමට හැකි වූ අතර ඌ ගලවා ගැනීම සඳහා අසල්වැසියන් තුළ තිබූ අධිෂ්ඨානය සහ ධෛර්යය පිළිබඳ මාධ්‍යවල කතාබහට ලක්ව තිබිණි.
මීට සමාන තවත් සිදුවීමක් වූයේ කලබසාස් නම් ප්‍රදේශයේ දී ගින්නට හසු වුණු වාහනයක් යට සිට ගිනි නිවන භටයන් විසින් ගලවා ගනු ලැබූ විස්කර්ස් නම් බළලා පිළිබඳ කතාවය. විජලනය සහ දැඩි වශයෙන් දුම් ආඝ්‍රාණය කිරීම නිසා අසාධ්‍යව සිටි විස්කර්ස් වහාම මේ ප්‍රදේශයේ සතුන් වෙනුවෙන් වෙන් වූ නිවස්නයක් කරා රැගෙන යනු ලැබූ අතර එහි සිටි ස්වේච්ඡා සේවකයෝ ඉතා යුහුසුලු වී උගේ ජීවිතය ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට සමත් වූහ. සතුන්ගේ දරා ගැනීමේ හැකියාව සහ සතුන් ගලවා ගැනීම සඳහා මිනිසුන් කෙතරම් වෙහෙසක් ගන්නේ ද යන්න මෙවැනි සිදුවීම්වලින් මොනවට පැහැදිලි වේ.
ඇමරිකානු රංගන ශිල්පියකු වන 59 හැවිරිදි විලියම් මැක්නමාරා මේ ලැව් ගිනි ව්‍යසනයේ දී සතුන් ගලවා ගැනීම පිළිබඳ මහඟු මෙහෙයක් ඉටු කළේය. ඔහු ලාබ නොලබන සත්ත්ව සුබසාධන සංවිධාන සියල්ල එකිනෙක සම්බන්ධ කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සුරතල් සතුන්ගේ හිමිකරුවන් සමග සම්බන්ධ වෙමින් ඔවුන් ගලවා ගැනීම සඳහා මහත් උද්යෝගයකින් ක්‍රියා කරනු දකින්නට හැකි විය. ඔහු ගින්නට හසු වූ ප්‍රදේශවල ඇවිදිමින් ගලවා ගන්නට හැකි වූ සුරතලුන්ගේ වීඩියෝ දහසකටත් වඩා සමාජ මාධ්‍යවලට එක් කරන්නට පියවර ගත් අතර ඒ තුළින් බොහෝ සුරතලුන් සිය හිමිකරුවන් වෙත ලබා දීමට හැකියාව ලැබිණි.
ලැව් ගින්න ලොස් ඇන්ජලිස් වාසීන්ට මහත් ව්‍යසනයක් ළඟා කළ ද ඒ ව්‍යසනය තුළින් මිනිසුන් තුළ වූ විශිෂ්ට සහකම්පනය සහ දයානුකම්පාව ඉස්මතු වන ආකාරය ද මොනවට පැහැදිලි වෙයි. අවශ්‍ය ඕනෑම සහයක් ලබා දෙන්නට අපේක්ෂාවෙන් සිටින යහපත් මිනිසුන්ගේ දුරකතන ඇමතුම් ලොස් ඇන්ජලිස් හි සත්ත්ව සේවා සංවිධානයට සිය දහස් ගණනින් ගලා එන බව ද වාර්තා වන තවත් සුවිශේෂ සිදුවීමකි. අවතැන් වූ සුරතල් සතුන් වෙනුවෙන් නගරය පුරා විවිධ ස්ථානවල තාවකාලික කූඩාරම් ස්ථාපිත කර ඇති අතර එම සුරතලුන් නැවත හිමිකරුවන්ට ලබා දීම සඳහා සමාජ මාධ්‍ය ද මහඟු මෙහෙවරක් ඉටු කරමින් සිටී.
ලැව් ගින්නට මැදිව ගලවා ගන්නා ලද පවුල්වල යම් සුරතල් සතකු සිටී නම් ඔවුන්ට ආහාර සැපයීමේ වැඩපිළිවෙළක් උසස් විද්‍යාලයක සිසුන් කණ්ඩායමක් මැදිහත් වී දියත් කළ පුවතක් ද වාර්තා විය. ඔවුන් ඉදිරිපත් වී අසරණ පවුල් 200 කටත් වැඩි ගණනක සතුන් වෙනුවෙන් කෑම බීම සපයා තිබිණි. සිසුන් කණ්ඩායමට අවශ්‍යව තිබුණේ සුරතල් සතුන්ගේ හිමිකරුවන් මුහුණ දී ඇති පීඩාකාරී බර ඔවුන්ගෙන් යම් පමණකින් හෝ සැහැල්ලු කිරීමය. නිතර දෙවේලේ බණ දහම් පිළිබඳ කතා කරන සමාජයක් ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක නොපැවතිය ද අවශ්‍ය මොහොතේ ඔවුන් තුළින් සතුන් වෙනුවෙන් දයානුකම්පාව ඉස්මතු වන ආකාරය එක් අතකින් පුදුමාකාරය.
ලැව් ගිනි කලාපය තුළ මැදි වී සිටින සතුන් ගලවා ගැනීම සඳහා සතුන් ගලවා ගැනීමේ සංවිධාන පැය විසිහතර මුළුල්ලේම වෙහෙස වී කටයුතු කරනු දක්නට හැකිය. ලැව් ගින්නට මැදිව තවමත් ජීවත්ව සිටින සතුන් හඳුනා ගැනීම සඳහා මේ සංවිධාන මගින් තාප රූපන කැමරා (thermal imaging cameras) භාවිත කරයි. සැන්ටා ක්ලැරිටා නිම්නය කරා ලැව් ගින්න ව්‍යාප්ත වෙමින් පවතිද්දී මේ තාක්ෂණයට පින් සිදු වන්නට 30 කින් සමන්විත අශ්ව රංචුවකගේ ජීවිත ගලවා ගැනීමට හැකියාව ලැබිණි.
මෙවැනි ගලවා ගැනීමේ මෙහෙයුම් යනු දැඩි අවදානමකින් යුක්ත ක්රියාදාමයකි. ඉතා දුෂ්කර ස්ථානවලින් ගලවා ගත් ඉතා බියපත්ව සිටි සුනඛයින්ගේ කතා ගිනි නිවන භටයන් බොහොමයකගෙන් අසන්නට හැකිය. ඉදිරියේ දී ආපදා ප්‍රතිචාර සැලසුම් කිරීමේ දී මෙවැනි මිනිසුන්ගේ පරාර්ථකාමී ක්‍රියාවන් ද ඉතා ප්රයෝජනවත්ය.
බොහෝ ගලවා ගැනීමේ ප්රයත්නයන්වලදී වැඩි අවධානයක් සුරතල් සතුන් කෙරෙහි යොමු වුව ද වන සතුන් කෙරෙහි අවධානය අඩු වූ බවක් එයින් කියවෙන්නේ නැත. ගින්නට හසු වූ මුවන්, තුවාල වූ පක්ෂීන් සහ අවතැන් වූ නරි පිළිබඳ ඡායාරූපවලින් සමාජ මාධ්‍ය පිරි ඉතිරී ගොස් තිබුණේ ඔවුන් කෙරෙහි සමාජයේ වූ උතුරා යන දයානුකම්පාව නිසාමය. කැලිෆෝර්නියා වන සත්ව මධ්‍යස්ථානය වැනි සත්ත්ව පුනරුත්ථාපන මධ්‍යස්ථාන, පිහිට අවැසි ආපදාවන්ට ලක් වූ සතුන් පිළිබඳ සිදුවීම ගණනාවක්ම වාර්තා කොට තිබිණි. පිලිස්සුණු, විජලනතාවට පත් වූ සහ තුවාලවලට ලක් වූ වන සතුන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ මිනිසුන් සේම පශු වෛද්‍යවරු ද කාලයක් නියමයක් නොමැතිව වෙහෙස වනු දක්නට හැකිය.
මේ ලැව් ගින්න නිසා මිනිසුන්ට සහ සතුන්ට ඉදිරියේ දී සිදු විය හැකි මෙවැනි හෝ මෙයටත් වඩා බරපතළ ආපදා තත්ත්වයකට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ගැනීමට මහඟු අවස්ථාවක් උදාකර දී තිබේ. සතුන්ට අවශ්‍ය ආහාර, ජලය, වෛද්‍ය පහසුකම් සහ හඳුනා ගැනීමේ නාම පුවරු නිරන්තරයෙන්ම සූදානම් කර තබා ගන්නැයි බලධාරීන් උපදෙස් දී තිබේ. ක්ෂුද්‍ර චිප සවි කළ, අවතැන් වූ සුරතල් සතුන් සිය හිමිකරුවන් කරා වඩාත් ඉක්මනින් ලබා දීමට හැකියාව ලැබිණි.
මේ ව්‍යසනය මධ්‍යයේ ඇසෙන බලාපොරොත්තුව සහ දරාගැනීම පිළිබඳ කියවෙන නිමක් නැති කතා බොහෝය. රැකූන් සතෙකුට සිය අතින් ජලය පොවන ගිනි නිවන භටයකු පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වනු දැකිය හැකි විය. මෙය ලොව පුරා මිලියන ගණනක මිනිසුන්ගේ හදවත් තෙත් කරන්නට හේතුවක් විය. ගලවා ගැනීමේ ක්‍රියාවලියේ දී තමාගෙන් මග හැරුණු ඩේසි නම් ලැබ්‍රදෝර් සුනඛයකු දුකින් වැලපෙමින් සිටි හිමිකාරිය වෙත ලබා දෙන අනුවේදනීය සිදුවීමක් ද වාර්තා විය.
ලොස් ඇන්ජලීස් හි ඇති වූ ලැව්ගිනි තත්ත්වය මගින් ස්වභාවික විපත්වලදී සුරතල් සතුන් සහ වනජීවීන්ට ඇති අවදානම කුමනාකාර වනු ඇති ද යන්න පිළිබඳ අදහසක් ඇමරිකානුවන්ට පමණක් නොව මුළු ලොවටම අවබෝධ වී තිබේ. එමෙන්ම මේ අහිංසක ජීවිත බේරා ගැනීමට සහ ආරක්ෂා කිරීමට මිනිසුන් තුළ ඇති ගැඹුරු සහකම්පනය සහ අධිෂ්ඨානය ද මේ ව්‍යසනකාරී තත්ත්වය තුළින් ඉස්මතු වී තිබේ. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සමාජයකින් දැකිය යුතු වන්නේ එයය.
මේ සියලු කතා සහ සිදුවීම් අපට සිහිපත් කරන්නේ මිනිසා සහ සතුන් අතර ඇති අවියෝජනීය බැඳීම සහ විපතකදී සියලු සතුන් අප විසින් ආරක්ෂා කළ යුතුය යන වගකීමය.
ලොස් ඇන්ජලීස් හි ඇති වූ ලැව්ගිනි තත්ත්වය මගින් ස්වභාවික විපත්වලදී සුරතල් සතුන් සහ වනජීවීන්ට ඇති අවදානම කුමනාකාර වනු ඇති ද යන්න පිළිබඳ අදහසක් ඇමරිකානුවන්ට පමණක් නොව මුළු ලොවටම අවබෝධ වී තිබේ. එමෙන්ම මේ අහිංසක ජීවිත බේරා ගැනීමට සහ ආරක්ෂා කිරීමට මිනිසුන් තුළ ඇති ගැඹුරු සහකම්පනය සහ අධිෂ්ඨානය ද මේ ව්‍යසනකාරී තත්ත්වය තුළින් ඉස්මතු වී තිබේ. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සමාජයකින් දැකිය යුතු වන්නේ එයය. මේ මිහි මත මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද සම අයිතිවාසිකම් ඇති බැව් වසර දහස් ගණනකට පෙර ඇසූ රටක වැසියන් වශයෙන් අප රටේ සතුන්ගේ හිමිකම්වලට ඇත්තේ කුමන ස්ථානයක් ද යන්න පිළිබඳ ලැජ්ජා විය යුතු තත්ත්වයක් එලැඹ තිබේ. සතුන් පිළිබඳ සහකම්පනය සහ දයානුකම්පාව බටහිරින් ආනයන කර ගත යුතු තරම් පහතට මේ ධර්මද්වීපයේ මිනිසුන් වැටී තිබීම කණගාටුවට කාරණයකි.
නිරංජන් චාමින්ද කරුණාතිලක