ලෝකයම වසඟයට ගනිමින් සිටින ඉන්දියානු චිත්‍රපට ගීතය

RRR නැමැති තෙලිගු සිනමාපටය මේ වනවිට ඉන්දියාව තුළ පමණක් නොව ලෝකයේම අවධානය දිනාගන්නට සමත්ව ඇති අපූරු නිර්මාණයකි. බටහිර රටවල සිනමා ප්‍රේක්‍ෂකයන්ගේ සහ විචාරකයන්ගේ පවා සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට මෙම සිනමාපටය සමත් වී තිබේ. ජනප්‍රිය සිනමා සම්ප්‍රදායට අයත් දැවැන්ත සිනමා කෘතියක් වන මෙහි අධ්‍යක්‍ෂවරයා ඉන්දියාවේ දක්‍ෂම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන එස්.එස්. රාජමෞලි ය. ඔහු විසින් මෙයට පෙර අධ්‍යක්‍ෂණය කරන ලද ‘බාහුබලී’ වැනි චිත්‍රපට ද අතිශයින් ජනප්‍රියත්වයට පත් විය.

RRR මේ වනවිට බටහිර ජනප්‍රියම සිනමා සම්මාන උළෙලවල ද කැපී පෙනෙන නිර්මාණයක් බවට පත්ව තිබේ. ඊට අදාළ ඉතා වැදගත් අවස්ථාවක් පසුගිය 10 වැනි දින උදා විය. ඒ ඇමරිකාවේ ප්‍රධානම පෙලේ සම්මාන උළෙලක් වන Golden Globe සම්මාන උළෙලේ දී මෙම සිනමාපටයට සම්මානයක් හිමි වීමයි. එම උළෙලේ දී හොඳම පසුබිම් ගීතය සඳහා පිරිනැමෙන සම්මානය හිමි වූයේ RRR චිත්‍රපටයේ ‘නාටු නාටු’ නැමැති ගීතයට ය. එය සිනමා ප්‍රේක්‍ෂකයන් උන්මාදයට පත් කළ ගීතයකි.

‘නාටු නාටු’ ගීතය මෙම සම්මානය දිනාගත්තේ බටහිර සංගීත ලෝකයේ ඉහළින්ම වැජඹෙන ගායක ගායිකාවන් කිහිප දෙනෙකුගේ ගීත පරදවමිනි. ලේඩි ගාගා, ටේලර් ස්විෆ්ට්, රියානා වැනි අතිශයින් ජනප්‍රිය ගායිකාවන්ගේ ගීත ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි. නමුත් ඒ සියල්ල පරදා සම්මානය දිනාගන්නට ඉන්දියාවේ ‘නාටු නාටු’ ගීතය සමත් විය. මෙහි සංගීත අධ්‍යක්‍ෂවරයා වන්නේ ඉතා දක්‍ෂ සංගීතඥයකු වන එම්.එම්. කීරවානි ය. ගීතය ගායනා කරන්නේ කලා භෛරව සහ රාහුල් සිප්ලිගුංජ් ය. එහි එන අපූරු නර්තනය නිර්මාණය කරන ලද්දේ ප්‍රේම් රක්‍ෂිත් විසිනි.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සැලකෙන්නේ ඔස්කාර් සම්මාන උළෙලට පසු වැඩිම අවධානයක් දිනාගන්නා ඇමරිකානු සම්මාන උළෙල ලෙසිනි. මෙවැනි උළෙලක දී RRR සිනමාපටයට ඉහත කී ආකාරයේ සම්මානයක් දිනා ගැනීමට හැකි වීම ඉන්දියානු සිනමාව මෙන්ම සංගීත ක්‍ෂේත්‍රය ද ලැබූ සුවිසල් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

මෙම උළෙලේ තවත් සම්මානයක් සඳහා RRR චිත්‍රපටය නිර්දේශ වී තිබිණි. ඒ ඉංග්‍රිසි නොවන වෙනත් භාෂාවකින් නිර්මාණය වූ හොඳම සිනමාපටය නම් සම්මානයට යි. නමුත් එම සම්මානය දිනාගත්තේ ආර්ජන්ටිනාව ඉදිරිපත් කළ Argentina, 1985 චිත්‍රපටය යි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම පසුබිම් ගීතය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය සඳහා තරග වදින ගීත අතර ද ‘නාටු නාටු’ ඉදිරියෙන්ම සිටියි. එහි දෙවැනි වටය සඳහා තේරුණු ගීත 15 මෙයට ටික දිනකට පෙර ප්‍රකාශයට පත් කර තිබිණි. ‘නාටු නාටු’ එම ගීත 15 ටද තේරී තිබේ. සම්මානය සඳහා නිර්දේශ වන අවසන් ගීත 5 ලබන 24 වැනි දින ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. බොහෝ විචාරකයන් පවසන්නේ ‘නාටු නාටු’ එම ඔස්කාර් සම්මානය ද දිනා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. එසේ වුවහොත් එය ඉන්දියානු සිනමාව ජාත්‍යන්තර වශයෙන් ලබන තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

RRR චිත්‍රපටය බි්‍රතාන්‍යයන් ඉන්දියාව පාලනය කළ යුගය පසුබිම් කරගත් සිනමාපටයකි. බි්‍රතාන්‍ය පාලකයන් ඉන්දියාව මත මුදා හරින ආධිපත්‍යයට, දරුණු මර්ධනයට සහ භීෂණයට එරෙහිව සටන් කරන රාජු සහ භීම් නැමැති සුපිරි වීරයන් දෙදෙනකු පිලිබඳ කතාවක් මෙයට පසුබිම් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ එන්.ටී. රාමරාඕ (කණිෂ්ඨ) සහ රාම් චරන් ය. ආලියා භාත් සහ අජේ දේව්ගන් ද මීට රංගනයෙන් දායක වෙති.

RRR චිත්‍රපටය මෙලෙස ජාත්‍යන්තර වශයෙන් ද අගැයීමට පාත්‍රවෙමින් ඇති පසුබිම තුළ එහි දෙවැනි කොටසක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද අධ්‍යක්‍ෂ රාජමෞලි ඇතුළු කණ්ඩායමේ අවධානය යොමුව තිබේ. පසුගිය දිනෙක ඔවුන් මේ ගැන සාකච්ඡා කරමින් සිටිය දී මෙම දෙවැනි කොටස සඳහා ඉතා අපූරු කතාවක් ගොඩ නගා ගැනීමට හැකි වූ බව ද, ඒ මත පදනම්ව මේ වනවිට තම කණ්ඩායම තිර නාටකය රචනා කරමින් සිටින බව ද රාජමෞලි පසුගිය දා මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබිණි. මෙය RRR චිත්‍රපටය රස විඳි සිනමාලෝලීන්ට ඉතාම සතුටුදායක ආරංචියක් වනවාට සැකයක් නැත.

නිහාල් පීරිස්

රසගඟුල