වගා හානි වන සත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවතට

මෙරට වගා හානි සිදු කරන වන සත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබා දී තිබේ.ඒ මෙරට වාර්ෂිකව වන සතුන්ගෙන් සිදුවන සියයට 40ක් වූ වගා හානි අතරින් වන අලියාගෙන් සිදුවන හානිය සමස්ත වගා හානියෙන් සියයට 20ක් පමණ අවම වීම හේතුවෙනි.වගා හානි සිදු කරන වන සත්ව ලැයිස්තුවක් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් අමාත්‍යාංශ එක්ව මේ වනවිට සකස් කර ඇති අතර ඉන් සියයට 46 ක පමණ වගා හානියක් රිලවා, වඳුරා, මොණරා, වල් ඌරා හා දඬුලේනාගෙන් සිදුවන බව තහවුරු වී තිබේ.2021 හා 22 වසර තුළ වන අලි මරණ 511ක් හා අලි – මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් මරණ 181ක් වාර්තා වී තිබේ.මෙම වසරේ ගත වූ කාලය තුළ පමණක් වන අලි 258 ක් මිය ගොස් ඇති අතර ඉන් 107 ක්ම මරණයට පත්ව ඇත්තේ මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙනි.අලි – මිනිස් ගැටුම හේතුවෙන් අහිමි වන අලි ප‍්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එම සත්වයා තවදුරටත් ආරක්ෂිත වන සත්ව ලැයිස්තුවේ සිටිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කාලීන පුවත්