වන අලි ඇතුන් ගේ තිඹිරි ගෙය පෝරකයක් වීමට ඉඩ නොතබමු

පසුගිය පෙබරවාරි 19 වැනිදා රාත්‍රියේ කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමන් කරමින් පැවති මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලි සය දෙනෙකු මිය ගිය ඛේදජනක සිදුවීම මනුෂ්‍යත්වය හඳුනන සියලු දෙනාම මහත් කම්පනයකට පත්ව සිටිති. දුම්රිය මාර්ගයේ ගල්ඔය සහ මින්නේරිය අතර 141 සැතපුම් මාර්ගයේ කවුඩුල්ල වන රක්ෂිතය අවට මේ ඛේදනීය සිදුවීම සිදුව තිබේ. රාත්‍රී 11.30 ට පමණ මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති දුම්රියේ මේ වන අලි රංචුව ගැටී තිබේ. සිය පැටවා මිය ගිය සොවින් මිනිස් මවක සේම බිම පෙරළෙමින් හඬා වැලපෙන, ලොව පුරා බොහෝ දෙනෙකු තුළ මහත් වේදනාවක් ඇති කරන්නට හේතු වූ අලි මවකගේ සංවේගී දසුන බොහෝ දෙනෙකුට දරා ගත නොහැක්කක් වී තිබේ.

සෑම වසරකම විවිධ හේතුවෙන් අකාලයේ මිය යාම නිසා මේ සොඳුරු දැවැන්තයන් අපට යම් දිනෙක අහිමි වේද යන අවදානම ද මතුව තිබේ. ලෝකයේ සෑම රටකම ස්වාභාවික පරිසරයේ ජීවත් වන අලි ගහනයක් දැක ගත නොහැකි අතර ශ්‍රී ලංකාවේ සිටින්නේ අප රටටම ආවේණික අලි ගහනයකි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ද මේ ආකාරයටම දුම්රියක ගැටීමෙන් වන අලි කිහිප දෙනෙකු මෙය ගිය අතර සෑම වසරකම විවිධ හේතුවෙන් අකාලයේ මිය යාම නිසා මේ සොඳුරු දැවැන්තයන් අපට යම් දිනෙක අහිමි වේද යන අවදානම ද මතුව තිබේ. ලෝකයේ සෑම රටකම ස්වාභාවික පරිසරයේ ජීවත් වන අලි ගහනයක් දැක ගත නොහැකි අතර ශ්‍රී ලංකාවේ සිටින්නේ අප රටටම ආවේණික අලි ගහනයකි.

බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි පෙබරවාරි 19 වැනිදා වන විට පමණක් අප රටේ විවිධ අනතුරුවලින් මිය ගිය වන අලි සංඛ්‍යාව 65 කි. ඉන් 9 දෙනෙකු මරණයට පත්ව ඇත්තේ දුම්රියේ ගැටීමෙනි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛනවලට අනුව 2020 වසරේ සිට 2025 වසර දක්වා මේ වන විට දුම්රියේ ගැටීමෙන් පමණක් මිය ගිය වන අලි සංඛ්‍යාව 67 කි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ 2023 වසරේ දී වන අතර එම සංඛ්‍යාව 24 කි.

මෙවැනි අනතුරු වළක්වා ගැනීමට තවමත් නිසි පරිදි පියවර නො ගැනීම සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට දැඩි ලෙස චෝදනා එල්ල වෙමින් පවතී. විශේෂයෙන් දුම්රිය රියදුරන් මෙයට වඩා සැලකිලිමත් විය යුතු යැයි ජනතාව උදක්ම පවසා සිටිති. කෙසේ වෙතත් නිතරම පාහේ සිදු වන මෙම වන අලි – දුම්රිය ඝට්ටන සඳහා නිතර නැගෙන චෝදනාවක් වන අධික වේගයෙන් දුම්රිය ධාවනය යන කාරණය එතරම් වලංගු කාරණයක් නොවන බව සඳහන් කළ යුතුව තිබේ. දුම්රියක් යනු අප සාමාන්‍යයෙන් දකින බස් රථයක්, ලොරි රථයක් වැනි වාහනයක් නොවේ. දුම්රියක් යනු බහු විධ ඒකක ප්‍රවාහන මාධ්‍යයක් ලෙස හඳුන්වනු ලබන්නකි. ඒ නිසාම සාමාන්‍ය වාහනයක් හා සමානව මෙය අවශ්‍ය ඕනෑම තැනක ඕනෑම මොහොතක නැවැත්වීමට හැක්කක් ද නොවේ. අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය අතර දුම්රිය ධාවනයට ප්‍රමුඛත්වය ලබා දී අනෙක් වාහන නවතනු ලබන්නේ ද මේ හේතුව නිසාය.

නවීන කැමරා සංවේදක භාවිතයෙන් දුම්රිය මග හරහා මාරු වන අලි පිළිබඳ සොයා බැලීම සිදු වේ.

දුම්රියකට අදාලව අනවශ්‍ය පරිදි වේග සීමා පැනවීම ප්‍රායෝගිකව කළ හැක්කක් නොවේ. කිසිදු දුම්රිය රියදුරකු හිතාමතා, කැමැත්තකින් අලින්ව අනතුරකට පත් කරමින් දුම්රිය ධාවනය කරවන්නේ යැයි සිතිය නොහැකිය. අනෙක දුම්රිය රියදුරකු යනු අප දකින අනෙකුත් වාහනවල රියදුරන් මෙන් නොව මනා පුහුණුවකින් යුක්තව පළපුරුද්ද මත ඉහළට ශ්‍රේණිගත වන වෘත්තියකි. එබැවින් ඔවුන් අතින් නො සැලකිල්ල හා අධික වේගය නිසා අනතුර සිදුවීම යන චෝදනාව එල්ල කිරීම ප්‍රායෝගික කාරණයක් නොව බව ද සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, කෙන්යාව සහ අග්නිදිග ආසියාවේ ඇතැම් කලාපවල දුම්රිය මාර්ග ආශ්‍රිතව වන අලි ගහනයක් බහුලව දැකිය හැකිය. ඉන්දියාවේ පමණක් වන අලි ගහනය 27,000 ක් පමණ වන අතර එරට පරිසර අමාත්‍යාංශය සඳහන් කරන පරිදි 2009 සහ 2019 අතර දුම්රියේ ඝට්ටනය වීම නිසා මිය ගොස් ඇති වන අලි සංඛ්‍යාව 200 ඉක්මවයි. මෙයට සාපේක්ෂව ශ්‍රී ලංකාව ගෙන බැලුවහොත් 2010 සිට අද දක්වා දුම්රියේ ඝට්ටනය වීමෙන් මිය ගොස් ඇති වන අලි සංඛ්‍යාව 400 කට වැඩි බව පැවසේ. සාම්ප්‍රදායිකව අලිමංකඩ හරහා දුම්රිය මාර්ග ව්‍යාප්ත කිරීමේ දී මෙවැනිම ගැටලුවලට තායිලන්තය සහ කෙන්යාව ද මුහුණ දී තිබේ.

ඉන්දියාව සැලකිල්ලට ගතහොත් ලොව වැඩිම අලි ගහනයක් සිටින රට වන්නේ එයය. අලි – දුම්රිය ඝට්ටනයන්ගේ බරපතළම සිදුවීම් වාර්තා වන එක් රටක් ලෙස ඉන්දියාව ප්‍රකටය. බටහිර බෙංගාලය, ඇසෑමය සහ තමිල්නාඩුව මේ සිදුවීම් බහුලව සිදු වන කලාප ලෙස හඳුනාගෙන තිබේ. බටහිර බෙංගාලයේ උතුරට වන්නට ඉන්දියාව සහ භූතානය අතර අලි සංක්‍රමණය වන මංකඩ පිහිටා තිබේ. එම ප්‍රදේශයේ අධික අලි ගහනයක් ගැවසෙන බැවින් අනතුරු සංඛ්‍යාව ද ඉතා ඉහළය.

දුම්රිය ඇංජිම පීලි පැන තිබිණි

ඉතා ඉහළ අප්‍රිකානු අලි ගහනයක් වෙසෙන කෙන්යාව ද අලි – දුම්රිය ඝට්ටනය නිසා ගැටලුවලට මුහුණ දී තිබෙන රටකි. එරට නයිරෝබි සිට මොම්බාසා දක්වා දිවෙන දුම්රිය මාර්ගය වැටී ඇත්තේ සාවෝ ජාතික වනෝද්‍යානය හරහා වන අතර, එම කලාපය තුළ ඉතා අධික අලි ගහනයක් ජීවත් වන ප්‍රදේශයකි. ඔවුන් දුම්රිය මාර්ග තැනීමේ දී වන සතුනට ගමන් කිරීම සඳහා දුම්රිය මාර්ගයට යටින් උමං මාර්ග ඉදි කරන්නට කටයුතු යොදා ඇති නමුත් අනතුර සිදුවීම තවමත් නැවතී නැත.

ශ්‍රී ලංකාව ඇතුළුව ඉහතින් සඳහන් කළ සෑම රටකම අලි – දුම්රිය ඝට්ටනයන් වළක්වා ගැනීම සඳහා මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කොට තිබේ. ඒවා උසස් තාක්ෂණයෙන් යුක්ත අනතුරු ඇඟවීමේ පද්ධති සහ වේග සීමා පැනවීම මෙන්ම වන සතුන් සඳහා නව සංක්‍රමණ මාර්ග ඇති කිරීිම වැනි බිම් මට්ටමේ විසඳුම් ද ඇතුළත් වේ.

අලි – දුම්රිය ඝට්ටනයන් වළක්වා ගැනීම සඳහා නවෝත්පාදනීය තාක්ෂණයන් භාවිත කිරීමේ මූලිකත්වය ගෙන ක්‍රියා කරන රටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකිය. ඒ අතරින් ඉතාමත් සාර්ථක උපක්‍රමයක් වන්නේ ‘අලි අනතුරු ඇඟවීමේ පද්ධති’ (elephant warning systems) ඇති කිරීමය. මේ ක්‍රමයේ දී තාප කැමරා (thermal cameras) සහ චලන සංවේදක දුම්රිය මාර්ග ආසන්නව අලි බහුලව ගැවසෙන කලාපවල ස්ථාපිත කොට තිබේ. එමගින් එම කලාපය තුළ අලි ගැවසෙන්නේ ද යන්න නිරීක්ෂණයට ලක් කෙරෙන අතර එයින් ලබා ගන්නා දත්ත කෙළින්ම දුම්රිය රියදුරන් වෙත සම්ප්‍රේෂණය කෙරේ. දුම්රිය මාර්ගය ආසන්නේ අලියකු හෝ අලි රංචුවක් හෝ ගැවසෙන බවට මේ පද්ධතියට නිරීක්ෂණය වුවහොත්, දුම්රිය නැවැත්වීම හෝ වේගය අඩු කිරීම හෝ සිදුකොට සිදුවිය හැකි ඝට්ටනයක් වළක්වා ගැනීමට කටයුතු කෙරේ.

මෙතැන අලි මාරු වන ස්ථානයක් බව දක්වා තිබේ

අලින්ට සම්බන්ධ කරනු ලබන උපකරණයක් ඇසුරෙන් ඔවුන් සිටිින ස්ථානය සොයා ගැනීමේ තාක්ෂණික උපකරණ (GPS tracking devices) වැනි තාක්ෂණික නවෝත්පාදනයන් ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකය. ඒවා ඔස්සේ දුම්රිය මාර්ග ආසන්නේ අලි ගැවසෙන්නේ ද යන්න තථ්‍ය කාලීනව (real-time) හඳුනා ගැනීමට හැකියාව පවතින අතර එමගින් ද අලි – දුම්රිය ඝට්ටනයක් අවම කර ගත හැකි වේ. යම් නිශ්චිත කලාප තුළ මේ පද්ධතිය ස්ථාපිත කිරීම තුළින් ඉතා ඉහළ ඵලදායිතාවක් අපේක්ෂා කළ හැකි නමුත් තවමත් එවැන්නක් ක්‍රියාත්මක වන බව නම් පෙනෙන්නට නැත.

එමෙන්ම කෙන්යාවේ මෙන් ශ්‍රී ලංකාවේ ද වන සතුන්ට ගමන් කළ හැකි පරිදි උමං මාර්ග ඉදිකිරීම පිළිබඳ උනන්දුවක් දක්වා ඇති අතර මේ වන විටත් අඹන්පොල සහ ගල්ගමුව අතර එවැන්නක් ඉදිවී තිබේ. නමුත් එහි සාර්ථකත්වය පිළිබඳ මෙතෙක් ඇගයීම් වාර්තා ලැබී නොමැත.

අලි – දුම්රිය ඝට්ටනය වනජීවී සංරක්ෂණය ක්‍රියාවලිය තුළ ප්‍රධාන පෙළේ ගැටලුවක් බවට පත්ව තිබෙන කාරණයකි. එය අලි ගහනය කෙරෙහි මෙන්ම දුම්රියවලට සහ දුම්රිය මාර්ගයන්ට ද අධික ලෙස හානි සිදු වන ප්‍රධාන පෙළේ කාරණයක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් නවෝත්පාදන තාක්ෂණික උපක්‍රම, අපරව්‍යුහ පහසුකම්වල නවීකරණයන් සහ වෙනස් කීරිම්, එමෙන්ම ප්‍රජා සහයෝගීතාව ආදිය තුළින් මෙය සැලකිය යුතු මට්ටමින් අවම කර ගැනීමට හැකි බව ලොව පුරා මේ ගැටලුවට මුහුණ දී ඇති රටවල් අවබෝධ කොට ගොන තිබේ. ඉන්දියාව අලි අනතුරු ඇඟවීමේ පද්ධති, ශ්‍රී ලංකාවේ GPS පද්ධති, කෙන්යාවේ වන ජීවී උමං පද්ධති ආදී වශයෙන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලබමින් පවතී.

කෙසේ නමුත් මේ ගැටලුව සම්බන්ධ පසුගිය අත්දැකීම් පිළිබඳ සලකා බැලීමේ දී මේවා කෙතරම් දුරකට ක්‍රියාත්මක වේදැයි සැකසහිතය. මෙවැනි පියවර පිළිබඳ කතා කරන්නේ හුදෙක් මෙවැනි අවස්ථාවක දී සමාජයෙන් ලැබෙන අපවාදවලින් ගැලවීම සඳහා පැලැස්තර විසඳුමක් ලෙසින් පමණක් බව අතීත අත්දැකීම්වලින් පෙනී යයි. යම් හෙයකින් මේවාට විසඳුම් නොලැබුනහොත් වන අලි ඇතුන්ට තමාගේ තිඹිරිගෙය වූ වන රජදහනම තමාගේ පෝරකය කර ගැනීමට සිදු වන අතර එවැනි තත්ත්වයකට පත් වීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවද සඳහන් කළ යුතුය.

අනතුර සිදු වූ ස්ථානයේ ගුවන් ඡායාරූප

එමෙන්ම ඉහත අනතුර සම්බන්ධයෙන් බලධාරීන් අතර පැවති සාකච්ඡාවේ දී ඉදිරියේ දී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් යෝජනා වී තිබේ. ඒ අනුව අලි අනතුරු බහුල එම පෙදෙසේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළි පෙහෙළි කිරීම, ඩිජිටල් ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම, මෙය විසඳීමට ප්‍රජා මූල කණ්ඩායම් ඍජුවම සහභාගී කරවා ගැනීම, දුම්රියවල ආලෝක පද්ධතීන් ඉදිරියට මෙන්ම දෙපසටත් විහිදෙන ලෙස සවි කිරීම සහ කහ ආලෝක වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමට සලකා බැලීම යන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කළහ. කෙසේ නමුත් මේ ගැටලුව සම්බන්ධ පසුගිය අත්දැකීම් පිළිබඳ සලකා බැලීමේ දී මේවා කෙතරම් දුරකට ක්‍රියාත්මක වේදැයි සැකසහිතය. මෙවැනි පියවර පිළිබඳ කතා කරන්නේ හුදෙක් මෙවැනි අවස්ථාවක දී සමාජයෙන් ලැබෙන අපවාදවලින් ගැලවීම සඳහා පැලැස්තර විසඳුමක් ලෙසින් පමණක් බව අතීත අත්දැකීම්වලින් පෙනී යයි. යම් හෙයකින් මේවාට විසඳුම් නොලැබුනහොත් වන අලි ඇතුන්ට තමාගේ තිඹිරිගෙය වූ වන රජදහනම තමාගේ පෝරකය කර ගැනීමට සිදු වන අතර එවැනි තත්ත්වයකට පත් වීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවද සඳහන් කළ යුතුය.

(අප ඉහත සඳහන් දුම්රිය අනතුරේ ඛේදනීය දර්ශන කිසිවක් මීට එක් නොකළ බව කරුණාවෙන් සළකන්න)

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර