වන පෙතින් වැසී ගත් කැකිල්ලේ රජ්ජුරුවන් ගේ සැබෑ රාජධානිය

ඉතා අනුවණකාරී ලෙස ගන්නා පුද්ගල, දේශපාලනමය හා සමාජමය තීන්දු තීරණ හැඳින්වීම සඳහා අප සමාජයේ බොහෝ දෙනකු යොදන වහරක් තිබේ. එනම් ‘කැකිල්ලේ රජ්ජුරුවන් ගේ නඩු තීන්දු වගේ’ යන්න ය. එමෙන්ම අදටත් ජන සම්මතයේ පවතින අන්දමට මෙම අනුවණකාරී සහ වැරදි සහගත තීන්දු තීරණ ගත් කැකිල්ලේ රජතුමාගේ චරිතය මනඃකල්පිතයකි.
නමුදු 2011 වසරේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොතුපිටිය නම් ග්‍රාමයේ සංචාරය කළ මට කැකිල්ලේ රජතුමා ගේ රාජධානිය ඒ අද්දර ඉලුඹකන්ද නම් සිංහරාජයේ පරිවාර වනපෙත තුළ තිබූ බවක් එහි වියපත් ගැමියකු වෙතින් දැනගත හැකි විය. නමුදු ඒ අප්‍රකට වෘත්තාන්තය අද වන විට මුළුමනින් ම වැනසී ගොසිනි.
වර්තමානයේ පිටිසර ගම්මානයක් වන ඉලුඹකන්ද ආශ්‍රිතව පුළුල් අතීත මානව ජනාවාසයක් තිබී ඇත. එහෙත්, දහ නව වන සියවසේ ඇති වූ දරුණු නාය යාමක් නිසා ඒ ගම්මානය මුළුමනින් විනාශයට පත් ව තිබේ. එසේ හිටිහැටියේ මහ පොළවට ගිලා බැස්ස කන්ද හෙවත් පොළොවේ ගිලී ගිය කන්ද මුලින් ගිල්ම කන්ද ලෙස ව්‍යවහාර වී අද වන විට එය ඉලුඹකන්ද ලෙස ව්‍යවහාරයට පැමිණ තිබේ.
එම අප්‍රකට ජනප්‍රවාදයට අනුව කැකිල්ලේ රජතුමාගේ මාලිගය තිබී ඇත්තේ ඒ ඉලුඹකන්ද මුදුනේ ය. ඔහුගේ රාජධානියේ වැසියන් එම කඳු මිටියාවතේ ජීවත් වී තිබේ. ඒ රජතුමා ගේ මුල් නම ‘කැකිල්ලේ’ නොවේ. රජතුමාට ඒ නම පටබැඳී ඇත්තේ ද ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික තීරණයක් මුල් කර ගනිමිනි. ඒ රසවත් පුරාවෘත්තය මෙලෙසිනි.
වරක් ඉලුඹකන්දට යාබද වෙනත් රාජ්‍යයක රජ කෙනෙකු රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවරක් සඳහා මෙම ඉලුඹකන්දට පැමිණ තිබේ. සාමාන්‍යයෙන් වෙනත් රාජ්‍ය නායකයකු තම රාජ්‍යයට පැමිණෙන විට එහි පරිසරය පිරිසිදුව, ක්‍රමවත්ව තබා ගැනීම අද පවා සිදු කරන්නකි. ඒ අනුව ඒ යාබද රාජ්‍යයේ රජතුමා ගේ පැමිණීම දැනගත් ඉලුඹකන්දේ රජතුමා තම රාජධානිය පිරිසිදුව හා අලංකාරවත්ව තබන ලෙසත් එසේ නොකරන්නවුන්ට දඩ ගෙවීමට සිදුවන බවත් දන්වමින් ඉලුඹකන්ද රාජ්‍යය පුරා අණ බෙරයක් යවා තිබේ. මෙම රජ අනින් බියපත් වූ ඉලුඹකන්දේ වැසියෝ ද එහි ඉවක් බවක් නොමැතිව වැසී තිබූ කැකිල්ල පඳුරු කපා පරිසරය ක්‍රමවත්ව සැකසූහ. එහෙත්, තම රාජධානියේ වැසියන් තම රජ අණ කෙතරම් දුරට ඉටු කොට තිබේදැයි දැන ගැනීම පිණිස ඉලුඹකන්ද වටා නිරීක්ෂණ චාරිකාවක යෙදුණු රජතුමාට තැනින් තැන ඉතිරි වී තිබෙන කැකිල්ල ගාල් දැක ගන්නට ලැබී තිබේ. එවිට තම රාජධානියේ වැසියන් තම අණ නිසියාකාරව පිළිනොපැදීම ගැන රජතුමා තුළ උදහසක් පළ වී ඇත. ඒ අනුව ඔහු එසේ තම අණ නිසියාකාරව පිළිනොපැදීමේ වරදට තම රාජ්‍යයේ සියළුම වැසියන් ගෙන් දඩ මුදල් අය කරගන්නා ලෙස මුදියන්සේ කෙනෙකුට නියෝග කර තිබේ. නමුත් ඉලුඹකන්දට රාජ්‍ය තාන්ත්‍රික චාරිකාවක් පැමිණි යාබද රාජ්‍යයේ රජතුමා මෙසේ ඉලුඹකන්ද කලඑළි වී තිබීම දැක මහත් සතුටට පත්ව එය තමන් ගේ පැමිණීම මුල්කොට ඉලුඹකන්දේ වැසියන් කළ කැප කිරීමක ප්‍රතිඵලයක් බව දැන වඩාත් සොම්නසට පත්ව තිබේ. ඒ අනුව ඉලුඹකන්ද රාජ්‍යයේ සෑම වැසියකුටම ඒ වෙනුවෙන් තමන් ගණනේ යම් ‘සන්තෝෂමක්’ ලබාදීමට කැමති බව එම රජු ඉලුඹකන්දේ රජුට ප්‍රසිද්ධියේම දන්වා ඇත. මින් ඉලුඹකන්දේ රජු පත් වූ අපහසුව පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ.
එමෙන්ම යාබද රාජ්‍යයේ රජුගේ මෙම ‘අමුතු ත්‍යාගශීලීත්වය’ පිළිබඳ සියුම් කුකුසක් ද ඉලුඹකන්දේ රජතුමා තුළ හටගෙන ඇත්තේ ඇතැම් විට මෙය තමන් ගැන අපැහැදීමට පත්ව සිටින වැසියන් තුළ පැහැදීමක් ඇති කරවා ගනිමින් ඒ රජතුමා දියත් කරන ‘සීතල ආක්‍රමණයක’ ඇරඹුම වීමට ද හැකි බැවිනි. ඒ අනුව ඉලුඹකන්දේ රජු යාබද රාජ්‍යයේ රජු ඉලුඹකන්ද වැසියන්ට ලබා දුන් සන්තෝෂමට වැඩි ප්‍රමාණයක සන්තෝෂමක් තම රාජ්‍යයේ වැසියන්ට ලබා දීමට තීරණය කර තිබේ. ඉලුඹකන්දේ රජතුමා ඊට නිමිත්ත වශයෙන් දක්වා ඇත්තේ ‘යාබද රාජ්‍යයේ රජතුමා සතුටු කරවීම වෙනුවෙන්’ යන්න ය. ඉලුඹකන්දේ රජතුමාට පසුව ‘කැකිල්ලේ’ යන නාම ආරෝපණය වී ඇත්තේ එම සිදුවීමත් සමඟ ය. එමෙන්ම කැකිල්ලේ රජතුමා රජකම් කළ අතීත ඉලුඹකන්ද රාජ්‍යයේ රාජකීය අලි ඇතුන් ගාල් කළ ස්ථානය අද ගාලේවත්ත නමින් හැඳින්වෙන බවත් එහි ප්‍රාදේශීය ප්‍රධානියකු විසූ කැකිල්ලපිටිය නම් ගම්වරය අද ද එනමින්ම හැඳින්වෙන බවත් එම අධිපතියාගේ පරපුර අද පවා කැකිල්ලපිටිය යන පෙළපත් නමින්ම හැඳින්වෙන බවත් එම ගැමියා කීය.
නිශ්චිත එෛතිහාසික පසුබිමක් නොමැති වුව මානව විද්‍යාත්මක වශයෙන් යම් වැදගත් හා රසවත් බවකින් යුතු මෙම වෘත්තාන්තය පුවත්පතකට ලියා දින කිහිපයකින් ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකේය පරිපාලන සේවා නිලධාරියකු වූ සුනිල් කන්නන්ගර මහතා එම ඉලුඹකන්ද රාජධානිය පිළිබඳ අතිශය වැදගත් කරුණු කිහිපයක් මා හමුවේ ගෙන හැර දැක්වීය. ඉලුඹකන්ද අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළ කන්නන්ගර මහතා කී අන්දමට ඔහුගේ පියා ගේ මව ගේ ගම ද ඉලුඹකන්ද ය. අතීතයේ සැලකිය යුතු ජනගහනයක් ජීවත් වූ එම ගම්මානයේ පවුල් දෙකක් එක්තරා දිනයෙක කලවාන, කුකුලේගම ප්‍රදේශයේ මඟුල් ගෙදරක පැමිණි පසු හදිසියේ හටගත් නාය යාමකින් මුලු ඉලුඹකන්ද ගම්මානයම එහි ගැමියන් ද සමඟ විනාශ වී ගිය පුවත තමන් කුඩා කාලයේ තම මිත්තනියගෙන් අසා ඇති බවක් ද කන්නන්ගර මහතා කීය. ඒ සමඟම ඔහු කියා සිටියේ අද වන විට වනගහනයක්ව පවතින ඉලුඹකන්ද රක්ෂිත වනය ආශ්‍රිතව තවමත් වරින් වර සිදුවන නාය යාම් වලදී හැළි වළං, උදලු, කැති, පොරෝ වැනි ගෘහ උපකරණ මතු වන බවට තොරතුරු ඇති බවකි.
එමෙන්ම ඔහු මා හමුවේ හෙළි කළ තවත් අපූර්වතම තොරතුරක් ද විය. එනම් අතීතයේ ඉලුඹකන්දේ රජ කළ රජ කෙනෙකු පිළිබඳව ද තම මිත්තනිය පවසා ඇති බව ය. වරක් ඒ රජතුමා රාජධානියේ ගමන් කරමින් සිටින අතරේ අතරමඟ තිබූ මඩ වගුරක් සමීපයෙන් එතෙර වීමට සිදු වී තිබේ. එවිට හනික ඉදිරිපත් වූ ගැමි තරුණයෙක් ඒ මඩ වගුරට බැස රජතුමන්ට තම කර දක්වා ‘පස්වාන් දහසකට අවසර, මගේ කර උඩින් වැඩම කර වදාරනවා හොඳයි’ යැයි කියා තිබේ. එවිට එම තරුණයා ගේ ඉල්ලීම මත ඔහුගේ කරමතින් ඒ මඩ වගුරින් එතෙර වූ රජතුමා “උඹට තියෙන්නේ සිංහ කරක්නේ” යනුවෙන් ප්‍රසංශා කොට පසුව ඔහුට ආරච්චි නිලයක් ලබා දුන් බව ද තම මිත්තනිය කියා ඇතැයි කන්නන්ගර මහතා කියයි. එම පරපුරෙන් පැවත එන්නවුන් අදත් කරසිංහ ආරච්චිගේ යන පෙළපත් නමින් යුතු බවට ද ජන විශ්වාසයක් තිබේ.
“මම රත්නපුර ජී. ඒ. හැටියට වැඩ කරන කාලේ සබරගමුවේ ජනශ්‍රැති විමර්ශනය ගැන විශේෂ අවධානයක් යොමු කරලා ඒ සම්බන්ධ ක්‍රියාකාරී වැඩ සටහනකුත් පටන් ගත්තා; ඒත් ඒ විමර්ශනය කරපු අය දැනට වනගත වෙලා තියන ඉලුඹකන්ද ගැන අවධානයක් යොමු කරන්න නැතුව ඇති. කොහොමත් ඔය කියන විදිහට එහෙනම් කැකිල්ලේ රජ්ජුරුවෝ රජකම් කරලා තියෙන්නෙත් සබරගමුවේ” කන්නන්ගර මහතා කීය.
නමුත් ඔහු කී ලෙසම සබරගමුවෙන් මතුවන රාජ වංශයක් පිළිබඳව ලක් ඉතිහාසයෙන් කිසිදු තොරතුරක් සොයා ගත නොහැක. එබැවින් මෙම ඉලුඹකන්ද පැරණි රාජධානියක් ලෙස සැලකිය හැකිද? මෙම ඉලුඹකන්ද හා සම්බන්ධ කිනම් හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇතැයි තහවුරුව තිබේද යන්න පිළිබඳව සබරගමුවේ පුරාවිද්‍යා උරුමයන් පිළිබඳව බිම් මට්ටමේ සිට පැතිර ගත් දැනුම් සම්භාරයක් හිමි විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී ජයන්ත විජේරත්න හේරත් මහතා ගෙන් විමසීමක් කළෙමි.
“ඉස්සර මේ සබරගමුවේ හිටපු රදළයන්ට නින්දගම් හිමිවෙලා තිබුණා වගේම කන්ද උඩරට රාජ්‍යයෙන් පරිපාලන වගේම අධිකරණ බලතල උරුම වෙලා තිබුණා. ඔය කලවාන ආශ්‍රිතව ඒ වගේ රදළ පරම්පරාවල් සතු වලව් කීපයක් ම තියනවා. ඒ වගේම ඉස්සර සබරගමුවේ ගැමියෝ ඔය ‘රජ්ජුරුවෝ’ කියන වචනය යම් යම් අයට ගෞරව කරන්නත් යොදා ගෙන තියනවා. උදාහරණයක් හැටියට ඒ කාලේ අධිකරණ කටයුතු කරපු විනිසුරු වරුන්ට මෙහේ ගැමියෝ කිව්වේ ‘කෝටුවේ රජ්ජුරුවෝ’ කියලා. උසාවිය හැඟවෙන court කියන වචනය සිංහලයට පෙරලා ගත්තු විදිහ තමයි ඔය කෝටුව කියන වචනය” ඔහු කීය.
සබරගමුවේ විසූ ප්‍රභූන් අතුරින් මෑත භාගයේ සුවිශේෂත්වයට පත් චරිතයක් වනුයේ මඩුවන්වෙල මහ දිසාවේ හෙවත් විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සෙලා ගේ ජේමිස් විලියම් මඩුවන්වෙල ය. ඔහුට මහා බි්‍රතාන්‍යයෙන් ‘ශ්‍රීමත්’ නයිට් නාමයක් පවා හිමිව තිබිණ. මඩුවන්වෙල මහ දිසාවේ දෙවන වරට විවාහ වී සිටියේ කලවානේ කුමාරිහාමි නම් වන කුලවමියක සමඟය.
ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක හිමියන් (ගිහිකල චන්ද්‍රසෝම බී. කලවාන) ඉහත සඳහන් කලවානේ කුමාරිහාමි ගේ මීමුනුපුරෙකි. උන්වහන්සේ පවසන අන්දමට දැනට සියවස් ත-ුනකට වඩා ඉතිහාසයක් අති කලවාන වලව්වේ රදළ පරපුර සතුව තිබූ නින්දගම් අතරේ එම කැකිල්ලේ රජුගේ රාජධානිය වූ ඉලුඹකන්ද ද එක් නින්දගමක් වන්නට ඇත. නමුදු 1972 වසරේ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ඒ බොහෝ නින්දගම් රජයට පවරා ගැනීම මත අද ඒවායේ මුල් හිමිකාරත්වයන් ගිලිහී ගොස් තිබේ.
නමුදු වර්තමාන ඉලුඹකන්ද රක්ෂිතයේ භූමි හිමිකම් පිළිබඳ අතීතය විමසා බැලීමේ දී එහි පාරම්පරික හිමිකරුවන් කවුරුන් ද යන්න සොයා ගත හැකිය. ඒ ඔස්සේ මෙම ඉලුඹකන්ද ගම්වරය පිළිබඳවත් එය පාලනය කළ ‘රජු’ හෙවත් රදළයා පිළිබඳවත් බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකි බව චන්දිමාලෝක හිමියෝ කීහ. නමුදු ඒ බොහෝ පුරාවෘත්ත අතීතයේ වීසූ කිසියම් ප්‍රභූවරයකු වටා ගෙතුණු උපහාසාත්මක ප්‍රබන්ධ විය හැකි බව ද අවධාරණය කළහ.

තිලක් සේනාසිංහ

අරුමැසි පුවත්