අපේ රටේ බොහෝ දෙනෙක් සොබා දහමේ රසය, ආස්වාදය විඳ ගන්න තෝරා ගන්නේ කවුරුත් දන්නා ප්‍රසිද්ධ ස්ථාන සහ ප්‍රදේශ. නමුත් ඒ ස්ථානවල අධික ජන පීඩනයක් ඇති වීම මුල් කරගෙන ඒ පරිසර පද්ධතීන් වලට සිදු වන හානි, ආපදා අනන්තයි.
නමුත් අද වෙන කොටත් ජන මාධ්‍ය වලින් නිසි ප්‍රසිද්ධියක් නොලැබූ ඒ නිසාම බොහෝ දෙනෙක් අසාවත් නැති සොබා දහමේ මාහැඟි උරුමයන් කොතෙකුත් අපේ රටේ තියනවා.
රන්දෙණිගල හරහා වැටුණු මහනුවර බදුල්ල ප්‍රධාන මාර්ගයේ කීර්ති බණ්ඩාර පුරයෙන් හැරිලා වලපනේ දිසාවට එන කෙනෙකුට ළඟා විය හැකි ඒ වගේ සොබා දහමේ අසිරිමත් දායාදයක් වන ඉසව්වක් ගැනයි අද අපි ඔබට කියන්නේ.
වලපනේට අයිති නෙරිපැහැ, යටිමාදුර, තුන්හිටියාව, මඬුල්ල කියන ගම්මාන වට කොට ගත් මේ ඉසව්ව ඉතා රමණීය හෙල් මළු කෙත් යායක්, මේක හැඳින්වෙන්නේ බොලගන්දාවෙල කියලයි.
මේ ඉසව්වේ පිහිටීමෙත් එක්තරා විශේෂත්වයක් තියනවා. ඊට හේතුව මේක අපේ රටේ මධ්‍යම සහ ඌව පළාත්වලට; ඒ කියන්නේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිමේ පිහිටා තිබීම. ඒ හින්දා මේ ප්‍රදේශයේ පවතින්නේ ඉතා සුවදායක සම ශීතෝෂ්ණ දේශගුණයක්. වලපනේ කියන නමේ තේරුම වලක පිහිටි ගම හෝ කැලයක පිහිටි ගම කියන එකනේ.
මේ බොලගන්දාවෙල අතීතයේ රජවරුන් අස්වද්දපු රාජකීය කුඹුරු යායක් බව ජන ප්‍රවාදයේ සඳහන් වෙනවා. වලගම්බා රජතුමා සොලීන් ගෙන් සැඟවී සිටින කාලයේ මේ බොලගන්දාවෙල අස්වද්දවා මේ ප්‍රදේශයෙන් සේවා සංවිධානය කරවපු බවට කතා තිබෙනවා.
ඒ වගේම මේ බොලගන්දාවෙල මහනුවර රාජධානි සමයේ රාජකීය කුඹුරු යායක්ව තිබූ බවටත් පසුව ඒක ඒ පැත්තේ වංශවතකුට නින්දගමක් විදිහට ප්රදානය කෙරුණු බවටත් ප්‍රදේශයේ පුරාවෘත්ත තියනවා.
උදෑසන හිරු නැගෙන විට සහ සවස හිරු බැස යන විට මේ බොලගන්දාවෙල හෙල්මළු කුඹුරු යාය මනස්කාන්ත ලෙස දර්ශනය වෙනවා. තමන් මෙතරම් සුන්දර කුඹුරු යායක් අපේ රටේ කිසිම තැනක නැති බව ගම්මුන් කියනවා.
ඒ වගේම ඒ සමීපයෙන් ගලන මඩුළුඔය, උමා ඔය කියන දිය ධාරාවන් ද ප්‍රදේශයට එක් කරන්නේ නොමඳ සුන්දරත්වයක් සහ සිසිලසක්.
ඒ දිය ධාරාවන් හාත්පස සදාහරිත පරිසරයක් තිබීමත් ඊට හේතුවක්. ඒ නිසාම ඒ සොබා දම් පාරාදීසයේ පහස ලබන්නට කැමති පිරිස් ඒ අද්දර ගසක් මත අපූරු පැළක් ද නිර්මාණය කර තිබෙනු අපි දුටුවා.
අනේක විධ පරිසර දූෂණයන් ගෙන් ආකූල ව්‍යාකූල වූ නාගරික පරිසරයන් හි ජීවත් වන අයට මේ වගේ හරිත දනව් වලට පිවිසීමෙන් ලැබෙන මානසික සැහැල්ලුව, අස්වැසුම කියා නිම කරන්න බැහැ.
නමුත් මේ වගේ ප්‍රදේශයකට පිවිසෙන ඔබ ඒ ප්‍රදේශවල පවතින ගැමි සංස්කෘතික වටපිටාව ගැනත් ඉතා හොඳ වැටහීමක් ඇති කරගත යුතුමයි. ඒකට හේතුව නාගරික සමාජයේ භාවිතා කරන ඇතැම් සංකර වචන වලින් පවා මේවායේ ගැමියන් ගේ සිත් රිදුවීම් හා අවුල් වීම් ඇති විය හැකි නිසයි.
වී, ගම්මිරිස්, එළවළු ආදී කෘෂිකාර්මික කටයුතු වල යෙදෙමින් තමන් ගේ පාඩුවේ ජීවත් වන මේ අහිංසක ගැමියන්ගේ ජන ජීවිතවලට සහ මේ අවට පරිසර පද්ධතියේ කිසිවකට අබමල් රේණුවකින් හෝ හානියක් නොකර මතු මේ වගේ හරිත දනව්වකට පිවිසෙන්නට කැමති නම් ඒ සඳහා ඔබටත් අපේ නොමඳ ආශීර්වාදය හිමි වනු ඇති.
රේණුකා දමයන්ති
ඡායාරූප – වෛද්‍ය සුගත් විජේවර්ධන