මිනිස් අලි ගැටුම(human elephant conflict) යනුවෙන් ජාත්‍යන්තර වශයෙන් හැඳින්වෙන ව්‍යවහාරය අප රටේ විස්තර කෙරෙන්නේ එහි කණපිටට හෙවත් අලි මිනිස් ගැටුම යනුවෙනි.
ඒ අනුව මෙම ගැටුම අලි මුල් කොට ඇති වන්නක් බව අනියමින් පැවසෙයි. නමුත් අද වන විට වන අලින්ගේ රජදහන් බවට පත් පිටිසර ගම්මාන වල වෙසෙන වියපත් ගැමියන් මෙම ගැටුම මිනිසුන්ගේ මිස අලින්ගේ වරදකින් ඇතිවූවක් නොවන බව හදවතට එකඟවම කියා සිටී.
ඒ සඳහා වන කදිම නිදසුනක් වන ගල්ගමුව, උස්ගල සියඹලන්ගමුව යාය හතරේ පදිංචි අසූ හය හැවිරිදි කාරියප්පෙරුම මුදියන්සේලාගේ හීන් බණ්ඩා මහතාගේ මේ කතාවට අපි අපගේ අවධානය යොමු කරමු.
අලි ගම්වැදිල වගා පාළු කරලා, ගේ දොර කඩා දාලා, සමහරවිට මනුස්ස ඝාතනයකුත් සිද්ධ කරලා කියලා රූපවාහිනියෙන් දකින මිනිස්සු “මුන්ව මරලත් මදි” කියල දවසකදී කියනවා. තවත් දවසකදී මරා දාල පොළොව බදාගෙන වැටිල ඉන්න සද්දන්තයෙක් දකින මිනිස්සු “මේ අපරාදෙ කරපු උන්ට නම් හෙන හතක්ම වදින්න ඕනි” කියලා අනිත් අතට කියනවා.
ඒ විදිහට අලියා ගැනත් මනුස්සයා ගැනත් කෝපයයි දුකයි ඉපදෙන විදියේ දේවල් පෙන්වමින් මේ අරගලේ ගැන අගක් මුලක් නොදන්න මිනිස්සු මොනවද මේ කරන්නෙ. මේවා අපිට නම් පේන්නේ දුක හිතෙන බයිස්කෝප් වගේ.
අලි ඉන්න පළාත්වල උරුමක්කාරයින් වන අපිට නම් මේවා පේන්නේ හරියට දුක හිතෙන බයිස්කෝප් වගේ. මේ දේවල් ඒ විදියට සිද්ධවෙන බව ඇත්ත වුණාට ඒවා පෙන්නුවා කියලා පිටින් ඉන්න අයට පුළුවන්ද ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්න.
මගේ වයස දැන් අවුරුදු අසූ හයක්. අපේ අප්පච්චිගෙ ගම් පළාත හත්කෝරලේ දාරටියාව. අම්මා මෙහෙ. අපි මෙහේ පදිංචියට ආවේ එක්දාස් නමසිය හැටේ මැයි මාසෙ තිස් වෙනිදා. ඊට පස්සේ තමයි මේ මූකලන් වලින් කොටහක් වෙන් කරගෙන හේන් කුඹුරු කළේ.
හේන් කරන්න මූකලාන හෙළි කරනවට කියන්නේ වල් කොටනව කියලා. ඒත් ඒ වල්කොටන එක ආවට ගියාට කරන්න බෑ. ඉස්සර වෙලාම හොඳ නැකතක් බලලා දෙයියන්ගෙන් බුදුන්ගෙන් අවසර අරගෙන වල් අත්ත කපන්න ඕනෙ. වල් අත්ත කපනවා කියන්නේ ඒ මූකලානෙන් ඉස්සරවෙලාම ගහක් අයින් කරන එක.
ඒක ලේසි පහසු කාරියක් නෙමේ. වැඩේ වැරදියට කළොත් ඒ සාපය කරපු මිනිහා පස්සෙම එනවා. එක යායක් වල් කොටන්නෙ එක වල් අත්තක් කපල. මේ යායේ වල් අත්ත කැපුවේ මම. ඒ වල් අත්ත කපන්න ගහක් තෝර ගන්න එකත් ආවට ගියාට කරන්න බෑ. රුක්අත්තන, පෙතන්, බක්මී, තෙලබෝ වගේ ගහක් තමයි ඒවට තෝර ගන්නෙ. ජීවත් වෙන්න බඩ වියත රැකගන්න හේන් කුඹුරු කළාට මේ මහ මූකලන් අයිති වන සත්තුන්ට කියන අපි දැන ගෙන හිටිය.
ඒ හින්දා තමයි අපි උන්ගෙ උරුමයට බොහොම පරිස්සමින් අත තිබ්බෙ. අපේ අප්පච්චිල කියපු විදිහට හේන කියන්නේ සෙනෙහෙ කියන වචනයෙන් බෙදිච්ච වචනයක්. සෙනෙහෙ සිතින් තමයි මේ හේන් කෙරුවාව කරන්න ඕන. දන්න දා ඉඳලා අලිත් එක්කම ජීවත් වෙච්ච අපිට ඉස්සර අලිය කියන්නේ හතුරෙක් වත් අමුතු සතෙක් වත් නෙමෙයි.
ඒ කාලෙ උනුයි අපියි හරි සහයෝගයෙන් එකට ජීවත් වුණා. ඉඳලා හිටලා පුංචි පුංචි හානි සිද්ධ වුණාට මෙච්චර නම් හානි සිද්ධ වෙලා නෑ. මිනිස්සු වුණත් එහෙමයි අලින් හතුරො විදිහට දැක්කෙ නෑ. උන් උන්ගේ පාඩුවේත් අපි අපේ පාඩුවෙත් හරිම සාමයෙන් ජීවත් වුණා.
අද වගේ නෙමේ එදා අපි හැමෝම හේනෙන් කුඹුරෙන්ම තමයි ජීවත් වුණේ. ඒත් හේන් කුඹුරු පාළු කරන්න උන් මේ විදිහට කඩා පැන්නෙ නෑ. ඒ අපි උන්ගේ හැසිරීම්, ඉන්න පැති ගැන හොඳ අවබෝධයෙන් අපේ වාසස්ථාන, හේන් කුඹුරු සහ දඬුවැට හදාගෙන ජිවත් වෙච්ච නිසයි. බැලූ බැලූ අත ධාන්‍ය අස්වනු, එලවලු, පලතුරු තිබුණත් දඬුවැට කඩාගෙන ඇවිත් ඒව කාබාසිනියා කරදාන්න උන්ට ඕන කමක් තිබුණේ නෑ.
අවශ්‍ය තරමට වතුර, ගහ කොළ, භූමිය කියන උන්ගේ උරුමය අපි උන්ටම දීලා තිබුණා. අපිත් උන්ගෙ උරුමය කොල්ලකාගෙන අලිමංකඩේ වගා කරන්න ගියේ නෑ. එන්න ඒකයි එදා උන්ගෙයි අපෙයි සාමකාමී බවට හේතු වුණේ.
ඒත් පහු පහු වෙනකොට වැඩේ කොහු කොහු වුණා. අලින්ගේ පාරම්පරික අයිතිය සහමුලින්ම නැති වෙන විදියට මිනිස්සු හිතුමතේ ගෙවල් දොරවල් හැදුවා. අලිමංකඩ ගැන වගේ වගක් නැතුව වගා බිම් ඇති කළා.
අලින්ගේ වාසභූමි මිනිස්සු තමන් සන්තක කරගනිද්දී උන් කොයි දීපංකරේ යන්නද? අලින්ගෙ එක පුරුද්දක් තමයි උන්, පුංචි කාලෙ උන්ගෙ අම්ම අප්පච්චි එක්ක ගිය පාරෙ මිසක් වෙන පාරවල් හොයාගෙන ඇවිද ගියේ නෑ. පරම්පරා ගණනකම අලි ගියේ එකම පාරේ. ඒ උන්ගෙ උරුමෙ. ඒ මඟ ඇරුනු කොට වෙන මඟක් උන් දැක්කෙවත් හෙව්වෙවත් නෑ.
පස්සෙ කාලෙ අලින්ගේ වාසභූමි වල හේන් ගොවිතැන් කරලා ඒව රැකගන්න අලි වැට ගැහුවෙ උන්ගෙම මංකඩවල් හරස් කරලා. අඹන්පොලයි ගල්ගමුවයි අතරේ කාසිකොටේ කියන හරියෙ අලි වැට ඉදි කරලා තියෙන්නෙත් ඒ විදිහට අලින්ට යන එන මං නැති කරලා. මොකද පාදෙණිය අනුරාධපුර පාර ඒ මැදින් වැටිල තියෙන හින්දා. සමහරදාට හවසට අලි පනහ හැට පාර අයිනටම ඇවිල්ල අසරණ වෙලා බලන් ඉන්නවා. ඔය ගැටදිවුල හරියෙත් එහෙම තැනක් තියෙනවා.
ගල්ගමුව ඇහැටුවැව පාරෙත් තියෙනවා. නහයට අහන් නැති එකෙක් දෙන්නෙක් අලි වැට නොපැන ඉන්නෙත් නෑ. එතකොට වැරදිකාරයෝ කවුද? උන්ගේ ආහාර, වතුර ටික, භූමිය නැතිකර දාලා උන්ව කොටුකරලා නන්නත්තාර කරලා දැම්මට පස්සේ උන් මිනිස්සුන්ගෙන් යැපෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? ඔය සතෙකුට දවසකට හැතැක්ම තිහ හතළිහක විතර දුරක් ඇවිදින්න ඕන.
ඔය සත්තු පුංචි ඉඩක කොටු වුණාම මොකද වෙන්නේ? ඒ විදිහට මිනිස්සු මත්තේ යැපෙන්න සිද්ධ වුණාම මිනිස්සුන්ට තිබුණු කුලෑටි බව, නුහුරු බව නැති වෙලා අලි තව තවත් ගමට කිට්ටු වෙනවා. මිනිස්සු කළේ අලි වැට යොදල අලි වෙඩි දාලා ඒ සත්තුන්ව කුපිත කරපු එකයි.
කහල්ල පල්ලෙ කැලේ වගේ කැලෑ පස්සෙ කාලෙක වන සතුන්ට කියල වෙන් කළාට ඒක සාර්ථක වුණේ නෑ. මොකද අලින්ට ඕනේ උන් හිටපු පරම්පරාවක් දිවි ගෙවපු හුරුපුරුදු කැලේ මිසක් අපි දෙන කැලේ නොවන නිසා. තවත් පැත්තකින් පාරම්පරිකව අලිත් එක්කම ජීවත් වෙච්ච මිනිස්සු වගේ නෙමෙයි පස්සෙ කාලෙ පිට පළාත් වලින් ආපු මිනිස්සු අලිත් එක්ක ජීවත්වෙන කලාව දැනං හිටියෙ නෑ. එතනදිත් අලින්ට ගොඩාක් අසාධාරණකම් සිද්ධ වුණා.
ඇතෙක් නෙමේ ඇත් රජෙක් කියල කියන්න පුළුවන් සියඹලන්ගමුව ඇතාගෙ මරණෙ, කුරාකූඹුවෙකුටවත් වරදක් නොකරපු දල පූට්ටුවට කරපු මහපොළොව නුහූලන අපරාධය කොහොම නම් පිරිමහන්න ද?
අලි මිනිස් ගැටුම විසඳන්න පුළුවන් එකම මාර්ගෙ උන්ට අයිති කැලේ, වතුර ටික උන්ටම ආපහු දෙන එක විතරයි. ඒ ටික නොදී මොන මොන කංකාරි නැටුවත් වැඩක් වෙන්නේ නෑ. ඒත් අද මොනවද සිද්ධ වෙන්නේ. ඔය නාකොළගනේ හරියෙ මහා විසාල කැලෑ සංහාරයක් සිද්ධ වෙනවා. එතකොට ඒකෙ හිටපු අලි ටික ගම්වදින්නෙ නැතුව කොහෙ යන්න ද?
මොනතරම් සද්දන්ත වුණත් අලියා කියන්නේ ලෝකෙ ඉන්න අහිංසකම සතෙක්. ඒ විතරක් නෙමේ ගරුගාම්භීර සතා. හස්තියා සහ වර්ෂාව අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියල එදා පරණ මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබුණ.
එන්න එන්න වර්ෂාව අඩු වෙලා කාලගුණය කණපිට ගහන්නේ අලි ඇත්තුන්ට මේ කරන අපරාධ හින්දා කියලත් මම එක හෙළාම කියනවා. අද හැමෝම කියන්නේ අලි ගම් වදිනව කියලයි. ඒත් ඇත්තම කතාව නම් අලි ගම්වදිනව නෙමේ මිනිස්සු වල් වදිනවා කියන එකයි.
මේ කතාව පිළිගත්තු අපේ පරණ මිනිස්සුන්ගෙන් දැනට ජීවතුන් අතර ඉන්නේ අපි කීප දෙනෙක් විතරයි. අපිත් නැති දවසක මේ මිනිස්සු මොනවයින් මොනව කරගනියි ද කියන එක අයියනායක දෙවි හාමුරුවො විතරමයි දන්නෙ.
උත්පලා සුභාෂිණී ජයසේකර