මිනිසුන් මිහිතලය මත ජීවත් වන්නාක් මෙන් දෙවිවරුන් ආකාශයේ ද නිරි සතුන් හෙවත් අපායගාමී වූවන් පොළෝ ගැබ අභ්‍යන්තරයේ ද ජීවත් වන බව අපි කුඩා කාලයේ දී අසා ඇත්තෙමු. නිරය හෙවත් පාතාලය පොළෝ ගැබ තුළත්, දිව්‍ය ලෝකය ආකාශ තලයේ කිනම් හෝ ස්ථානයක පිහිටා ඇති බවත් ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් අධ්‍යාත්මික වශයෙන් විශ්වාස කරති. ඒ අනුව මෙම කරුණු වැඩිහිටියන්ගෙන් අසා දැනගත් බොහෝ දරුවෝ අහසේ වලාකුළුවලින් මතු වන අනේකවිධ හැඩයන් මුල්කොට දේව රූප දකිති. ඒ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු ද ළමා වියේ නොයෙකුත් අත්දැකීම් ලබා තිබේ. එහෙත් ඒවා හුදෙක් වලාකුළු අතරින් මතු වන දේව රූප නොව වලාකුළුවලම අනේකවිධ හැඩයන් බවත් එවැනි මායාත්මක දර්ශන Pareidolia නමින් හැඳින්වෙන බවත් පසු කලෙක දැන කියා ගැනීමෙන් පසු එහි විද්‍යාත්මක පසුබිම වටහා ගැනීමටත් මෙම ලියුම්කරුට හැකි විය.
එහෙත්, එය හුදෙක් භෞතික පදනමක් යටතේ පමණක් විස්තර කළ හැකි තත්ත්වයක් නොවන බවත් දෙවිවරුන් සහ වලාකුළු අතර පවතින සබැඳියාව සමාජ විද්‍යාත්මක සහ සමාජ මනෝ විද්‍යාත්මක සේම ආගමික, අධ්‍යාත්මික පසුතලයකින් යුතු විෂය පථයක් බවත් මා හට වටහා ගත හැකි වූයේ ජීවිතයේ මැදි වියේදී ය.
අපගේ බෞද්ධ සංස්කෘතික පසුබිම යටතේ නිර්මාණය වන ආකාශයේ වැඩ සිටින දෙවිවරුන් ගේ චිත්‍ර උඩුකය පමණක් නිරූපණය වන සේ දක්වා තිබේ. එහි යටි කොටස නිර්මාණය කොට ඇත්තේ වලාකුළුවලිනි. එසේ ආකාශයෙන් වැඩම කරන දෙවිවරුන් මිනිසුන් හමුවේ දර්ශනය වීම් සම්බන්ධයෙන් ජාතක කතා ආදියේ සඳහන් වනුයේ ‘අර්ධ රූපකාය දක්වා’ ආදී වශයෙනි. ඒ අනුව දෙවිවරුන් හා වලාකුළු අතර පවත්නා සබැඳියාව හුදෙක් මනෝභාවයක් නොවන බව පෙනී යයි.
විවිධ දෙවි දේවතාවන් පිළිබඳ සඳහන් වන බෞද්ධ සාහිත්‍යයේ මෙම දෙවිවරුන් පිළිබඳව ද සඳහන් වෙයි. ‘වලාහක කායිකා දෙවිවරු’ යන නමිනි. නොඑසේ නම් මෙම දෙවිවරුන් වලාහක යනුවෙන් ද හැඳින්වෙයි. වස්ස වලාහක (වැස්ස වලාහක) වාත වලාහක එවන් වලාහක කායිකා දෙවිවරු කොටස් දෙකකි. මීට අමතරව මෙම වලාහක කායිකා දෙවිවරුන් අතර තවත් ප්‍රභේද දක්නට ලැබේ.
මෙම වලාහකායික දෙවිවරුන් ලෙස උපත ලැබීමට හේතු වන කරුණු බෞද්ධ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ දැක්වෙයි. එමෙන්ම එහි වලාහක සංයුක්තය නමින් වෙනම කොටසක් තිබීමෙන්ම මෙම වලාහක දේව සංකල්පයට බෞද්ධ සාහිත්‍යයේ සැලකිය යුතු තැනක් හිමිව ඇති බව පෙනෙයි.
‘වලාහක කායිකා දෙවිවරු මහත් ආනුභාව ඇත්තෝය. දීර්ඝායුෂ ඇත්තෝය. වර්ණ ඇත්තෝය. සැප බහුල කොට වසන්නෝය’ ආදි වශයෙන් සංයුක්ත නිකාය අටුවාව මෙම දෙවිවරුන්ගේ විස්තර දක්වා තිබේ. නමුදු ආකාශචාරී දෙවිවරුන් ගණයට අයත් මෙම දෙවිවරුන් මහේශාක්‍ය වශයෙන් ත්‍රිපිටකයෙහි හුවා දක්වා නැත. ඊට හේතු විමසීමේ දී පෙනී යනුයේ මොවුන් ඉන්ද්‍ර දෙවියන්ගේ පරිවාර දෙවිවරුන් බව ය. බෞද්ධ සාහිත්‍යයේ ප්‍රමුඛතම දෙවියා අප කවුරුත් ඉතා හොඳින් දැන හඳුනන ශක්‍රයා ය. එහෙත් එහි තැන තැන ‘ඉන්දෝ’ යනුවෙන් ඉන්ද්‍ර දෙවියන් පිළිබඳව ද සඳහන් වෙයි. ‘තනොච දෙවා පිතරෝ – ඉන්ද්‍රො අසුර රක්ඛසා’ යන බ්‍රාහ්මණ ධම්මික සූත්‍ර පාඨයට අනුව ඉන්ද්‍ර යනු එක් දෙවියකුට වඩා දෙවිවරුන් කොට්ඨාසයක් හෝ කාණ්ඩයක් ලෙස වටහා ගත හැකි කරුණු තිබේ. ඉන් පැවසෙනුයේ රජතුමා ගවයන් ඝාතනයට නියම කරන විට ඉන්ද්‍රයන් පවා මහ හඬින් හඬා වැටුණු බවයි.
ලෝකයේ ඇති ආගම් අතරින් පැරණිතම ආගම හෝ ආගමක් වන හින්දු ආගමට අනුව ඉන්ද්‍ර යනු සොබා දහමට අධිගෘහිත දෙවියාය. ගුවන් ගැබ තුළ සිදුවන වැස්ස, විදුලිය, වලාකුළු, අකුණු ගැසීම්, මේඝ ගර්ජනා ආදී මිනිසාට බිය හා බලපෑම් එල්ල කරවන සොබා දහමේ සංසිද්ධීන් ඉන්ද්‍ර දෙවියාගේ බල පරාක්‍රමය නිසා සිදු වන්නක් බව හින්දු ආගමට මූලෝත්පාදක වූ වෛදික ඉගැන්වීම්ල සඳහන් වෙයි. එමෙන්ම අහසේ පායන දේදුන්න අදටත් ඉන්ද්‍රචාප යන නමින් හැඳින්වෙනුයේ පැරණි වෛදික සාහිත්‍යයේ එය ඉන්ද්‍රගේ දුන්න වශයෙන් දක්වා තිබීම නිසාය. සෝම නම් වන සුරාව පානය කිරීමෙන් පසු කලබලකාරී ස්වභාවයක් පළ කරන ඉන්ද්‍ර සතුව සොබා දහමේ සෑම සංසිද්ධියක් වෙනුවෙන්ම කැප වූ දෙවි පිරිවරක් හිඳින බව පැවසෙයි.
මෙම වලාහක කායිකා දෙවිවරුන් පිළිබඳ අපගේ ජන විඥානයෙන් ද බොහෝ කරුණු උපුටා දැක්විය හැක. අප සමාජයේ සෑම කෙනෙකුම අසා ඇති ‘උඩ ඉන්න දෙවියෝම බලාගන්න ඕනෑ’ යන ව්‍යවහාරයේ උඩ යන්නෙන් දෙව්ලොව සේම ආකාශ තලය ද හැඟවෙන බව පෙනෙයි. එමෙන්ම කිනම් හෝ ආපදාවක් විපතක් එළැඹෙන අවස්ථාවල දී ‘අනේ දෙවියනේ’ කියමින් අහසට දෑත් එසවීමේ සිරිතක් ද පොදු සමාජය තුළ පවතී.ඒ අතර ක්‍රිස්තියානි,ඉස්ලාම් ආදී ආගම් වල ඉගැන්වෙන දේවදූතයන් ද දෙවියන් සහ මිනිසුන් අතර සහසම්බන්ධතා ගොඩ නඟන අධිමානුෂික බල සහිත ජීවීන් කොටසකැයි කියනු ලැබේ මයිකල් ගේබ්‍රියෙල් ආදී නම් වලින් හඳුන්වන මොව්හු පියාපත් සහිත ළමා රූප ලෙසින් දක්වා තිබේ.ඉස්ලාමයේ එන මලයිකා වරු ද අල්ලාහ් ගේ පණිවිඩ රැගෙන එන සුරදූතයන් සේ සැලකෙන අතර මොව්හු ආකාශමය සබඳතා සහිත ස්වර්ගීය ජීවීන් ලෙස සැලකෙති.
නමුත් හින්දු හෝ බෞද්ධ සාහිත්‍යයේ අඩංගු කරුණු අනුව දෙවිවරු යනු හුදෙක් ආකාශචාරීහුම නොවෙති. ඔවුන් අතර අන්තරීක්ෂයේ වැඩ වෙසෙන දෙවිවරු කොටසක් ද වෙති. මෙහි අන්තරීක්ෂ යනු අහසත් පොළොවත් වෙන් වන මායිම ය. අපගේ ජනවහරට අනුව මෙය ආතාල යනුවෙන් හැඳින්වෙයි. මීට අමතරව පෘථිවිය ආශ්‍රිතව වැඩ වෙසෙන බවට විශ්වාස කෙරෙන වෘක්ෂ දේවතාවන් ආදීන් හැඳින්වෙනුයේ භූමාටු දෙවිවරුන් ලෙසිනි.
පුරාණ වෛදික ආගම්වලට අනුව මෙම අන්තරීක්ෂ දෙවිවරුන් අතර ප්‍රමුඛයා අග්නි හෙවත් ගිනි දෙවියන්ය. මිහිමත සිට අනන්ත අපරිමාණ විශ්වයේ හිඳින කොටස් තිස් තුනකින් (මෙය තිස්තුන් කෝටියක් ලෙස හැඳින්වීම සපුරා වැරදි ය. සංස්කෘතයේ කොටස යන්නට ව්‍යවහාර වනුයේ ද කෝටි යන වදනමය.) යුතු දෙවිවරුන් අතර සම්බන්ධීකරණ කටයුතු කරනුයේ අග්නි දේවතා හෙවත් ගිනි දෙවියන් විසිනි. එහෙත් මෙම ගිනි දෙවියන් පිළිබඳ විශ්වාසය හින්දු යාග හෝමවල සිට විවාහ මංගල්‍ය ආදී ගෘහ චාරිත්‍ර තෙක් පැතිර පවතින නමුදු අපගේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගිනි දෙවියන්ට කිසිදු තැනක් හිමිව ඇති බවක් නොපෙනෙයි.
තිලක් සේනාසිංහ