මේ ගෙවී යන පැය කිහිපය ලෝක දේශපාලනය තුළ කුමනාකාර පෙරළියක් කරනු ඇතිදැයි කිසිවකුට කිව නොහැකි තත්ත්වයක පවතී. මේ ලිපිය ලියන මොහොතේ සිට ඔබ කියවන මොහොත වන තෙක් කාලය තුළ ඊශ්‍රායලය සහ ගාසා තීරුව තුළ තත්ත්වය කුමනාකාරයකින් වෙනස් වේදැයි අනාවැකි කිව නොහැක. පවතින වාතාවරණය එතරම් දරුණුය. තීරණාත්මකය. පසුගිය සති අන්තයේ දී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරය ලෝකය දෙකට බෙදා වෙන් කරන්නට තරම් ප්‍රබල බලපෑමක් එල්ල කොට තිබේ. කෙසේ වෙතත් ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර කාලාන්තරයක් තිස්සේ මේ පවතින අර්බුදය පිළිබඳ බොහෝ දෙනෙක් තුළ පැහැදිලි අවබෝධයක් නැත. බහුතරයක් දෙනා කතා කරන්නේ ගෙවී ගිය සතිය සහ දශක කිහිපයක අතීතයක කතාවක් පමණි. නමුත් යථාර්ථය එය නොවේ. මේ අර්බුදයේ අංකුර වර්ධනය වන්නේ වසර දහස් ගණනක් තිස්සේය.
මේ අර්බුදය පිළිබඳ අපට මුලින්ම තොරතුරු හමුවන්නේ හීබෲ බයිබලය තුළිනි. එහි සඳහන් වන අන්දමට ඊශ්‍රායල නම් දේශයේ උපත යුදෙව් සහ ඉස්ලාම් ආගම්වල පීතෘවරයා සේ සැලකෙන ඒබ්‍රහම්ගේ කාලය දක්වා දිව යයි. ඒබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වසර සිය ගණනක් තිස්සේ ඊජිප්තුවේ වහලුන් ලෙස තබා ගෙන සිටි අතර පසුව ඔවුන්ව කානාන් නම් දේශයේ පදිංචි කරවනු ලැබිණි. කානාන් යනු අද අප දකින ඊශ්‍රායල භූමියය. ‘ඊශ්‍රායල්’ යන නම මුලින්ම සඳහන් කොට ඇත්තේ ඒබ්‍රහම්ගේ මුනුබුරකු වූ ජාකොබ් විසිනි. එය හීබෲ බයිබලයේ සඳහන් වෙයි.
ක්‍රි.පූ. 1000 දී මේ කලාපය ඩේවිඩ් රජු විසින් පාලනය කරන ලද අතර ඔහුගේ පුත් සොලොමන්ට ජෙරුසලම තුළ මුල්ම දේවස්ථානය ගොඩ නැගීමේ ගෞරවය හිමි වේ. ක්‍රි.පූ, 931 දී පමණ මේ ප්‍රදේශය උතුරින් ඊශ්‍රායලය සහ දකුණින් ජුදා යනුවෙන් රාජධානි දෙකක් වශයෙන් පාලනය කරනු ලැබිණි.
ක්‍රි.පූ. 722 දී ඇසිරියන්වරුන්ගේ ආක්‍රමණයේ දී උතුරේ තිබූ ඊශ්‍රායල රාජ්‍යය විනාශ වූ අතර ක්‍රි.පූ. 568 දී බැබිලෝනියන්වරු ජෙරුසලම අල්ලා ගත් අතර එහි ඉදිකොට තිබූ මුල් දේවස්ථානය විනාශ කරනු ලැබිණි. පසුව නැවත ක්‍රි.පූ. 516 දී දෙවැනි වතාවටත් දේවස්ථානයක් ඉදිකරනු ලැබිණි.
ඊළඟට ගෙවී ගිය සියවස් ගණනාවක කාලය තුළ ඊශ්‍රායලය සහිත භූමිය පර්සියානුවන්, ග්‍රීකයන්, රෝමානුවන්, අරාබි ජාතිකයන්, ෆාතිමිඩ්ස්වරුන්, සෙල්ජුක් තුර්කිවරුන්, ඊජිප්තු ජාතිකයන්, ඉස්ලාම්වරුන් ආදී විවිධ ජාතීන් විසින් පාලනය කරනු ලැබිණි.
බැල්ෆෝර් ප්‍රකාශනය
1517 සිට 1917 දක්වා ඊශ්‍රායලය සහිත භූමිය සහ මැද පෙරදිගින් වැඩි ප්‍රමාණයක් පාලනය කරන ලද්දේ මුස්ලිම් සම්භවයක් සහිත ඔටෝමන් අධිරාජ්‍යය විසිනි. ඒ සමයේ ඊශ්‍රායලය සහිත ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ පලස්තීනය නමිනි. පළමු ලෝක යුද්ධයේ දී මැදපෙරදිග භූ දේශපාලනය මහත් වෙනසකට ලක් විය. යුද්ධයේ උච්චතම අවස්ථාව පැවති සමයේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ආතර් ජෙම්ස් බැල්ෆෝර් ඒ වන විට පලස්තීනය ලෙසින් පැවති භූමිය තුළ යුදෙව් රාජ්‍යයක් බිහි කිරීමේ වැදගත්කම පිළිබඳ ලිපියක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙත යොමු කළේය. 1918 පළමු ලෝක යුද්ධය අවසන් වෙද්දී මිත්‍ර පාක්ෂිකයන් ජයග්‍රහණය කළ අතර වසර 400 ක පමණ කාලයක් පැවති ඔටෝමන් අධිරාජ්‍යය බිඳ වැටුණි. බ්‍රිතාන්‍යය විසින් (වර්තමාන ඊශ්‍රායලය, පලස්තීනය සහ ජෝර්දානය පවතින) එවකට පලස්තීනය ලෙසින් හඳුන්වනු ලැබූ ප්‍රදේශය යටත් කර ගත්තේය.
1922 දී බැල්ෆෝර් ප්‍රකාශනය ලෝකයේ ජාතීන් ගණනාවක් විසින් පිළිගනු ලැබූ නමුත් අරාබි රටවල් එයට එක හෙළා විරුද්ධ විය. මෙහි යුදෙව් රාජ්‍යයක් ඇති කිරීම මුස්ලිම් සම්භවයක් සහිත අරාබි ලෝකයට මහත් ව්‍යසනයක් ගෙන දෙන්නක් බව ඔවුහු ප්‍රකාශ කළහ.
අද ඊශ්‍රායලය ලෙසින් හඳුන්වනු ලබන කලාපය දෙවැනි ලෝක යුද්ධය අවසන් සමය වන තෙක් බ්‍රිතාන්‍යය විසින් පාලනය කරනු ලැබූ අතර 1947 දී එය නිදහස් රාජ්‍යයක් බවට පත් විය.
එතැන් පටන් අරාබි ලෝකය සහ ඊශ්‍රායලය අතර ගැටුම්කාරී තත්ත්වයක් පැන නැගිණි. ඊශ්‍රායලය මෙන්ම අරාබි ලෝකය ද ජෙරුසලම යනු ශුද්ධ වූ නගරයක් ලෙස සලකා ක්‍රියා කළහ. එහි මුස්ලිම්වරුන්ට අයත් අක් අක්සා යන ඉපැරණි පල්ලිය ඇතුළු තවත් ශුද්ධ වූ ස්ථාන රැසක් පැවතිණි.
යුදෙව්වාදය (Zionism)
19 සහ 20 යන සියවස්වල දී ලෝකය තුළ යුදෙව්වාදී ආගමික සහ දේශපාලන ව්‍යාපාරයක් ඉස්මතු වන්නට පටන් ගැනුණි. යුදෙව්වාදීන්ට අවශ්‍ය වූයේ මේ කලාපය තුළ යුදෙව් රාජ්‍යයක් ඇතිකිරීමය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1882 – 1903 අතර කාලයේ මේ ප්‍රදේශයට බොහෝ යුදෙව් ජාතිකයන් සංක්‍රමණය වන්නට පටන් ගැනුණි. ජර්මනියේ නාසිවාදය නිසා බැට කෑ යුදෙව්වන් බහුතරයක් ද මේ අතර විය. පලස්තීන කලාපය තුළ සිටි අරාබි ජාතිකයෝ යුදෙව්වාදී ව්‍යාපාරයට සිය දැඩි විරෝධය පළ කළහ. මේ කලාපය තුළ ගැටුම් උත්සන්න කිරීමට මෙය ද මහත් දායකත්වයක් ලබා දුන්නේය. 1948 දී ඩේවිඩ් බෙන්-ගූරියන් අගමැති ලෙස පත් කරමින් ඊශ්‍රායලය නම් දේශය බිහි කෙරීණි.
1948 අරාබි – ඊශ්‍රායලය යුද්ධය
ඊශ්‍රායල දේශය බිහිවීමත් සමග ඊජිප්තුව, ජෝර්දානය, ඉරාකය, සිරියාව සහ ලෙබනන් යන රටවල් මේ ප්‍රදේශය ආක්‍රමණ කළහ. සිවිල් යුද්ධයක් ඇති වූ නමුත් 1949 දී සාම ගිවිසුමක් අත්සන් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස බටහිර ඉවුර කලාපය ජෝර්දානයට අයත් වූ අතර ගාසා තීරුව ඊජිප්තුවට අයත් විය.
මෙයින් පසුව ගෙවී ගිය කාලය තුළ සූවස් ඇලේ අර්බුදය, සය දින යුද්ධය, යොම් කිපූර් යුද්ධය, ලෙබනන් යුද්ධය, පළමු පලස්තීන ඉන්ටිෆාඩා අර්බුදය, දෙවැනි පලස්තීන ඉන්ටිෆාඩා අර්බුදය, දෙවැනි ලෙබනන් යුද්ධය, හමාස් යුද්ධය ආදී වශයෙන් වූ අර්බුද ගණනාවක් මධ්‍යයේ මේ කලාපය පැවතිණි. මේ අර්බුදකාරී තත්ත්වය පසුගිය සති අන්තයේ නැවත අලුත් කරමින් හමාස් සංවිධානය ඊශ්‍රායලය වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. ඔවුහු ඊශ්‍රායලයේ අධි තාක්ෂණික ආරක්ෂිත වැට බිඳ, ගුවන් ආරක්ෂක පද්ධතියට දරා ගත නොහැකි ලෙස රොකට් එල්ල කරමින් ඊශ්‍රායල භූමියට ඇතුළු වූහ.
හමාස් සංවිධානය
හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහි පළමු ඉන්ටිෆාඩා අර්බුදය ඇති වූ 1987 වසරේ දී ඇති කරන ලද්දකි. මුලින්ම ඊජිප්තුවේ ඇති කරන ලද සුන්නි මුස්ලිම් ව්‍යාපාරයක් වූ ‘මුස්ලිම් සහෝදරත්වය’ නම් සංවිධානය තුළින්ම මතු වූවක් සේ සැලකේ. මොවුන්ට යුදමය ශක්තිය ලබා දෙන්නේ ඉරානය විසින් බව ප්‍රසිද්ධ කාරණයකි. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ මේ ප්‍රදේශය තුළ පලස්තීන රාජ්‍යයක් ඇති කිරීමය. ඔවුහු කිසිදු ආකාරයක සාමකාමී කටයුතු ප්‍රතික්ෂේප කරති. හමාස් සංවිධානය අවශ්‍ය එකම දෙය ඊශ්‍රායලය විනාශ කොට යුදෙව්වන් මරා දැමීම පමණක් බව පසුගිය දා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් පැවසුවේය. බටහිර රටවල් විසින් මෙය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කොට තිබේ. හමාස් සංවිධානයේ දේශපාලන නායකත්වය ඉස්මයිල් හනියේ විසින් දරන අතර සන්නද්ධ නායකත්වය මර්වාන් ඉසා විසින් දරනු ලබයි. මර්වාන් ගාසා තීරයේ සරණාගත කඳවුරක උපත ලද්දෙක් ලෙස සැලකෙන අතර පසුගිය සති අන්තයේ ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයේ මහමොළකරු වන්නේ ද ඔහුය. ඊශ්‍රායලය විසින් මර්වාන් ඝාතනය කරන්නට කිහිප වතාවක්ම උත්සාහ කොට තිබේ. හමාස් හැරුණ විට ලෙබනනයේ සිට පහර දෙන හිස්බුල්ලා කණ්ඩායමේ ප්‍රහාරයන්ට ද ඊශ්‍රායලය මුහුණ දිය යුතුව තිබේ. ලොව පුරා සිටින සියලු මුස්ලිම් රටවල්වලින් හමාස් සංවිධනය ඉල්ලා සිටින්නේ තම සටනට සහයෝගය දෙන ලෙසය.
මේ මොහොත වන විට ද ඊශ්‍රායලය සහ හමාස් සංවිධනය සිටින ගාසා කලාපය අතර දරුණු සටන් පවතී. ඊශ්‍රායලය පවසා ඇත්තේ උතුරු ගාසා තීරයේ සාමාන්‍ය වැසියන්ට පැය 24 ක් තුළ දකුණට සංක්‍රමණය වන ලෙසය. හමාස් ක්‍රියාකාරිකයන් බහුතරයක් සිටින්නේ උතුරේ බැවින් එම ප්‍රදේශයට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී තිබේ. කෙසේ වෙතත් එහි සිටින මිලියනයකට අධික ජනතාවකට දකුණට පැය 24 කින් සංක්‍රමණය වීමේ හැකියාව පිළිබඳ ගැටලුවක් නිර්මාණය වී තිබේ.
හමාස් සංවිධනය ඊශ්‍රායලයට පහර දීමේ මේ සැලැස්ම දීර්ඝ කාලයක සිට සංවිධානය කරන ලද්දක් වන අතර මෙයට මූලික හේතුව වී තිබුණේ මුස්ලිම් ජාතිකයන්ගේ ශුද්ධ වූ දේවස්ථානයක් ලෙස සැලකෙන ජෙරුසලමේ පිහිටි අල්-අක්සා මස්ජිදයට 2021 වසරේ දී ඊශ්‍රායලය විසින් පහර දී විනාශ කිරීමය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ මේ සටන අවසන් වන්නේ හමාස් සංවිධානය අවසන් කොට බවය.
ඊශ්‍රායලය ගාසා අර්බුදය සහ ශ්‍රී ලංකාව
මේ අර්බුදයේ දී අප රටේ විදේශ ප්‍රතිපත්තිය තවමත් පැහැදිලි ලෙස ප්‍රකාශ කොට නැත. කෙසේ වෙතත් මේ අර්බුදයේ ඉතිහාසයේ සිට වර්තමානය දක්වා ගමන දෙස බැලීමේ දී ඊශ්‍රායලයට මෙන්ම මුස්ලිම් ලෝකයට ද තම අදහස් තම පාර්ශ්වයෙන් සාධාරණීකරණය කිරීමේ කාරණා බොහෝ ඉදිරිපත් කළ හැකිය. ගැටලුව වන්නේ ඒවා කරුණු ඉදිරිපත් කිරීමකින් නොනවතින නිසාය. සියල්ලේ අවසානය වන්නේ මිනිස් සංහාරයක් පමණි. මේ වන විට ලක්ෂ ගණනින් අවතැන් වී තිබේ. අසරණ වූ කුඩා දරුවන් දහස් ගණනකි. යුද්ධයේ ආදීනව අපි ඕනෑවටත් වඩා දැක ඇත්තෙමු. පුද්ගලික මතවාද අනුව අපට ඊශ්‍රායලයට හෝ හමාස් සංවිධනයට පක්ෂපාතී අදහස් දැක්විය හැකිය. රටක් ලෙස ගතහොත් අපට අරාබි ලෝකය මෙන්ම ඊශ්‍රායලය ද එක හා සමාන වැදගත් කමක් තිබේ. ලෝකයේ ප්‍රබල රටවල් සිටින ස්ථාවරයක සිටින්නට තරම් අපට ශක්තියක් නොමැත. අර්බුදවලට පත් වූ අවස්ථාවල දී අරාබි ලෝකයෙන් සහ ඊශ්‍රායලයෙන් අපට පිහිට ලැබුණු අවස්ථා ඕනෑ තරම් තිබේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ මේ කලාප දෙක තුළම සිටිති. එබැවින් රටක් ලෙස අපට කළ හැකි හා කළ යුතු එකම දෙය වන්නේ දෙපාර්ශවයේම ප්‍රචණ්ඩත්වයට පක්ෂපාතී නොවී ඉක්මන් සාමයක් මේ කලාපයටත් ලෝකයටත් උදාවේවා යන ප්‍රාර්ථනය කිරීම පමණි.
නිරංජන් චාමින්ද කරුණාතිලක