වසර 2047 වනවිට ඉන්දියාව පූර්ණ සංවර්ධිත රටක් වනු ඇති – නිදහස් දින කතාවේ දී අගමැති මෝදි කියයි

වසර 2047 වනවිට ඉන්දියාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වනු ඇති බව එරට අගමැති නරේන්‍ද්‍ර මෝදි පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පසුගිය 15 වැනි දින එරට 77 වැනි නිදහස් දිනය සැමරීම සඳහා පැවැති උත්සවයේදී යි. සිරිත් පරිදි මෙම උත්සවය පැවැත්වුණේ නව දිල්ලියේ පිහිටි ඓතිහාසික රතු බලකොටු පරිශ්‍රයේ ය.

දකුණු ආසියානු කලාපයේ බලවතා වන, එමෙන්ම මේ වනවිට වේගවත් සංවර්ධන මාවතක ගමන් කරමින් සිටින ඉන්දියාවේ අනාගතය ගැන අගමැතිවරයා කතා කළේ මහත් විශ්වාසයෙන් යුතුව ය. ‘2047 වසර වනවිට එනම් නිදහස ලබා වසර 100 ක් සපුරන විට ඉන්දියාව සංවර්ධිත රටක් වනු ඇති’ යයි ඔහු එහිදී ප්‍රකාශ කළේය. තමා මේ බව පවසන්නේ රට සතු ශක්‍යතාවන්, සම්පත් සහ විශේෂයෙන්ම රටේ තරුණ පරපුර සතු හැකියාවන් පිලිබඳ සලකා බැලීමෙන් පසුව බව ද මෝදි පැවසුවේය. ඉන්දියාව යනු විශාල තරුණ ජනගහණයක් සිටින රටකි. 2022 වසරේ කරන ලද ගණනය කිරීමකට අනුව එරට ජනගහණයෙන් සියයට 50 කට වැඩි පිරිසක් වයස අවුරුදු 25 ට අඩු අය යි. සියයට 65 ක් අවුරුදු 35 ට අඩු අයයි. මෙය සංවර්ධන කාර්යයේ දී ඉන්දියාව සතු දැවැන්ත වාසියක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ හෝ වේවා, 2047 වනවිට සංවර්ධිත රටක් බවට පත්වීමේ දී ඉදිරි වසර 5 තුළ ගන්නා තීන්දු තීරණ සහ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ඉතාම තීරණාත්මක වනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඉන්දියාව සතු සැබෑ ශක්තිය මුදා හැරීමට බාධා කරන ‘පාපයන්’ තුනක් ගැන ද අගමැතිවරයා සිය කතාවේ දී සඳහන් කළේය. ඔහු සඳහන් කරන පළමු ‘පාපය’ නම් දූෂණය යි. දෙවැන්න දේශපාලනයේ පවුල්වාදය යි. (ඔහු මෙය පවසන්නේ ගාන්ධි පවුල ඉලක්ක කර බව පැහැදිලිය). තුන්වැන්න විවිධ පාර්ශ්ව සතුටු කරන්නට යාම යි. ‘දූෂණයට එරෙහිව සටන් කිරීම මගේ ජීවිතයේ ලොකුම කටයුත්තක්. දෙවැන්න, දේශපාලනයේ පවුල්වාදය. එය මේ රට විනාශ කළා. ජනතාවගේ අයිතීන් උදුරා ගැනීමක් එයින් සිදු වුණා. තුන්වැන්න නම් විවිධ පාර්ශ්ව සතුටු කිරීමට යාමයි. මේ නිසා අපේ ජාතික චරිතයට කැළලක් සිදු වුණා. අප මෙම පාපයන්ට එරෙහිව මුළු ශක්තිය යොදා සටන් කළ යුතුයි’.

අනාගත සිහින සාක්‍ෂාත් කර ගැනීමේ දී ඉවහල් වන සාධක තුනක් ගැනත් අගමැතිවරයා සිය නිදහස් දින කතාවේ දී සිහිපත් කළේය. එනම් ජනතාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ විවිධත්වය යි. ‘අපේ ජාතියේ අනාගත සිහින සඵල කිරීමේ බලය මෙම ත්‍රිත්වය සතුව තිබෙනවා’ ඔහු පැවසීය.

ඉන්දියාවේ වේගවත් නැගීම සහ සංවර්ධනය නිසා ලෝකය පුරා ඉන්දියාව පිලිබඳ විශාල විශ්වාසයක් ගොඩ නැගෙමින් ඇති බව ඔහු පෙන්වා දෙයි. ‘අද ලෝකය ඉදිරියට යන්නේ තාක්‍ෂණය මත පදනම් වෙලයි. තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉන්දියාව සතු හැකියාවන් නිසා ලෝකය තුළ අලුත් කාර්යභාරයක් ඉටු කිරීමටත් ලෝකයට විශාල බලපෑමක් කිරීමටත් ඉන්දියාවට හැකි වේවි’ අගමැතිවරයා විශ්වාසය පළ කරයි. ‘ජාත්‍යන්තර විශේෂඥයන් පවසන්නේ දැන් ඉන්දියාව නතර කිරීමට කිසිවෙකුට නොහැකි බවයි. ලෝකයේ සියලුම ශ්‍රේණිගත කිරීමේ ආයතන මේ රට ඉහළින් වර්ණනා කරනවා. වේගයෙන් වෙනස් වෙමින් ඇති ලෝකය හැඩ ගැස්සවීමේ දී ඉන්දියානු ජනතාව සතු දක්‍ෂතා මේ වනවිට කැපී පෙනෙනවා’ ඔහු සිය කතාවේ දී පවසා තිබිණි.

ඉන්දියාවේ ගැහැනු දරුවන් විද්‍යා සහ ඉංජිනේරු වැනි ක්‍ෂේත්‍රවල කටයුතු කරනවා දැයි වරක් තමාගේ විදෙස් චාරිකාවක දී කිසිවකු විමසූ බව මෝදි පවසයි. ‘ඉන්දියාව තුළ පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන් විද්‍යා,තාක්‍ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) ක්‍ෂේත්‍රවල කටයුතු කරන බව මා ඔවුන්ට පැවසුවා’.

අගමැති මෝදි මෙවැනි කතාවක් කරන්නේ සිය දේශපාලන දිවියේ විශාල පරීක්‍ෂාවකට මුහුණ දීමට ආසන්නව සිටිය දී වීම විශේෂත්වයකි. එනම් 2024 වසරේ මුල් භාගයේ පැවැත්වීමට නියමිත එරට මීළඟ මහා මැතිවරණය යි. එය 2024 අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිතව තිබේ. මෝදි මේ වනවිට දෙවරක් එරට අගමැති ධුරය දරා ඇති අතර තවත් වතාවක් ඔහුට එම අවස්ථාව හිමි වේවි ද යන්න එම මැතිවරණයේ දී තීරණය වනු ඇත. කෙසේ නමුත් ඔහු නිදහස් දින කතාවේදී සඳහන් කළේ රටේ ජයග්‍රහණ ගැන කතා කිරීමට තමා ලබන වසරේ ද නිදහස් දිනයේ රතු බලකොටුවට පැමිණෙන බවයි.

නිහාල් පීරිස්

 

එතෙර - මෙතෙර