මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී එම දඬුවම ලබා දෙන තෙක් වසර 50 කට ආසන්න කාලයක් බන්ධනාගාරයක රඳවා සිට අවසානයේ නිදහස් කරනු ලැබූ සිරකරුවකු ගැන පසුගිය වසරේ ජපානයෙන් වාර්තා වුණා. ලෝකයේ වැඩිම කාලයක් මරණ දඬුවම් පෝලිමේ සිටි පුද්ගලයා හැටියටත් ඔහු වාර්තා පොතට එක් වුණා. මෙම පුද්ගලයාගේ නම ඉවායො හකමටා. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 89 ක්.

ඔහු රැකියාව කළ ආයතනයේ හාම්පුතා, හාම්පුතාගේ බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හකමටා වරදකරු කරනු ලැබුවේ 1968 වසරේ යි. නමුත් එයින් වසර 46 කට පසු 2014 වසරේ නැවතත් නඩු විභාගයක් පැවැත්වීම සදහා අධිකරණය අවසර ලබා දුන්නා. ඔහුට එරෙහිව මුලින් ඉදිරිපත් කර තිබූ සාක්ෂි ව්‍යාජ එ්වා බවට දිගින් දිගටම සැක සංකා පැවැති අතර නැවත නඩු විභාගයක් සඳහා අවසර ලැබුණේ එම පසුබිම තුළ යි. 2014 වනතුරුත් ඔහුගේ මරණ දඬුවම කි‍්‍රයාත්මක නොකෙරුණේ හකමටා ගේ මරණ වරෙන්තුවට අත්සන් කිරීමට අධිකරණ ඇමැතිවරුන් මැලි වූ නිසා බවත් පැවසෙනවා.
දෙවැනි නඩු විභාගයත් වසර 10 කට ආසන්න කාලයක් පැවතුණා. අවසානයේ 2024 සැප්තැම්බර් මාසයේ එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලද අතර හකමටා නිෙදාස් කොට නිදහස් කරනු ලැබුවා. මෙම නඩුව ජපානයේ ඉතා විශාල අවධානයක් දිනාගත් නඩු විභාගයක් බවට පත් වුණා. එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කළ දිනයේ විශාල පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටිනු දැක ගන්නට ලැබුණා. අවසානයේ විනිසුරුවරයා තීන්දුව ප‍්‍රකාශ කළ අවස්ථාවේ බොහෝ දෙනා සතුට පළ කරමින් පී‍්‍රති ඝෝෂා පවත්වා තිබුණා.
මේ වනවිට හකමටා සිටින්නේ බෙහෙවින් දුර්වල තත්වයක යි. එ් නිසා මෙම විශේෂ අවස්ථාවට සහභාගි වීමටත් ඔහුට හැකියාව ලැබී තිබුණේ නැහැ.
ඉවායෝ හකමටා සම්බන්ධයෙන් මේ දිනවල නැවතත් මාධ්‍ය තුළ අවධානයක් යොමුව තිබෙනවා. එ් ඔහුට විශාල වන්දියක් ගෙවීමට අධිකරණය ජපාන රජයට නියෝග කිරීමත් සමග යි. හකමටා නිෙදාස් කොට නිදහස් කිරීමෙන් පසු ඔහුගේ නීතිඥයන් ඔහු වෙනුවෙන් වන්දියක් ඉල්ලා අධිකරණය හමුවට ගියා. එ් වසර 50 කට ආසන්න කාලයක් මරණ දඬුවම ලැබෙනතුරු බලා සිටීම ඔහුට කායික සහ මානසික වශයෙන් විශාල බලපෑමක් කර ඇතැයි යන තර්කය මත යි. හකමටාට උපරිම වන්දියක් ලබා දෙන මෙන් නීතිඥයන් ඉල්ලා සිටියා.

මෙම ඉල්ලීමට ඇහුම්කන් දෙමින් අධිකරණය ජපාන යෙන් මිලියන 217 ක වන්දියක් ඔහුට ලබා දෙන මෙන් නියෝග කර තිබෙනවා. මෙය ලංකා රුපියක් කෝටි 50 කට ආසන්න වන්දි මුදලක්. මෙම වන්දි මුදලත් වාර්තා පොතට එක්ව තිබෙනවා. එ් ජපාන ඉතිහාසයේ අපරාධ නඩුවකට අදාළව ගෙවන ලද වැඩිම වන්දි මුදල හැටියට යි.
පසුගිය වසරේ නිදහස ලැබීමෙන් පසු හකමටා දැන් ජීවත් වන්නේ ඔහුගේ අක්කා කෙනෙකු සමග බව සඳහන්. ඇය ගේ වයස අවුරුදු 91 ක්. හිදෙකෝ නැමැති ඇයත් සිය සහෝදරයා නිදහස් කර ගැනීම සඳහා විශාල සටනක් කර තිබුණා.
හකමටාට මරණ දඬුවම නියම වීමට හේතු වූ අපරාධය සිදුව තිබුණේ 1966 වසරේ යි. ඔහු සේවය කළ ආයතනයේ හාම්පුතාට අයත් නිවසක් ටෝකියෝ හි ෂිසු ඕකා නැමැති ප‍්‍රදේශයේ පිහිටි අතර එම නිවස 1966 ජුනි 30 වැනි දින ගිනි ගැනීමකට ලක් වුණා. හකමාටා පවසන ආකාරයට ඔහු මෙම ගින්න නිවීමට උත්සාහ ගෙන තිබුණා. නමුත් එම අවස්ථාවේ ඔහුට දැකගන්නට ලැබී තිබුණේ හාම්පුතා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මිය ගොස් සිටි ආකාරය යි. කිසිවෙකු ඔවුන්ට පිහියකින් ඇන මරා තිබූ බවක් ද විමර්ශණවල දී අනාවරණය වි තිබුණා. නිවසේ තිබූ යම් මුදල් ප‍්‍රමාණයක් අතුරුදන්ව තිබූ බවක් ද පැවසුණා.
කෙසේ හෝ වේවා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හකමටා අත්අඩංගුවට ගනු ලැබුවා. එම වසරේ අගෝස්තු මාසයේ යි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ. ඊට පෙර දින ගණනක් තිස්සේ ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර තිබූ අතර එහි දී හකමටා පාපොච්චාරණයක් කර තිබුණා. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම පාපොච්චාරණය සහ සාක්ෂි කිහිපයක් මත පදනම්ව යි. ලේ තැවරුණු ඇඳුම් කිහිපයක් ද එ් සාක්ෂි අතර තිබූ බව සඳහන් වුණා.
හකමටාට එරෙහිව පැවැති නඩු විභාගය අතරතුර ඔහු මෙම පාපොච්චාරණය ඉල්ලා අස් කර ගන්නට කටයුතු කළා. ඔහු එහි දී පැවසුවේ පොලිසිය තමාගෙන් මෙම පාපොච්චාරණය ලබා ගත්තේ වධ දීමෙන් පසුව බව යි. තමා වරදක් නොකළ බව ඔහු දිගින් දිගටම පැවසුවා.
ඔහුට එරෙහිව සාක්‍ෂි ලෙස ඉදිරිපත් කර තිබූ පලතුරු කපන පිහියක් සහ ලේ තැවරුණු ඇඳුම් සම්බන්ධයෙන් ද විවිධ ගැටලූ මතුව තිබුණා. එම ඇඳුම් හකමටාට කුඩා වැඩි බවක් ද සඳහන් වුණා.
සමස්තයක් ලෙස පැය 264 ක කාලයක් පොලිසිය ඔහුගෙන් ප‍්‍රශ්න කර තිබූ බවක් හකමටාගේ නිතිඥයන් ප‍්‍රකාශ කළා. ඇතැම් අවස්ථාවල ඔහුට වතුර පවා ලබා දී නොතිබුණු බව සඳහන්. වැසිකිලි යාමට ඉඩ නොදුන් අවස්ථා පවා පැවැති බව නීතිඥයන් තවදුරටත් ප‍්‍රකාශ කර තිබුණා.
තමාගේ නිෙදාස් බව සඳහන් කරමින් 1983 වසරේ ඔහු සිය පුත‍්‍රයාට ලියූ ලිපියක් එකල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත්තා.
‘ඔබේ පියා කවදාවත් කිසිවෙකු ඝාතනය නොකළ බව මා ඔබට ඔප්පු කරන්නම්. එ් බව හොඳටම දන්නේ පොලිසිය යි. මම මේ යකඩ දම්වැලෙන් නිදහස් වෙලා නැවත ඔයා ළඟට එනවා’’.
වසර 41 කට පෙර කියූ ආකාරයටම ඔහු අවසානයේ නිදහස ලබා ගන්නට සමත් වුණා. නමුත් ඔහුට පුතා හමු වුණා ද යන්න ගැන නම් කොහේවත් සඳහන් වන්නේ නැහැ.
නිහාල් පීරිස්