ව්‍යාජ ඇටර්නි බලපත්‍ර නඩුවෙන් ගම්මන්පිල නිදහස් !

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹ මහාධිකරණය විසින් අද (24) නිදොස් කොට නිදහස් කර තිබේ.ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාධී ලෙස හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ,උදය ගම්මන්පිළ මහතාට සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ මහතාට එරෙහිවයි.දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා විසින් මෙම තීන්දුව ලබාදී ඇති බව වාර්තා වේ.චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම හේතුවෙන් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ඇත.වසර නවයක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම තීරණය ගෙන ඇති අතර, ගම්මන්පිල මහතාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා අතර 2016 වසරේදී ඔස්ට්‍රේලියානු ජාතිකයකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සමාගමේ කොටස් විකිණීම සහ 1996 සහ 1997 වසර අතර කාලයේදී රුපියල් මිලියන 21ක මුදලක් වංචනික ලෙස පරිහරණය කිරීම ඇතුළත් විය.අපරාධ නඩු විභාගයකදී චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු බැවින්, පැමිණිල්ල මෙම කරුණු තහවුරු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර ඇත.මෙම නඩු තීන්දුවත් සමඟ, ගම්මන්පිල මහතාට එරෙහිව පැවති දිගුකාලීන නීතිමය ක්‍රියාදාමය නිමාවට පත්වනු ඇත.

කාලීන පුවත්