ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් හෙවත් වාස්තු විද්‍යාඥයන් වෙතින් ඉටු වන මෙහෙය සුළු පටු නැත.ඒ ඔවුන් තමන් උගත් විද්‍යා තාක්ෂණික දැනුම් පදනම් කර ගනිමින් එම කටයුතු වල යෙදෙන බැවිනි.එහෙත්, එසේ තැනූ ගොඩනැඟිලි පරීක්ෂාවට වාස්තු වේදීන් නමින් හැඳින්වෙන තවත් පිරිසක් ඒ ඉදි කිරීම් වල නුගුණ ඇතැයි පවසමින් ඒවා කඩා දැමීමට අණ කරන අවස්ථා ද දිනෙන් දිනම වැඩි වෙමින් තිබේ.මෙය වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන තත්වයකි.මෙවැන්නවුන් නිසාම වර්තමානයේ ගුප්ත ශාස්ත්‍ර යනු ජනතාවට බිය ගෙන දෙන විෂයයක් බවට පත් වී තිබේ. ඊට හේතුව එම පැරණි ශාස්ත්‍රයන් පිළිබඳ විධිමත් දැනුමක්, අවබෝධයක් සහ අත්දැකීම් නොමැති පුද්ගලයන් එම ශාස්ත්‍රයන් සම්බන්ධ ප්‍රවීණයන් සේ කටයුතු කිරීම ය. එමෙන්ම ඔවුන් එසේ ගුප්ත ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ හුදෙක් ශාස්ත්‍ර සහ සිද්ධාන්ත විරෝධී වුව ද ඔවුන්ගෙන් සේවය ලබා ගන්නා සාමාන්‍ය ජනතාව ඒ බවක් නොදනිති.ඒ අනුව ඔවුන් විසින් ඇතිකරනු ලබන මානසික බලපෑම් මුල් කොට ජීවිත හානි පවා සිදුවන අවසථා බහුල වෙමින් තිබේ.අප ගේ වැටහීම අනුව මොවුන් ගෙන් සැලකිය යුතු පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණ ජනතාව සූරා කන්නෝ ය.
පසුගිය දිනෙක මැදිවියේ යුවළක් මා හමුවීමට පැමිණියේ තමන් විසින් ඊට දෙවසරකට ඉහත තනා නිම කළ දෙමහල් නිවසේ වාස්තු දෝෂ ඇති බවක් පවසමිනි.එහෙත් එසේ එම නිවසේ වාස්තු දෝෂ ඇති බව තහවුරු කර ගන්නා ලද්දේ කෙසේ දැයි මා ඔවුන්ගෙන් ඇසූ විට ඔවුන් කියා සිටියේ මෑතක දී තම නිවසට පැමිණි වාස්තු විද්‍යාව දත්අයකු එම නිවසේ “ද්වාර වේධ දෝෂ” නම් තත්වයක් ඇති බැවින් එහි දොර ජනෙල් කිහිපයක් කඩා වෙනස් කළ යුතු බවත් කීම මත තමන් දැඩි මානසික කම්පනයකට පත්වහිඳින බවකි. එමෙන්ම තමන් ඒ නිවස තනන ලද්දේ බැංකුවකින් ගත් ණය මුදලකින් බවත් මේ වන විට එම ණය මුදල ඊට අදාළ පොලිය ද සමඟ මාසික වාරික වශයෙන් ගෙවනබවත් කී එම යුවළ තවදුරටත් කියා සිටියේ එවන් තත්වයක් යටතේ නැවත එම නිවසේ දොර ජනෙල්, උළුවහු වෙනස් කිරීමට තරම් ආර්ථික ශක්තියක් තමන් තුළ නොමැති බවකි.
එම වාස්තු පරීක්ෂාව කළ පුද්ගලයා කවරකු වුව ද ඔහු ඒ නිවස සම්බන්ධ ද්වාර වේධ දෝෂ පිළිබඳ විස්තර කිරීමට පෙර එහි හිමිකරුවන් සහ එහි වාසය කරන්නවුන් සම්බන්ධ තතු විමසා දැනගත යුතුව තිබිණි. ඊට හේතුව ඉහත සඳහන් සකල විධ ගුප්ත ශාස්ත්‍ර සියල්ල මිනිසාගේ යහපැවැත්ම උදෙසා මිස මිනිසාගේ විනාශය උදෙසා බිහි වූ ඒවානොවන බැවිනි.
බටහිර වාස්තු විද්‍යාව පසෙක තිබියදී භාරතීය වාස්තු ශාස්ත්‍රය යනු, සාම්ප්‍රදායික හින්දු ගෘහ නිර්මාණ ශිල්පයකි.භූමිය,ජලය,වායු,අග්නි අකාශ යන භෞතික පදාර්ථ සුසංයෝගයෙන් වාස්තු ශාස්ත්‍රය නිර්මාණය වී ඇත්තේ වසර දහස් ගණනක් අතීතයට දිව යන පරම්පරා ගත ඥානයක් හෙවත් සාමූහික විඥානයක ප්‍රතිඵලයක් ලෙසිනි.යම් ඉදිකිරීමක මූලික සැලසුම, වින්‍යාසය, මිනුම්, භූමිය පිළියෙල කිරීම, අවකාශය සංවිධානය කිරීම සහ, අවකාශීය ජ්‍යාමිතිය යන්නෙහි මූලධර්ම වාස්තු ශාස්ත්‍රයන්හී දී විමසා බැලෙයි.
ඕනෑම ගුප්ත ශාස්ත්‍රයක් මගින් මිනිසාට යහපත සේම අයහපත සැලසෙන කරුණු ඒ ශාස්ත්‍රඥයා හමුවේ දර්ශනය වීමට පුළුවන. එහෙත් ඒවා තමන්ගේ සේවාදායකයාට ‘පොල්ලෙන් ගැසුවාක් මෙන්’ ඉදිරිපත් කිරීම එම පැරණි ගුප්ත ශාස්ත්රවලට කරන නිගරුවකි. එහිදී එම කරුණු සේවාදායකයාට පහදා දීමට පෙර ඔවුන්ගේ සමාජ, ආර්ථික සාධක ද ඒ ශාස්ත්‍රඥයා විසින් විමසා දත යුතුය.
ඉහත සඳහන් ශාස්ත්‍රඥයා කවරකු වුව ද ඔහු ද්වාර වේධ දෝෂ යන්නෙන් දක්වා ඇත්තේ නිවසක උළුවහු තැබීම සම්බන්ධ දෝෂ තත්ත්වයන් ය. ඒ ද්වාර වේධ දෝෂ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළ හැකි මුත් එය වඩාත් සරල ලෙසින් ඔබ වෙත ගෙන ඒමට මම අදහස් කරමි.
කිසියම් නිවසකට ඇතුළු වන ප්‍රධාන දොරටුව ඒ නිවසින් පිටවන දොරටුවට හෙවත් පෑල දොරට සෘජුව දිස්වන වන හෙවත් සම්මුඛ වන සේ පිහිටීම ප්‍රධාන ද්වාර වේධ දෝෂයකි. නිවසක් හෙවත් කුටුම්භයක් යනු අභ්‍යන්තරයක් සහිත ගොඩනැගිල්ලක් විය යුතු ය. නමුදු කිසියම් නිවෙසක ඉදිරිපස දොරටුවෙන් බැලූ විට එහි පිටුපස දොරෙන් නිවසේ පිළිකන්න දිස් වේ නම් එය අභ්‍යන්තරයක් නොමැති නිවසකි. නිවාස ඉදිකිරීමේ දී බලපාන මෙම දෝෂය පොදු ජනතාව භාවිත කරන විවෘත ගොඩනැගිලි සම්බන්ධ දෝෂයක් සේ සලකනු නොලැබේ. ඒ අනුව මෙම ද්වාර වේධ දෝෂ ඇතුළු සියලු වාස්තු දෝෂ ඒ ඒ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් බලපාන බව පැහැදිලිවම කිව යුතු ය.
පැරණි වාස්තු විද්‍යා සිද්ධාන්ත අනුව මෙම ද්වාර වේධ දෝෂ දහ අටකි. ඒවා ඉතා කෙටියෙන් සරලව මෙසේ විස්තර කළ හැකිය.
01. මාර්ග වේධ දෝෂය:
කිසියම් නිවසක ප්‍රධාන දොරටුව දෙසට යොමු වූ මාර්ගයක් පිහිටා තිබීම මෙනමින් හැඳින්වෙයි.
02.වෘක්ෂ වේධ දෝෂය:
නිවසේ ප්‍රධාන දොරට මුහුණ ලා වදුල හෙවත් අඳුර සහිත වෘක්ෂ පිහිටා තිබීම මෙනමින් හඳුන්වනු ලැබේ.
03. කදම් වේධ දෝෂ:
නිවසේ ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් මඩ වගුරක්, වළක් පිහිටීම කදම් වේධ දෝෂය නම් වෙයි.
04. ජල නිර්ගමන වේධ දෝෂය:
නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට පිටාර ගැලිය හැකි වංගු සහිත ජල මාර්ගයක් පිහිටීම මේ නමින් හඳුවනු ලැබේ.
ඉහත සඳහන් ආකාරයට නිවස ඉදිරියේ ළිඳක්, දේවාලයක්, ස්මාරකයක්, සොහොන් බිමක්, මංසන්ධියක්, වෙනත් නිවසක් හෝ ඉඩමක මුල්ලක් පිහිටීම, වෙනත් නිවසක ප්‍රධාන දෙරටුවක්, වැසිකිළියක්, කසළ රඳවනයක්, ගව, ඌරු, කුකුළු කොටු, රෙදි අපුල්ලන ස්ථානයක්, උළු, ගඩොල් පෝරණු, ගණිකා නිවාස, යාචක ස්ථාන තිබීම සේම නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරියේ රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ මන්දිර තිබීමත් නුසුදුසු බව පැරණි සෘෂි මතයයි.ප්‍රායෝගික වශයෙන් වුව මේවායේ ඇති ගැටළුකාරී බව ඔබට වැටහෙනු ඇත.
ඉහත සඳහන් ද්වාර වේධ දෝෂ පැරණි වාස්තු විද්‍යා නම් ගුප්ත විෂය පථයට සම්බන්ධ නිසා ඒ කරුණු දෙස ගුප්තවාදී මුහුණුවරකින්ම බැලීම අප සමාජයේ බොහෝ දෙනකු තුළ පවතින සුවිසල් දුර්වලකමකි. එනිසාම ඒ පිළිබඳ හයක් හතරක් නොදත් වංචනිකයෝ මෙම ශාස්ත්‍ර අවභාවිත කොට එමගින් අසරණ ජනතාවගේ කනකර, ඉණ ඉහ පමණක් නොව ඉහ මොළ ද සූරා කති.
ඉහත සඳහන් ද්වාර වේධ දෝෂ වලින් දහ අටවැන්න බ්‍රහ්ම වේධ දෝෂයයි. එනම් නිවසේ ප්‍රධාන උළුවස්ස තබන ආකාරයයි. එහෙත්, එම දෝෂ අසුබ ලෙස දක්වා ඇත්තේ නිවාස සම්බන්ධයෙන් පමණි. විහාර, දේවාල ආදිය සම්බන්ධයෙන් එය සුබ තත්වයකි.ඉහත සඳහන් දහඅට වැදෑරුම් ද්වාර වේධ දේෂ සම්බන්ධ ගුප්ත පසුබිම පසෙක ලා ඒවා දෙස යථාර්ථවාදී ලෙස බලන විට ද එහි යම් නොගැළපීම් තත්වයක් ඔබට පෙනෙනු ඇත. නමුදු ඉහත සඳහන් සියලු ද්වාර වේධ දෝෂ පිටුදැකීම ප්‍රායෝගික ලෙස අපහසු බව ද ඔබට හැඟෙන්නට පුළුවන.
ඒ සඳහා ඔබ කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් විධිමත් ශාස්ත්‍රීය හැදෑරීමක් කළ අත්දැකීම් බහුල පළපුරුදු වාස්තු විද්‍යාඥයකුගේ සේවය ලබා ගැනීම ය. මෙහි දී අද සමාජයේ බොහෝ දෙනකු නොදත් රහසක් ද විස්තර කළ යුතුය. එනම් මෙම ද්වාර වේධ දෝෂ ඇතුලු අයහපත් වාස්තු ලක්ෂණවල නපුර අයහපත පිටු දකින සුබ යහපත් ලක්ෂණ ද ඒ නිවසේම තිබීම ය. ඒ අනුව ඉහත සඳහන් මතු පිටින් පෙනෙන අසුබ ලක්ෂණ ඉබේටම නිශේධ වී යයි. ඊට අමතරව මේ සියලුම වාස්තු දෝෂ මගහරවා ගැනීමේ පහසු සරල ක්‍රම සේම ඒ සඳහා වන එම ව්‍යුහයන් වෙනස් කර ගැනීමේ විකල්ප ක්‍රම ද පවතින බැවින් වාස්තු දෝෂ ඇතැයි නිවාස කඩා දැමීම සොටු ගලන නිසා නාසය කපා දැමීම වැනි බලවත් අඥානකමක් සේම අපරාධයක් බව ද විශේෂයෙන් කිව යුතුව තිබේ.
හේම ශ්‍රී අමරසිංහ