වාස භූමිය අනුව සුනඛ මිතුරන් හඳුනා ගනිමු

මිනිසා ගේ සමීපතම මිතුරා සුනඛයා බව ඉතා පැහැදිලි ය.එනිසාම නවීන සමාජය සුනඛයන් පිළිබඳව පෙර නොවූ විරූ අවධානයක් යොමු කරති.එනිසාම ඒ සම්බන්ධ වෙනම විෂය පථයන් ද නිර්මාණය වී තිබේ.අප සමාජයට කෙසේ වත් නුහුරු සුනඛවේදය(Cynology ) ද ඉන් එක් විෂයකි.ලොව පුරා ඇති සුනඛ විශේෂ විවිධාකාරයෙන් කොටස් වලට බොදා හඳුන්වනු ලැබේ.වාසස්ථානය අනුව සුනඛයන් බෙදීම ද ඒ අතුරින් එකකි.දැන් අපි එම වර්ගීකරණය යටතේ සුනඛයන් හඳුනා ගැනීමට වෙර දරමු.

හිමිකරුවන් සහිත සුනඛයෝ:

මොවුහු බොහෝ විට නිවාස වෙනත් ආයතන සතුව එක් පුද්ගලයකුගේ පවුලක හෝ කණ්ඩායමක භාරකාරත්වය යටතේ ජීවත් වෙති. එම නිවැසියන් හෝ කණ්ඩායම් සාමාජිකයන් හට අතිශයින් අවනත වන අතර ඔවුන් සමඟ එක්ව විසීමට පෙළඹී සිටිති.මිනිසුන් හා එක්ව සහයෝගීව සමූහ ක්‍රියාකාරකම් වලට ද යෙදෙති.

නිදහසේ හැසිරෙන හිමිකරුවන් සහිත සුනඛයෝ:

අප රටේ ජීවත් වන සුනඛයන්ගෙන් වැඩි කොටස මෙම ගණයට අයත් වන අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී මොවුහු ‘ගම් බල්ලන්’ ලෙස හැඳින්වෙති. නිවාස සහ වෙනත් ආයතන වලට සෘජු සබඳතාවක් නොමැති නමුදු ඔවුන්ට හිමිකරුවන් හිඳින බව පැවසේ.අප රටේ ගම්බද කල්ලි ගැසී මඟ තොට සිටින සුනඛයන්ගෙන් වැඩි කොටස මේ ගණයට අයත් වෙති. එහෙත් මිනිසුන් විසින් හීලෑකර නොගැනුණු බැවින් මොවුන් මිනිසුන් හා එක්වසාමූහික ක්‍රියාකාරකම් වලට නැඹුරු වනුයේ අඩුවෙනි. හිමිකරුවන් සිටිය ද මොවුහු තමන්ගේ පාඩුවේ ජීවත් වෙති.

නිදහසේ සැරිසරන හිමිකරුවන් නොමැති සුනඛයෝ:

බොහෝ විට නාගරික කලාප වල සැරිසරන මෙම සුනඛ විශේෂය නාගරික නිදහසේ සැරිසරන සුනඛයෝ (Urban free rang dogs )යනුවෙන් ද හැඳින්වෙයි. එහෙත්, නාගරිකව දක්නට ලැබෙන සෑම වීදි සුනඛයකු ( Stray dog) මෙම ගණයට අයත් නොවන බව ද කිව යුතුය.දඩාවතේ යන සුනඛයන් වදන අයාලේ යන සුනඛයන් (Roaming dog)යනුවෙන් ද මොවුන් හැඳින්වෙන මුත් මොවුන්ගේ චර්යාවන් මුල්කොට කරනු ලැබූ නවතම විශ්ලේෂණයන්හි සනාථ වී ඇත්තේ එම යෙදුම් ද විද්‍යාත්මක නොවන බවය. ඊට හේතුව මිනිසා සමඟ පවත්නා සබැඳියාව කෙසේ වෙතත් ඔවුන් තමන්ට ආවේණික වූ බිම් සීමාවක්( Terrtory ) තුළ දිවි ගෙවීමය. එහෙත් හිමිකරු සොයා ගැනීමට වඩා මානව ජනාවාස ආශ්‍රිතව කණ්ඩායම් වශයෙන් එක්ව ජීවත් වීමට දක්වන උනන්දුව මත සුනඛයන් පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණයේදී වෙනම ප්‍රභේදයක් වශයෙන් හඳුන්වනු ලබයි. මෙම වර්ගය එක්තරා අන්දමට මාපිය භාරකාර රැකවරණ නොමැති වීදි දරුවන්ට සමානය.

හීලෑ නොමැති සුනඛයෝ:

කණ්ඩායම් වශයෙන් මිනිස් වාසයන් අතර ජීවත් වන නමුදු මොවුන් මිනිසුන් සමඟ එක්වීමට අකමැත්තක් දක්වන බවක් කියති. එයට ජානමය හේතුන් ද බලපාන්නට ඇතැයි සත්ව විද්‍යාඥයෝ මත පළ කරති. ඉංග්‍රීසි බසින් Feral dog යන වදනින් හැඳින්වෙන අන්දමටම ප්‍රචණ්ඩශීලී වන මොවුන්ගේ පැටවුන් කුඩා කාලයේදීම ගෘහස්ථ ජීවිතයකට හුරු කරවා ගත හැකි බව ඒ සම්බන්ධ පරීක්ෂණයන්ගෙන් හෙළි වී තිබේ.
නිරීක්ෂණ මඟින් අනාවරණය වූ කරුණු අනුව මෙම සුනඛ වර්ගීකරණයට අයත් සුනඛයෝ ශ්‍රී ලංකාවේ දක්නට නොලැබෙති. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමට ප්‍රථම කොළඹට උතුරින් පිහිටි ගම්පහ දිස්ත්‍රික්කයේ බටහිර මායිම වූ මුතුරාජවෙල ප්‍රදේශය තුළ දැවැන්ත නාගරික කැලිකසල රඳවන කිහිපයක් තිබිණ.

එනිසාම ඒ ආශ්‍රිතව සුනඛ ගහනයේ ද ශීඝ්‍රවැඩිවීමක් දැකිය හැකි විය. කසල රඳවන ආශ්‍රිතව ජීවත් වූ ඔවුනට මිනිස් ඇසුරක අවශ්‍යතාව නොදැනෙන බැවින් දෝ ඔවුන් මෙම ගණයට අයත් වේ යන සැකය එකල නිරීක්ෂකයන් තුළ ද ජනිත විය. ඒ අනුව අවස්ථා ගණනාවකදීම ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කළ මුත් ඉහත සඳහන් හීලෑ නොමැති සුනඛයන් කෙරෙහි දක්නට ලැබෙන ප්‍රචණ්ඩශීලී බව මෙම සුනඛයන් කෙරෙහි දක්නට නොලැබිණ. ඔවුන් කෙරෙහි දක්නට ලැබුණු විශේෂත්වය වූයේ එම නිරීක්ෂකයන් වෙතින් ලැබුණු ආහාර අනුභව කිරීමේදී ඊට කෘතවේදී බව පළ කරනු පිණිස සිදුකරන සාමාන්‍ය සුනඛ චර්යාවක් වන වලිගය වැනීමෙන් වැළකී සිටීම පමණි. කෙසේ හෝ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කොට කෙටි කලක් තුළ මොවුන්ගෙන් වැඩි පිරිස එහි වාහන වලට හසුවී මිය ගියහ.

අප රටේ තත්ත්වය කෙසේ හෝ මෙම වර්ගීකරණයට අයත් සුනඛයන් ඉන්දියාවේ දක්නට ලැබෙන බව පැවසේ. එහි නෙරපන ලද සුනඛයන් (Pariah dog) නමින් හැඳින්වෙන සුනඛ කොට්ඨාසයට මෙම හීලෑ නොමැති සුනඛයන් ද ඇතුලත්ව ඇතැයි කියනු ලැබේ.ඒ කෙසේ වෙතත් අතීත භාරතයේ තිබූ බවට බෞද්ධ සාහිත්‍යයෙන් පවා තොරතුරු අනාවරණය වන අමුසොහොන් ආශ්‍රිතව එහි මළකුණු කමින් ජීවත් වූ සුනඛ කොට්ඨාශය මොවුන් විය හැකි බව නිරීක්ෂක අනුමානයයි. එහි විශේෂත්වය වනුයේ බෞද්ධ සාහිත්‍යයේ පන්සිය පනස් ජාතකයෙහි එන කුක්කුර ජාතකයට අනුව බෝසතාණන් වහන්සේ ද පෙර සිදු කරන ලද මහා අකුසල කර්මයක් නිසා එම වර්ගයේ සුනඛයෙකුව ඉපිද සිටි බවසඳහන් වීමය.

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය