ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන්නේ එවරස්ට් කඳු මුදුන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එහි උස අඩි 29,000 කට (මීටර 8,850 කට) ආසන්න ය. සෑම වසරකම සිය ගණනක් කඳු නගින්නෝ මෙම කන්ද තරණය කිරීම සඳහා නේපාලයට පැමිණෙති. ජීවිතයේ එක් වරක්වත් එවරස්ට් කඳු ශිඛරය තරණය කිරීමට ලැබුණහොත් එය විශාල ජයග්‍රහණයක් ලෙස මේ අය සලකති. එය එතරම්ම දුෂ්කර, ජීවිතය පරදුවට තබා යා යුතු ගමනක් වන බැවිනි. එසේ තිබිය දී 30 වතාවක් එවරස්ට් තරණය කළ පුද්ගලයකු සිටින බව කිවහොත් සමහර විට ඔබ තුළ පුදුමයක් ඇති වනු ඇත. ලොව වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කර ඇති පුද්ගලයා ඔහු යි. ඔහුගේ නම කාමි රීටා ෂර්පා ය.
ඔහු 30 වැනි වතාවට කඳු මුදුනට ළඟා වූයේ පසුගිය 22 වැනි දින යි. කාමි රීටා 29 වැනි වතාවට කන්ද තරණය කර ඒ වනවිට ගතව තිබුණේ දින 10 ක් පමණි. දින 10 ක් තුළ දෙවරක් එවරස්ට් තරණය කිරීම සැබැවින්ම බොහෝ කඳු නගින්නන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති කළ කාරණයක් වූවාට සැක නැත.
කාමි රීටා එතරම්ම තරුණ වයසේ පසුවන්නකු ද නොවේ. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 54 කි. ඔහු මේ ආකාරයෙන් නිතර දෙවේලේ එවරස්ට් තරණය කරන්නේ සැබැවින්ම එය ඔහුගේ රැකියාව නිසා ය. කාමී රීටා එවරස්ට් තරණය සඳහා පැමිණෙන කඳු නගින්නන්ගේ මාර්ගෝපදේශකයකු ලෙස කටයුතු කරන්නෙකි. “කෙනෙකුගේ සිහිනය තව කෙනෙකුගේ රැකියාවයි” යන අපූරු කතාවක් ඔහු වරක් පවසා තිබිණි.
කාමි රීටා අයත් වන්නේ ෂර්පා නමින් හැඳින්වෙන ජන කොට්ඨාශයට යි. එය නේපාලයේ හිමාල අඩවියේ ජීවත් වන ජන කොට්ඨාශයකි. අතීතයේ සිටම මෙම ජන කොට්ඨාශයට අයත් පුද්ගලයන් කඳු නගින්නන්ගේ සහයකයන් සහ මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කර තිබේ. ලෝකයේ පළමු වතාවට එවරස්ට් තරණය කළ නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි ගේ සහයකයා වූයේ ද ෂර්පා කෙනෙකි. ඔහුගේ නම ටෙන්සින් නෝර්ගේ ය. හිලරි සහ නෝර්ගේ එවරස්ට් තරණය කළේ 1953 වසරේ යි. නෝර්ගේ ද කාමි රීටා ගේ ගමේම උපන් කෙනෙකි. ඔවුන්ගේ ගමේ නම තේම් ය. ටෙන්සි්න් නෝර්ගේ 1986 වසරේ ජීවිතයෙන් සමු ගත්තේය.
කාමී රීටා ගේ පියා මෙන්ම සොහොයුරා ද මෙම රැකියාවේ නිරත වූවන් ය. කාමි රීටා ද එවරස්ට් මාර්ගෝපදේශකයකු බවට පත් වූයේ ඔවුන්ගේ අඩි පාරේ යමිනි. ඔහු පළමු වරට කඳු මුදුන තරණය කළේ 1994 වසරේ යි. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 24 ක් විය. ඔහු වරක් පවසා තිබුණේ මෙම අනතුරුදායක රැකියාව තෝරා ගත්තේ දිළිඳුකම නිසා බවයි. “ අපි දුප්පත් මිනිස්සු. අපිට හොඳ අධ්‍යාපනයක් ලැබුණේත් නැහැ. ඒ නිසා අපිට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. කොච්චර අනතුරුදායක වුණත් අපිට කඳු නගින රස්සාව තෝර ගන්න සිද්ධ වුණා” යයි ඔහු පවසා තිබිණි.
මෙවැනි කඳු තරණය කිරීමේ දී කායික ශක්තිය මෙන්ම මානසික ශක්තිය ද අතිශයින් වැදගත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කන්ද තරණය කරන අතර බොහෝ දෙනා අසනීප වෙති, සමහරු මරණයට පවා පත්වෙති. මේවා දකිද්දී කඳු නගින්නන් බියට සහ අධෛර්යයට පත්වන බව කාමි රීටා පවසයි. ඒවායින් නොසැලී ඉදිරියට යාමට හැක්කේ දැඩි මානසික ශක්තියක් ඇති අයට පමණක් බව ඔහු සඳහන් කරයි. පසුගිය වසරේ එවරස්ට් කඳු නගින්නන් 18 දෙනෙකු මරණයට පත්ව තිබිණි. 2023 සැලකෙන්නේ කඳු නගින්නන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත් වූ වසරක් ලෙසිනි.
කාමි රීටා මෙම රැකියාව තෝරා ගෙන තිබුණේ ඔහුගේ පියාගේ අඩි පාරේ යමිනි. නමුත් තම දරුවන් මෙම රැකියාව සඳහා යොමු කිරීමට අදහසක් නැති බව වරක් ඔහු පවසා තිබිණි. කාමිට සහ ඔහුගේ බිරිඳ වන ලක්පාට දරුවන් දෙදෙනකු සිටින අතර ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට මෙම යුවළ පියවර ගෙන තිබේ. තමුන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නේ ඔවුන්ට වෙනත් රැකියා තෝරා ගැනීමට හැකි වනු පිණිස බව ද කාමි සඳහන් කර තිබිණි.
කාමි මෙම අනතුරුදායක රැකියාව කරනවාට ලක්පා කැමැති නැත. වරක් ඇය මෙසේ සඳහන් කර තිබුණාය. “මම හැම තිස්සෙම එයාට කියනවා වෙන රස්සාවක් හොයා ගන්න කියලා. පොඩි ව්‍යාපාරයක් හරි පටන් ගන්න පුලුවන්නෙ කියලා මම කියනවා. ඒත් එයා මම කියන දේට පොඩ්ඩක්වත් ඇහුම්කන් දෙන්නෙ නැහැ”.
සෑම වසරකම එවරස්ට් නැගීමේ වාරය යෙදෙන්නේ අප්‍රේල්-මැයි මාසවල ය. කන්ද නැගීම සඳහා වඩාත්ම සුදුසු කාලගුණික තත්ත්වය පවතින්නේ මෙම කාලයේ යි. මේ වසරේ එවරස්ට් වාරය තුළ කාමි රීටා දෙවරක්ම එය තරණය කළේය. මෙම වාරය තුළ නැවත කන්ද නැගීමට ඔහු තුළ අදහසක් නැති බව සඳහන් වේ.
නිහාල් පීරිස්