වැඩිහිටි පිරිමින්ගේ සහ පිරිමි දරුවන්ගේ හර්නියා

harniya

අප හර්නියා ලෙස වැඩිපුරම කතා කරන්නේ උදරයේ සහ ඒ අවට බාහිරින් හට ගන්නා හර්නියා ගැන ය. නමුත් සිරුරේ ඕනෑම තැනක හර්නියා හට ගත හැකිය. සිරුර ඇතුළත පවා හර්නියා ඇති වේ. කෙසේ වුවත් මීට පෙර අවස්ථාවක අපි කාන්තාවන්ට වැළඳෙන හර්නියා ගැන කතා කළෙමු. අද අවධානය යොමු කරන්නේ පිරිමින්ට සහ ළමයින්ට වැළඳෙන හර්නියා පිළිබඳවයි.අලුත උපන් නවජ බිළිඳුන්ට ද හර්නියා ඇති විය හැකිය. මේවා හඳුන්වන්නේ umbilical hernia ලෙසිනි. මෙම හර්නියාව නාභිය අසලින් මතුවේ.

නාභිය යනු පූර්ව උදර බිත්තියේ ඇති දුර්වල ස්ථානයකි. කුඩා දරුවන් හඬන විට සහ සම මතුපිට උදර අභ්‍යන්තරයේ පීඩනය වැඩි වන අවස්ථාවලදී කුඩා ගැටිත්තක් ලෙස හර්නියාව පිටතට නෙරා එයි. එය දරුවාට වයස අවුරුද්දක් පමණ වන විට ඉබේම නැතිවී යනු ඇත. නමුත් ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වීම අවශ්‍ය වන්නේ ඇතැම් විට සැත්කමක් කිරීමට සිදුවිය හැකි නිසාය.

ළදරුවන්ගේ ඉකිලි ප්‍රදේශයේ සිට වෘෂණය දක්වා එන හර්නියා විශේෂයක් තිබේ. Inguinal hernia නමින් හඳුන්වන මෙය ගැහැනු දරුවන්ට හැදෙන්නේ කලාතුරකිනි. හැදුණත් එය ඉකිලි ප්‍රදේශයට සීමා වෙයි.පිරිමි දරුවන් මවගේ කුසේ සිටියදී වෘෂණ වැඩෙනුයේ උදර අභ්‍යන්තරයේ ය. උපතත් සමඟ වෘෂණ කෝෂ වෙත වෘෂණ ගමන් කරයි. මේ ගමන් කරන මාර්ගය දුර්වල වූවකි. ඒ හරහා උදර අභ්‍යන්තරයෙහි තිබෙන පරිතාන තරලය වෘෂණ කෝෂයේ එකතු විය හැකිය. එවිට එක වෘෂණයක් විශාල වෙයි. Inguinal hernia වෙහි ප්‍රභේදයක් වන මෙය fluid herniya නම් වේ. ශල්‍ය වෛද්‍යවරුන් විසින් ඉකිලිය ප්‍රදේශයේ ශල්‍යකර්මයක් කිරීම තුළින් මෙය ඉවත් කරනු ලබයි. නමුත් ඉබේමත් මෙය නැති වී යන නිසා වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ලබා ගැනීම සුදුසු ය.
Inguinal hernia වල භයානක ප්‍රභේදය වන්නේ වෘෂණය පැමිණි පාර දිගේ බඩ වැලක් ද ඉකිලිය දක්වා පැමිණීමයි.දරුවා කහින අවස්ථාවලදී මුලදී මෙය මතු වන අතර පසුව යට යයි. එම අවස්ථාව Reducible hernia ලෙස හඳුන්වයි.

තව ටික කලක් ගතවූ විට දෙවන අවස්ථාව ලෙස එය පිටතට පැමිණි පසු ඇතුලට නොගොස් එලෙසින්ම පැවතිය හැකිය. මේ තත්ත්වය හඳුන්වන්නේ Irreducible hernia ලෙසිනි. හර්නියාව මෙම දෙවන අවස්ථාවට පැමිණියහොත් හදිසි ශල්‍යකර්මයක් කිරීම අවශ්‍ය වේ. මෙම හර්නියාව හඳුනා ගැනීමේ ලක්ෂණය වන්නේ වෘෂණය විශාල වීම හෝ ඉකිලි ප්‍රදේශයේ ගැටිත්තක් මතුවීම ය. මෙය වෙරළු ගෙඩියක තරමේ සිට දෙහි ගෙඩියක්, දොඩම් ගෙඩියක් තරම් විශාල ගැටිත්තක් වීමටද පුළුවන. නමුත් එපමණ විශාල වන තුරු සිටීම අවදානම් ය. ඉක්මනින් ශල්‍යකර්මයක් නොකළොත් බඩවැල් අවහිර වීම සිදුවිය හැකිය. එවිට බඩ පුරවා දැමීම, බඩේ කැක්කුම වැනි රෝග ලක්ෂණ මතු වනු ඇත. එලෙස බඩවැල්වල අවහිර වීමක් සිදු වුවහොත් රෝහල්ගත කර වහා සැත්කමක් කළ යුතු වෙයි. නැතහොත් බඩවැල් නරක් වී ඒවායේ විෂ ශරීරගත වීම තුළින් රෝගියාගේ ජීවිතයට ද තර්ජනයක් මතු විය හැකිය.

අප මේ කතා කළේ පිරිමි දරුවන්ට වැළඳිය හැකි  Inguinal hernia ගැන ය. නමුත් වැඩිහිටි පිරිමින්ට ද මෙම රෝගය හටගැනීමට බැරිකමක් නැත. කාන්තාවන්ට මෙම හර්නියා වර්ගය හට ගන්නේ කලාතුරකිනි. අධික දුම්පානය, කලක පටන් පවතින කැස්ස, මළබද්ධය, මුත්‍රා පහ කරන විට තටමන්නට සිදුවීම, බර ඔසවන රැකියාවල නිරත වීම වැනි තත්ත්වයන් තිබෙන පිරිමින්ට මෙම හර්නියා වර්ගය හට ගැනීමේ අවදානමක් තිබේ.
මෙහිදී එම වැඩිහිටි පිරිමින් වෙතින් දැකිය හැකි මුල්ම ලක්ෂණය වනුයේ ඉකිලියෙන් එන ගැටිත්තකි. සිටගෙන සිටින විට ගැටිත්ත ලොකු වන අතර හාන්සි වූ විට නැති වී යයි. මුල් කාලයේදී සැත්කමක් නොකළොත් වෘෂණ කෝෂය දක්වා විහිද යනු ඇත. මෙය දිගටම පැවතියහොත් රෝගියාගේ වෘෂණ කෝෂය අඩියක් හමාරක් වුවත් දිගු වීමට ඉඩ ඇත. මේ තරම් විශාල වූ විට එය රෝගියාට මෙන්ම ශල්‍යකර්මය කරන වෛද්‍යවරුන්ට පවා මහත් අපහසුතාවයක් ගෙන දෙයි.

වයස අසූව පමණ වන කාලයේදී පිරිමින්ට හටගත හැකි තවත් හර්නියා විශේෂයක් වන්නේ ඉකිලි දෙකේම හට ගන්නා ඉතා කුඩා ගැටිති දෙකකි. මෙය හාන්සි වී සිටින විට උඩට මතු නොවන්නේ නම් සැත්කම් අවශ්‍ය නොවේ.
නව යොවුන් වියේ පිරිමි දරුවන්ගේ නාභියත් පපුවත් අතර හරි මැද ඉර කොටසේ ද හර්නියා විශේෂයක් හට ගනියි. Epigastric hernia නම් වන මෙය තෙල්වලින් පිරී පවතී. මෙහි වේදනාව දැනෙන මුත් ඉතා කුඩා ගෙඩියක් නිසා අතට හසු නොවී තිබිය හැකිය. ඒ නිසා පපුවට පහළින් හරි මැදින් දැනෙන වේදනාව ගැස්ට්‍රයිටිස් රෝගය ලෙස සමහරු වරදවා වටහා ගනිති. ඒ අනුව ගැස්ට්‍රයිටිස්වලට ගනු ලබන ඖෂධ ද පාවිච්චි කරති. වේදනාවක් නොමැති නම් ගැටිත්ත පමණක් තිබෙනවා නම් මෙය තිබීමේ ගැටලුවක් නැත.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුධීර හේරත්

ඉන්දු පෙරේරා

විනිවිද සායනය