මුත්‍රා අඩස්සිය හෙවත් මුත්‍රා කිරීමේ අපහසුතාවය අවුරුදු 50 – 60 ඉක්මවූ වැඩිහිටි පිරිමින් අතර බහුලව දකින්නට ලැබෙන රෝග තත්ත්වයකි. පිරිමින් අතර බහුල වුවද මෙම රෝග තත්ත්වය කාන්තාවන් තුළත් ඇති නොවෙනවාම නොවේ.
මොන තරම් බහුල වුව ද අවාසනාවකට මෙන් මෙම රෝග තත්ත්වය වැළඳුණු මුල් කාලයේ දී කිසිවෙකුත් මෙය රෝගයක් යැයි සිතන්නේ නැත. මෙය වයසට යන විට ඇති වන සාමාන්‍ය තත්වයක් යැයි කියමින් බොහෝ දෙනෙක් නොතකා හරිති. නමුත් මෙම නොතකා හැරීම තුළ පසුවට බොහෝ කරදර ඇති වන්නට පුළුවන.
දැන් අපි මෙම රෝගයෙහි මුල් කාලයේදී දැකිය හැකි ලක්ෂණ පිළිබඳව සොයා බලමු.
මෙහි මූලිකවම දැකිය හැකි ලක්ෂණයක් වන්නේ මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වී වැසිකිළියට ගියත් එකවර මුත්‍රා පිට නොවීම ය. මෙහිදී මුත්‍රා කිරීම සඳහා තටමමින් යම් වෙහෙසක් දරන්නට සිදු වේ.
ඊළඟට මෙසේ වෙහෙස දරා එන මුත්‍රා ප්‍රවාහයද දුර්වල ය. එනම් මුත්‍රා විදින ආකාරයෙන් පිට නොවී දෙපා ළඟ වැක්කෙරෙන ආකාරයෙන් පිටවීමයි.
එසේම එක දිගට මුත්‍රා යාම සිදුවන්නේ ද නැත. එය කැඩි කැඩී නතර වෙමින් පිටවනු ඇත.
මෙසේ කැඩෙමින් යන මුත්‍රා ප්‍රවාහය පිටවූ පසුව ද මඳ වෙලාවක් යනතුරු බිංදු බිංදු පහ වීම සිදු විය හැකිය.
සමහර අයට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව නිතර දැනෙනු ඇත. ඒ අනුව රාත්‍රියට තුන් හතර වතාවක් පමණ මුත්‍රා පහ කිරීමට අවශ්‍ය විය හැකි ය. නමුත් මේ පවසන්නේ දියවැඩියා රෝගය පිළිබඳව නොවේ. දියවැඩියාව නැතිව වුවත් සමහරුන්ට මෙසේ නිතර මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය ඇති වන්නට පුළුවන.
සමහරුන්ට නින්දෙන් මුත්‍රා පිටවෙයි.
මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය ඇති වූ විට එය පාළනය කර ගන්නට බැරි වීම ද තවත් ලක්ෂණයකි. ඒ අනුව ඉබේ මුත්‍රා පිටවීමද සිදුවිය හැකි ය.
ඉහත සඳහන් කළේ මුත්‍රා පහ කිරීමේ අපහසුතාවය නමැති මෙම රෝගයේදී කෙනකු තුළ දැකිය හැකි මූලික ලක්ෂණයි. මේ ලක්ෂණ වැඩිපුරම දැකිය හැකි වන්නේ වයස 50 – 60 ඉක්මවූ අයගේ ය. එසේම පිරිමින් තුළ මේ තත්ත්වය වැඩි ය.
පිරිමින් තුළ මෙම රෝග තත්ත්වය ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව පිරිමින්ගේ මුත්‍ර නාලය දිගින් වැඩි වීම ය. එසේ ම පිරිමින්ට ආවේණික වූ පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන රෝග තත්ත්වයන් නිසාත් මේ අය තුළ මෙම රෝග තත්ත්වය බහුලව දැක ගන්නට ලැබේ.
විශේෂතම දෙයක් වන්නේ වැටීමක් හෝ කිනම් ආකාරයක වුවද හදිසි අනතුරකින් පිරිමියකුගේ ශ්‍රෝණි ප්‍රදේශයේ අස්ථි බිඳීමකට ලක් වුණොත් එවිට ද මුත්‍රා මාර්ගය තුවාල වීමට තිබෙන අවදානම වැඩි ය. එසේම මුත්‍රා මාර්ගයේ සිදුවන ආසාදන නිසාත්, කැතීටර දමන්නට යාමෙන් ඇතැම් විට තුවාල සිදුවීම නිසාත් මේ තත්ත්වය සුව වන විට කැළලක් ඇති වී එයින් නාල හැකිලීමක් සිදුවේ. මේ නිසා මුත්‍රා මාර්ගයේ අවහිරයක් ඇති වෙයි. මෙය සමහර අවස්ථාවලදී භයානක තත්ත්වයක් වීමට ද අවකාශ තිබේ.
පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මුත්‍රා නාලය ආරම්භ වන ස්ථානයේ ය. මෙම නාලය වටකරගෙන එම ග්‍රන්ථිය පිහිටා තිබේ. සාමාන්‍යයෙන් වයසට යන විට අපේ හැම ග්‍රන්ථියක් ම ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වීම සිදු වුවත් පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථිය වයසට යන විට ක්‍රමයෙන් විශාල වීමට පටන් ගනී. නමුත් මෙය හැම පිරිමියෙකුගේ ම එක හා සමානව සිදු වන්නක් ද නොවේ.සමහරුන්ගේ සුළු වර්ධනයක් සිදුවන අතර තවත් සමහරුන්ගේ විශාල වර්ධනයක් සිදු වන්නට පුළුවන.
මෙසේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වන විට එම ග්‍රන්ථිය තුළින් එන මුත්‍රා නාලය අවහිර වීමට ඉඩ තිබේ. නමුත් මෙය හැම පිරිමියෙකුටම සිදුවන තත්ත්වයක් ද නොවේ.
එසේම පුරස්ථි ග්‍රන්ථිය විශාල වූ අයට පමණක් ඇතිවන තත්ත්වයකුත් නොවේ. සමහර අවස්ථාවලදී පුරස්ථි ග්‍රන්ථිය තරමක් ලොකු අයගේත් මෙසේ මුත්‍රා නාලය අවහිර වීමට ලක්විය හැකි ය. එලෙස අවහිර වීමෙන් සිදු වන්නේ වයස්ගත වන විට මුත්‍රා පිට කිරීමේ අපහසුතා ඇති වීමයි. සාමාන්‍යයෙන් අවුරුදු 50 ඉක්මවූ පසු මේ අයුරින් පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීම ක්‍රම ක්‍රමයෙන් සිදුවිය හැකි ය. එසේම මෙසේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමේ දී එහි පිළිකා තත්ත්වයන් හට ගැනීමේ අවදානමක් ද ඇතැම් අවස්ථාවල පවතී.
මුත්‍රා පිට කිරීමේ අපහසුතා ඇති වන්නේ මුත්‍රා නාලයේ ඇතිවන ගැටලු නිසා පමණක්ම නොවේ. මුත්‍රා නිසි ලෙස පහ වීමට මුත්‍රාශයේ බිත්ති එම අවස්ථාවේ සංකෝචනයට, එනම් හැකිලීමකට ලක් විය යුතු ය. මුත්‍රාශයේ බිත්ති එලෙස සංකෝචනය වීමක් සිදු නොවුණොත්, මුත්‍රාශය පමණක් හොඳින් තිබීමෙන් මුත්‍රා නිසි ලෙස පහ වීම සිදු නොවේ.
එලෙස බිත්ති හොඳින් සංකෝචනය වීමට නම් හොඳ ස්නායු සැපයුමක් ද තිබිය යුතු ය. මුත්රාශයට සපයන ස්නායුවල රෝගී තත්ත්වයන් හෝ දුර්වලතා ඇති වූ විට ද එහි බිත්ති සංකෝචනය වීම සිදු නොවේ. මේ තත්ත්වය රෝගියාට දැනෙන්නේ මුත්‍රා පහ කිරීමේ අපහසුතාවක් ලෙසිනි.
මුත්‍රා පහ කිරීමේ අපහසුතාවය ඇතිවන හේතු රාශියක් තිබේ. එනිසා, ඉහත කී ආකාරයේ රෝග ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයක් තිබෙනවා නම් වහාම වෛද්‍යවරයකු හමුවීම වැදගත් ය. මෙහිදී එම අපහසුතාවය ඇති වීමට හේතුව වෛද්‍යවරයා විසින් පරීක්ෂා කරනු ඇත. ඒ හේතුව හඳුනාගෙන ඊට ප්‍රතිකාර කළ යුතු ය.
මේ සඳහා බලපාන හේතු රාශියක් තිබෙන අතර ඒ සෑම හේතුවකම පොදු ලක්ෂණයක් වන්නේ ඉහත කී අන්දමට දැනෙන මුත්‍රා පහ කිරීමේ අපහසුතාවයයි. හේතුව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම වඩාත් වැදගත් වන්නේ එනිසාය.
මේ තත්ත්වය නොසලකා සිටීමෙන් සිදුවන්නේ කුමක්ද?
මුත්‍රාශයේ අවහිරතාවයක් තිබෙන විට එම අවහිරතාවය කෙසේ හෝ මැඩපවත්වා ගනිමින් තමන්ගේ කාර්යය කරන්නට මුත්‍රාශය ආයාස දරයි .එසේ කිරීමේදී සිදුවන්නේ මුත්‍රාශයේ බිත්ති ඝන වීමකට ලක් වීම ය.
අධික රුධිර පීඩනය කාලයක් තිස්සේ තිබෙන කෙනෙකුගේ ලේ ගමනාගමනය නිසියාකාරයෙන් පවත්වා ගන්නට හෘදය වැඩි ආයාසයක් දරමින් ක්‍රියා කරයි. හෘදය එලෙස වැඩිපුර ක්‍රියා කිරීමේදී හෘදයේ බිත්ති ඝනවී අවසානයේ හෘදයට එම කාර්යය කරගන්නට නොහැකි වෙයි. මුත්‍රාශයටත් සිදුවන්නේ එයම ය.
තමන්ගේ අවහිරතාවය මැඩ පවත්වා ගැනීමට අධික ලෙස උත්සාහ දැරීම නිසා එහි බිත්ති ඝන වන විට බිත්තිවල සංයුතියේ වෙනස්කම් ඇතිවෙයි. මෙසේ කලක් ගතවීමේදී මුත්‍රාශ බිත්ති ඇදීමකට ලක්වේ.
මේ තත්වය නිසා ඊළඟට සිදු වන්නේ මුත්‍රා හිරවීමක් ඇතිවීම ය. එවිට මුත්‍රා පහ කළ විට මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් නොවී එහි ටිකක් ඉතිරි වේ. මේ තත්ත්වය ටිකින් ටික වැඩි වී මුත්‍රාශයේ විශාල මුත්‍රා ප්‍රමාණයක් රැඳී සිටීමට පටන් ගනියි.
සාමාන්‍යයෙන් අපේ මුත්රාශයට දැරිය හැකි මුත්‍රා ප්‍රමාණය මිලි ලීටර් 350කි. නමුත් මේ තත්ත්වය ඇති වූ විට ලීටර 2-3 ක් වුවත් මුත්‍රා රැඳී තිබෙන්නට පුළුවන. මෙහිදී රෝගියාට වේදනාවක් දැනෙන්නේ නැත. උදරය විශාල වීම පමණක් සිදු වේ. ඒ හැරුණු විට මුත්‍රා පහ කිරීමේ අපහසුතාවය පවතී.
මේ තත්ත්වය කලක් පවතින විට මුත්‍රා නාල දිගේ මුත්‍රා ආපසු වකුගඩු වෙත ගමන් කරයි. එවිට වකුගඩුවල පීඩනය වැඩි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වකුගඩුවලට මුත්‍රා පෙරීමේ කාර්යය කිරීම අපහසු වනු ඇත. අවසානයේ සිදුවන්නේ වකුගඩු දෙකම අකර්මණ්‍ය තත්ත්වයට පත්වීම ය. ඉන්පසු කුමක් වන්නේදැයි ඔබට සිතා ගැනීමට හැකිවනු ඇත.
මේ ආකාරයට මුත්‍රාශයේ බිත්ති ඇදීමකට ලක් වූ රෝගියෙකුගේ පසුකාලීනව සිදුවිය හැකි වකුගඩු අකර්මණ්‍ය වීම වළක්වා ගන්නට නම් එම රෝගියාට ජීවිත කාලය පුරාම මුත්‍රා පහ කරන බෑගයක් (කැතීටරයක්) සවි කරගෙන සිටීමට සිදු වේ. එසේ නොමැති නම් තමා විසින්ම බටයක් දමා දිනකට කිහිප වතාවක් මුත්‍රා ඉවත් කිරීමේ ක්‍රමය (CISC කැතීටරයක්) අනුගමනය කරන්නට සිදු වනු ඇත. වෛද්‍ය උපදෙස් මත මින් කුමක් හෝ රෝගියාට අනුගමනය කළ හැකිය.
මෙහිදී තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තිබේ. ඉහත කී ආකාරයට මුත්‍රාශයේ බිත්ති ඇදී මුත්‍රා පිටකිරීමේ අවහිරතාවය ඇති වූ රෝගියෙකුට යම් අවස්ථාවකදී කොහෙත්ම මුත්‍රා පහ කරන්නට නොහැකිව මුත්‍රා හිර වන්නට ද ඉඩ ඇත.
මුත්‍රාශය වැඩිපුර ඇදීමකට ලක් නොවූ කෙනකුගේ වුවත් සමහර අවස්ථාවලදී මේ තත්ත්වය ඇතිවිය හැකි අතර මෙසේ මුත්‍රා හිරවීම නිසා මුත්‍රා පහ කරන්නට නොහැකි වී උදරයේ අධික වේදනාවක් සමඟ බඩ පුරවා දැමීමක් ඇතිවේ. මුත්‍රා අඩස්සිය ලෙසින් හඳුන්වන්නේ මේ තත්ත්වයයි.
මෙහිදී වහාම රෝගියා රෝහල්ගත කර කැතීටරයක් දමා මුත්‍රාශයේ තිබෙන මුත්‍රා ඉවත් කරන්නට සිදුවනු ඇත. ඉන්පසු මුත්‍රා අවහිර වීමට හේතුව සොයා රෝගියාට ප්‍රතිකාර කරන අතරතුර කැතීටරය ඉවත් කෙරේ.
මෙලෙස මුත්‍රාශයේ බිත්ති ඝන වී ඇදුණු විට මෙන්ම ඉහත දැක්වූ පරිදි පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමීම, මුත්‍රා මාර්ගයේ තුවාල සිදුවී කැළැල් ඇතිවීම ආදී අනෙකුත් ඕනෑම හේතුවක් නිසාත් මුත්‍රා අවහිරතා ඇති වීමෙන් ද මුත්‍රා අඩස්සිය හටගත හැකි බව සිහි තබා ගත යුතු ය.
කාලයක් තිස්සේ මුත්‍රා පහ කිරීමේ අපහසුතාවක් තිබී එය නොසලකා හැරීමෙන් සිදුවිය හැකි විශාල කරදර ගැන ඔබට දැන් පැහැදිලි වී ඇතැයි සිතමු.
බෙහෙත් පෙත්තෙන් සුව කර ගන්නට තිබූ දෙයක් වකුගඩු බද්ධ කිරීමක් දක්වා දුර දිග හැරියොත් එය මොනතරම් කනගාටුදායක තත්ත්වයක් ද ?
නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කොටන්නට සිදු වන තුරු බලා සිටිය යුතුද ?
මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය දිමන්ත ද සිල්වා
ඉන්දු පෙරේරා