වැඩ අතපසු වීම වළකාලන “විනාඩි දෙකේ සූත්තරේ” – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

කවුද? මේ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

“බඹරකු රිදවා මලක් හැඬු දා” නමින් 80 දශකයේ දී ‘කුමරි’ පත්‍රයට ‍”බඹරකු රිදවා මලක් හැඬු දා” නමින් ලියූ කුලුඳුල් නව කතාව මඟින්ම එවක තරුණියන් උන්මාදයට පත් කළ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු නම් තරුණ ලේඛකයා එමඟින් පාඨක හදවත්වලට කෙතරම් සමීප වුවාදැයි කිවහොත් එහි දෙවන කොටස ‘බඹරෙකු සනසා මලක් හැඬූදා’ නමිනුත් තෙවන කොටස’ බඹරෙකු සනසා මලක් හිනැහුණා ‘ නමිනුත් ලියන්නට ඔහුට සිදු වූයේ පාඨකයන්ගේ බලවත් ඉල්ලීම මතයි.එදා තරුණ හදවත් වසඟ කළ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු “කුමරි”යට ලියූ ඒ කතා ත්‍රිත්වය පොතක් වශයෙන් ද මුද්‍රණය වී පාඨක හදවත් යළි වැළඳ ගැනීමට සමත් වුණා.ඒ වගේම ඉන් ඔහුගේ ජීවිතය ද කොයි තරම් පෙරැලියකට ලක් වුණා ද කිවහොත් එතෙක් බැංකු නිලධාරියකු ලෙස කටයුතු කළ ඔහු ඉනුදු ඉවත් වී තමන්ගේ මුළු කාලයම ලේඛනයටත්,මනෝ උපදේශනයටත්,ඉංග්‍රීසි පාඨමාලා මෙහෙයවීමටත් යොදා ගත්තා.

මේ වන විට ඔහු ලියූ 25ක් පමණ වන නවකතාවලට අමතරව ‘මල් දෙවැට’ නමින් සාර්ථක දිවියකට අත්වැල් සපයන ලිපි පෙළ ඇතුළත් මනෝ විද්‍යා ග්‍රන්ථ ඇතුළු තවත් මනෝ විද්‍යා ග්‍රන්ථ රැසක් ද, ඉංග්‍රීසි අධ්‍යාපන ග්‍රන්ථ ද රචනා කොට තිබෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රිසි විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත් ඔහු දැනට ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙකු සහ මනෝ උපදේශකයකු ලෙස කටයුතු කරන අතර පසුගිය කාලයේ ඔහු “තරුණි” පුවත්පත මඟින් ඉදිරිපත් කළ ඉංග්‍රීසි පාඩම් මාලාව ද අතිශය ජනප්‍රිය වුණා.මේ අතර තමයි ඔහු නවතම ආකාරයක සරල උපදේශනාත්මක ලිපි පෙළක් මඟින් මෙලෙස ඔබ හමුවට සපැමිණෙන්නේ;


අපි බොහෝ දෙනකුට දිනපතා කරන්න තියන වැඩ සමහරවිට ඉහටත් උඩින්. පැය24 මදි තරම්. ඕනෑවටත් වඩා වැඩ ගොඩක් බදා ගත්තම එහෙම වෙන්න පුළුවන්.මොකක් හරි වැඩක් ගැන ඇහුවොත් කියන්නේ “අයියෝ මට තියන වැඩත් එක්ක ඕවට වෙලා නෑ” කියලා.හැබැයි, ඇත්තෙන්ම බැලුවොත් අපි ගොඩක් දෙනෙකුට තියෙන්නේ වැඩ කරගන්න තියෙන කාලෙ මදිකම නෙමෙයි, කාලය හරියටම කළමනාකරණය කරගන්න බැරිකම. සමහරවිට බැරි කමට වඩා ඕන නැතිකම. කරන්න ඕන දේට වඩා ඕන නැති දේ කරන්න කාලය නාස්ති කරන එක.කළ යුතු අත්‍යවශ්‍යම වැඩ පැත්තක තියෙද්දි ඕන නැති වැඩ අතපත ගගා ඉන්න එක අප ගොඩක් දෙනෙක් කරන වැඩක්. සමහරවිට එහෙම පස්සට කල් දාන්නෙ ඒ කළ යුතු අත්‍යවශ්‍ය වැඩේ වඩා හොඳට වඩාත් උවමනාවෙන් කරන්න ඕන නිසා වෙන්න පුළුවන්. ඒ සඳහා විශේෂ වෙලාවක් හොයාගෙන කරනවා කියලා හිතාගෙන ඉන්න නිසා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නෙ මොකද්ද, කොහොමටවත් ඒ වැඩේ කෙරෙන්නේම නැතිව අතපසු වෙලාම යන එකයි.

ඒකෙන් මේකෙන් මොකද වෙන්නේ, ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කිව්වා වගේ කරපු වැඩකුත් නෑ කාලෙත් ඉබේම ගෙවිලා ගිහිල්ලා කියලා. අතීතය ගැන හිතලා හූල්ලන එක විතරයි කරන්න ඉතුරු වෙන්නේ.නිකමට හිතලා බලන්න පස්සෙ කරනවා පස්සේ කරනවා කියලා ඔබ හෙටට කල් දාපු මොන තරම් වැඩ ඔබේ ජීවිතයේ තියෙනවද? අර ලියන්න ඕන කිය කිය හිටපු ලියුම් තාම ලිව්වෙ නෑ. පොත් කිහිපයක් තියෙනවා කියවන්න ඕනා කිය කිය හිත හිත ඉන්නවා තාම කියවා ගන්න බැරි වුණා. ශාරීරික අභ්‍යාස කරන්න ඕන කිය කිය හිත හිත ඉන්නවා තාම කෙරුණේ නෑ. කාමරය අස් කරගන්න ඕන කිය කිය ඉන්නවා. තාම කෙරුණේ නෑ .ඔය නිවාඩු දවසක් හම්බ උනාම සම්පූර්නයෙන්ම සුද්ද කරල දානවා කිය කිය දිගින් දිගටම කල් දානව . ඇඳුම් ටිකක් තියෙනවා හෝදලා දාන්න ඕන කියල හිතුනට, ඒකත් පස්සේ හොඳට අව්ව තියෙන දවසක එක සැරේ හෝදනවා කියලා කල් දානවා. හිත සැහැල්ලු කරගන්න ටිකක් භාවනා කරන්න ඕන කියලා හැමදාම හිතෙනවා ඒත් හැමදාම නිදාගන්නේ ඒක දවසකට කල් දාලා.ඔය වගේ ගෙවල් වල තියෙන පුංචි පුංචි වැඩ කොයිතරම් ප්‍රමාණයක් මේ පස්සට කල් දැමීම නිසා එහෙමම අමතක වෙනවද?.

මේක ඇත්තටම හිතට කොච්චර බරක්ද? මේ නිසා මොනතරම් දේවල් මග හැර ගන්නවද, මොන තරම් පාඩු සිද්ධ කරගන්නවද?පාසල් යන ළමයි පාඩම් කිරීම කල් දානවා. ගෙදර වැඩ කිරීම කල් දානවා.උසස් අධ්‍යාපනය ලබන අය නිබන්ධන ලියල භාර දෙන එක කල් දානවා. පස්සේ කරනවා කිය කිය ඉඳල අන්තිමට හිස ගිනි අරගෙන වගේ එහාට මෙහාට දුව ඒ වැඩ කරන්න මහන්සි වෙනවා.එදිනෙදා පාසල් වල හරි වෙනත් අධ්‍යාපනික ආයතන වල හරි ඉගෙන ගන්න සිසුන්, තමන්ගේ එදිනෙදා පාඩම් වැඩ කටයුතු හරියට කරන්නැතුව ඉඳලා විභාගය කිට්ටු වුණා ම ඔලුව ගිනි අර අරගෙන වගේ නිදිමරාගෙන පාඩම් කරනවා. වෙහෙසනවා. ඒ නිසාම ශරීර සෞඛ්‍යයත් සමහර විට දුර්වල වෙන්නේ මේ වගේ වැඩ පසුවට කල් දැමීම නිසා . ප්‍රතිඵල සාර්ථකත් නැහැ. සමහරුන්ට කොන්ඩෙ කපා ගන්න තියා නියපොතු කපා ගන්නවත් වෙලාවක් නෑ.

ඇත්තටම වෙලාවක් නැතිකම නෙමේ වෙලාවක් හදාගන්න ඕන ඕනකමක් නැතිකම.හැබැයි ඉතිං ඒකමනේ ප්‍රශ්නේ . ඒකට විසඳුමක්නේ අපි මේ කතා කරන්න යන්නේ.හැබැයි, මේ වැඩ පස්සට කල් දාන එකනැති කරගන්න කැමති නම්,පොඩි සූත්තරයක් තියෙනවා ක්‍රියාත්මක කරනවා නම්.විනාඩි දෙකක පුංචි වැඩක් තමයි කරන්න තියෙන්නෙ. මේකට කියන්නේ ‘විනාඩි දෙකේ සූත්තරේ’ නැත්නම් “විනාඩි දෙකේ උපක්‍රමය”කියලා. වැඩේ පුංචි උනාට, වේලාව විනාඩි දෙකක් වුණාට ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂයි අත්දුටුයි. ප්‍රතිඵල සාර්ථකයි සහතිකයි.සරලවම මේකයි කරන්න තියෙන්නේ. ඔය පස්සේ කරන්නම් කිය කිය පස්සට දදා හිටපු ඕනම දෙයක් විනාඩි දෙකක් කරන්න තීරණය කරන්න. විනාඩි දෙකක් කියන්නේ ඉතාමත්ම සුළු කාලයක්. ඇත්තටම විනාඩි දෙකකින් මොනාද කරන්න පුළුවන් කියලත් හිතෙන තරම්.ඒත්, කැට පොල් එකකින් යෝධයකුව බිම දැම්ම වගේ හිතන්න බැරි තරම් පුදුම විදිහට මේ විනාඩි දෙකේ පොඩි වැඩෙන් ඔබේ ජීවිතයට බද්ධ වෙලා තිබිච්ච විශාල පර්වතයක් වගේ පුරුද්දක් නැති කරගන්න ඔබට පුළුවන් වෙනවා.කොච්චර අමාරු කාර්යයක් වුනත් විනාඩි දෙකක් කරන්න බැරි කමක් නෑ කොහොමටවත්.

ඉතිං සරලව කරන්න තියෙන්නේ මේකයි. ඔය වෙලා නැහැ කිය කිය පස්සට දදා තිබුණු ලොකු වැඩ හැම එක්ක්ම විනාඩි දෙකක් විතරක් කරන්න.පස්සේ කියවනවා කියපු පොතේ පිටු දෙකක් නැත්නම් තුනක් විනාඩි දෙකක් විතරක් කියවන්න.ලියන්න අතපසු වෙච්ච ලියුම විනාඩි දෙකක් ලියන්න.මුළු කාමරයම අස්කර ගන්ඩ ඕනේ නැහැ. විනාඩි දෙකක් අඩුම ගානේ මේසේ කොටසක් සකස් කරන්න.විනාඩි දෙකක් ඇඳ ටිකක් සකස් කරන්න නැත්නම් පොත් රාක්කේ ටිකක් සකස් කරන්න විනාඩි දෙකක්.රෙදි ඔක්කොම හෝදන්න අවශ්‍ය නැහැ එක ඇඳුමක් හෝදන්න.මුළු ගෙයිම මකුළු දැල් කඩන්න අවශ්‍ය නැහැ.. විනාඩි දෙකක් මකුළු දැල් චුට්ටක් කඩන්න.මේක ප්‍රතිඵලදායක නැති කිසි වැඩක් නැති දෙයක් කියලා සමහරු බැහැර කරයි. එහෙත් ඇත්තටම මෙහෙම විනාඩි දෙකක් කරල හදිසි ප්‍රතිඵල නොලැබුනත් කමක් නැහැ. මේ විනාඩි දෙකේ ක්‍රමෝපාය හරහා දන්නෙම නැතුව පසුවට කල් නොදා වැඩ කරන්න අපි හැකි ඉක්මනින් පුරුදු වෙනවා.පස්සේ කරන්නම් කියලා කල් දාන වැඩ ඔබටත් ඇතිනේ. මේ වැඩ වලින් සියයට අසූවක් පැත්තකින් තියලා සීයට විස්සක් තෝරගන්න ගන්නකෝ මුලදී ඒ හැම වැඩක්ම විනාඩි දෙකක් විතර කරලා බලන්න . කියවන්න ගත්තෙ පොතේ පිටු දෙකක් හෝතුනක් කියවන්න. මෙහෙම ගියොත් ඉතින් පොතක් කියවන්න මාස ගානක් යයි කියල හිතෙයි. ඔව් බැලූ බැල්මට එහෙම හිතනවා තමයි. ඒ උනාට අපිට ඕනේ වැඩේ සම්පූර්ණ කර ගන්නවට වඩා මේ පසුවට කල්දමන පුරුද්ද නැති කර කරගන්න නේ. ඒක හින්දා මේක පලක් නැති වැඩක් කියල බැහැර කරන්න එපා. කියන හින්දා දවස් දෙකක් තුනක් කරලා බලන්නකො. විනාඩි දෙකක් හැම වැඩෙන්ම පොඩ්ඩ පොඩ්ඩ කරන්න .ඕනම දෙයක් නොකඩවා පොඩ්ඩ පොඩ්ඩ හරි කරපුවම ඒක යටි හිතේ පදිංචිව වන පුරුද්දක් වන බව මනෝ විද්‍යාත්මකව පිළිගත් සත්‍යයක්.ඒ නිසා ඔබ මේ මහා මෙරක් වගේ හිතාගෙන ඉන්න ලොකු වැඩ පස්සට කල් දදා ඉන්නවා වෙනුවට විනාඩි දෙකක් ඒ වැඩේ විනාඩි දෙක බැගින් කරන්න පුරුදු වෙන්න. විහිළුවට වගේ කරල බලන්නකෝ මේක ප්‍රති ප්‍රතිඵලදායක ද නැද්ද කියලා .ඔබට පුදුම හිතෙයි. හිතන්නත් බැරි තරම් ඉක්මනින් මේ විනාඩි දෙකේ පුරුද්දට ඔබ පුරුදු වේවි. ඒ මගින් නොදැනුවත්වම ඔබේ ඔය ලොකුවට පේන වැඩ කන්දරාව ටික ටික කෙරෙන්න පටන් ගන්නකොට හිතට දැනෙන්නෙ හරි සතුටක් වගේම සැහැල්ලුවක්.ඒ නිසා මේක වැඩක් නැති සංකල්පයක් කියලා බැහැර කරන්න එපා. එක දවසක්, දෙකක්,තුනක් කිව්වට කරල බලන්නකෝ. මේකෙ අත්දුටු ප්‍රතිඵල ගැන ඔබටම පුදුම හිතේවි.මෙහෙම විනාඩි දෙක ගානේ පුංචි පුංචි වැඩ ටික ටික කරන්න පුරුදු උනාම සතියක් දෙකක්, වැඩිම සති තුනක් විතර ගියාම වැඩ පස්සට කල්ව දැමීමේ පුරුද්ද ඔබෙන් සම්පූර්ණම ඉවත්වෙලා වෙලා ගිහින් කියලා ඔබට තේරෙයි.ගොඩක් අය සල්ලි දේපල වගේ දේවල් ඉතා ප්‍රවේශමෙන් රැක ගන්නවා ඉතුරුකරගන්නවා . ඒත් ඉතුරු කරගත යුතුම දේ වන කාලය අත දිග ඇරලා විනාශකර නාස්ති කරල දානවා. පසුවට වැඩ කල් දැමිමෙන් අපි කරන්නේ ඒ නාස්තිය.මේකෙන් මිදීමට නම් පසුවට කල් දැමීම් පසුවට කල් දාන්න. මේ විනාඩි දෙකේ ක්‍රමයට පුරුදු උනාට පස්සේ ,හැම දෙයක්ම ඒ වෙලාවෙම, එදාම කරන්න ඕන කියලා හිතෙන තරමට ඒක පුරුද්දක් වුනොත් ඒ ගැන පුදුම වෙන්න එපා.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

 

ඉරා අදුරුපට