වැරදි ලෙස ප්‍රති ජීවක ඖෂධ ගැනීමෙන් ලෙඩ වැඩි වෙන්නත් පුළුවන්

පැහැදිලි හේතුවක් දක්වන්නට නොහැකිව හදිසියේ කෙනෙක් මිය ගිය විට බොහෝ විට ඊට හේතුව ලෙස දක්වන්නේ ” විෂබීජයක් ගිහින් ” යන්නය.
කෙනෙක් රෝගියකු කරන්නට සේම මරණයට පත් කරන්නටද විෂබීජවලට හැකියාව ඇති බව අපි දනිමු.
විෂබීජ යනු අපේ පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා සතුන් වැනි ජීවීන් පිරිසකි. මේවා දැකබලා ගන්නට නම් කුඩා දේවල් ලොකු කර බැලිය හැකි අන්වීක්ෂයක් භාවිතා කරන්නට සිදුවෙයි.

විෂබීජ යනුවෙන් පොදුවේ හැඳින්වුවත් මේ විෂබීජ විවිධ ආකාරයෙන් සහ විවිධ නම්වලින් පවතී. බැක්ටීරියා, වෛරස්, පුස් හෙවත් දිලීර සහ තවත් විවිධ දේ මීට අයත්ය. ඉතාමත් කුඩා විෂබීජයක් වන වෛරසය සාමාන්‍ය අන්වික්ෂයකටවත් පෙනෙන්නේ නැත. මෙවැනි විෂබීජ බිලියන ගණන් වාතයේ පාවෙමින් පවතී.සමහර විෂබීජවලට වතුරේ පිහිනා යන්නට හැකියාව ඇත. ඊට හොඳම උදාහරණ වන්නේ මී උණ සහ අතීසාරය සාදනු ලබන විෂබීජ වර්ගයි.

පිටගැස්ම සාදනු ලබන විෂබීජයට ඕනෑම වියළි ස්ථානයක තමන් වටා ආරක්ෂිත කටුවක් සාදාගෙන ඒ තුළ ජීවත් විය හැකිය.
අපේ සම මතුපිටද බිලියන ගණනක් විෂබීජ පවතී.

සමහර විෂබීජ වර්ග අපට කරදර කරන්නේ නැත. තවත් සමහර ඒවා අපට ජීවත් වන්නට උපකාර කරයි. කෙසේ වුවද මොන තරම් අපිරිසිදුවට ජීවත් වන අයකුගේ වුවද ශරීරයෙහි මස් තුළ විෂබීජ නොමැත.

විෂබීජ ශරීරගත වූ විට වෛද්‍යවරු බොහෝ විට ප්‍රතිජීවක (antibiotic ) ඖෂධ නියම කරති. මේවා දිනකට දෙවරක් හෝ පැය හයකට වරක් ආදී වශයෙන් වෛද්‍යවරුන් රෝගියාට අවශ්‍ය පරිදි නියම කරනු ඇත. එසේ වුවද බොහෝ දෙනෙකු කරන්නේ තමාගේ ශරීරයේ රෝග ලක්ෂණ අඩු වන විට ඖෂධ ගැනීම අතරමග නවතා දැමීමයි. නමුත් මෙහි තිබෙන භයානකකම ඔබ දන්නවාද ?

ඔබට උණ සෑදුනු විට අනිවාර්යයෙන් ගන්නා ඖෂධයක් වන්නේ පැරසිටමෝල් ය. ඒ ඔබේ ශරීරය වෙනුවෙන් ගන්නා ඖෂධයකි. නමුත් ප්‍රතිජීවක ඖෂධ එසේ නොවේ. ඉන් කෙරෙන්නේ රෝගියාගේ ශරීරය තුළ ඇති විෂබීජය මරා දැමීමය. ප්‍රතිජීවක ඖෂධ සටන් කරන්නේ එම විෂබීජය සමග ය. එහිදී ප්‍රතිජීවක ඖෂධ නිසා, විවිධ අහිතකර ප්‍රතිඵල අතුරු ආබාධ ලෙසින් ඇති වන්නට ඉඩ තිබෙන බව සැබෑ ය. නමුත් වෛද්‍යවරුන්ට මෙහිදී වැඩි අවධානයක් යොමු කරන්නට සිදු වන්නේ ශරීරය තුළ තිබෙන විෂබීජ විනාශ කිරීම පිළිබඳව ය.

එනිසා ඔබ දැඩිව සිත තබා ගත යුතු දෙයක් නම් ප්‍රතිජීවක ඖෂධ යනු ශරීරය වෙනුවෙන් දෙනු ලබන දෙයක් නොව, විෂබීජය විනාශ කිරීම සඳහා, විෂබීජය වෙනුවෙන්ම දෙන ඖෂධයක් බවයි. ඒ නිසා විෂබීජය විනාශ කිරීමට අවශ්‍ය නම් වෛද්‍යවරයා නියම කරන ප්‍රමාණයටම එම ඖෂධය ගැනීම අනිවාර්ය වෙයි. එයට හේතුව කුමක්දැයි අපි විමසා බලමු.

උදාහරණයක් ලෙස අපි බැක්ටීරියා නැමැති විෂබීජය පිළිබඳව සැලකුවහොත් එය පැය භාගයකට වරක් තම අලුත් පරම්පරාව බිහි කරයි. බැක්ටීරියාව දෙකට බෙදී බැක්ටීරියා දෙකක් සෑදෙනු ඇත. පාන් ගෙඩියක් ගෙන එය දෙකට මැදින් කපා භාග දෙක වෙන් කළොත් ඒ භාග දෙකට වෙන වෙනම පාන් දෙකක් ලෙස වර්ධනය වන්නට හැකියාව නැත. නමුත් දෙකට බෙදුණු බැක්ටීරියා භාග දෙකට සම්පූර්ණ බැක්ටීරියා දෙකක් ලෙස වර්ධනය වීමේ හැකියාව තිබේ. මෙසේ වර්ධනය වන බැක්ටීරියාවක් තව පැය භාගයකට පසුව යළිත් දෙකට බෙදී තවත් දෙකක් බවට පත්වෙයි. මේ ආකාරයට පැය පහමාරක් තුළදී මිලි මීටර් එකක ප්‍රමාණයක් තරම් වන බැක්ටීරියා දෙදහසක් නිර්මාණය කළ හැකි අතර පැය නවයක් තුළ හටගන්නා බැක්ටීරියා ප්‍රමාණය දම්වැලක් මෙන් එක දිගට තැබුවොත් එය අඩියක් පමණ දිග වනු ඇත. අපේ පියවි ඇසට නොපෙනෙන මෙම බැක්ටීරියාවල සීග්‍ර වර්ධනය ඔබට වටහා ගත හැකියි නේද ?

ප්‍රතිජීවක ඖෂධ දින දෙකක් පමණ ගෙන නතර කළහොත් ඉහත ආකාරයට බෙදී යන බැක්ටීරියාවල සමහර ඒවා මිය යා හැකි නමුත් තවත් සමහර ඒවා මිය නොගොස් ශරීරය තුළම පවතිනු ඇත. මෙසේ ඉතිරි වී පවතින බැක්ටීරියා තව තවත් බෙදෙමින් දිගින් දිගටම වර්ධනය වීමේ දී එසේ අලුතින් වර්ධනය වන බැක්ටීරියාවන් එම ප්‍රතිජීවක ඖෂධයට ඔරොත්තු දෙන තත්වයට හැඩගැසීමට බොහෝවිටම හැකියාව ඇත. ඖෂධ අතරමග නතර කරමින් රෝගියා විසින් බිහිකර ඇත්තේ එම ප්‍රතිජීවක ඖෂධයට ඔරොත්තු දෙන පරිදි අලුතින් නිර්මාණය වූ, රෝගියාට සේම සමාජයටත් පිළිලයක් වන බැක්ටීරියාවකි. එනිසා මීළඟට යළි හිස ඔසවන එම රෝගයට වෛද්‍යවරුන්ට නියම කරන්නට සිදු වන්නේ මිල අධික, විෂ අධික ප්‍රතිජීවක වර්ග යි.

එකම ඖෂධය විවිධ වෙළෙඳ නාමවලින් අඩුමිලට සහ වැඩි මිලට අලෙවි වන අවස්ථා බහුල ය. ඖෂධ සමාගම් වෛද්‍යවරුන් සඳහා කරනු ලබන වෙළඳ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදවනු ලබන මුදල් ආපසු ලබා ගැනීම සඳහා රෝගීන්ට වැඩි මිලට ඖෂධ විකිණීම සිදු කරනු ඇත. එසේම මෙහි අනෙක් පැත්ත නම් අඩු නිෂ්පාදන වියදමක් දරා බාල ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිෂ්පාදනය කොට ඉතා අඩු මිලට රෝගීන්ට ලබා දී ලාභ ගැනීමයි. මේ කරුණු දෙකෙන්ම පීඩා විඳින්නේ රෝගීන් ය. සමහර ඖෂධ සමාගම් තමන්ගේ ඖෂධය නියමිත ප්‍රමිතිය ලබා ඇති බව පැවසුවත් අපේ වැනි රටක ඕනෑම තැනකින් රිංගා යාමට මෙම ඖෂධ සමාගම් සමත් වේ.

ඒ අනුව බාල ප්‍රමිතියෙන් යුතු ඖෂධ පවා ගෙන මෙසේ ඉදිරිපත් කරන විට රෝගීන්ට ලැබෙන ඒ බාල ඖෂධවලින් නොයෙකුත් ගැටලු ඇති වන්නට ද ඉඩ තිබේ. එවැනි අවස්ථාවල දී රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයත් එම වෛද්‍යවරයා දෙස වපර ඇසින් බැලුවත්, වෛද්‍යවරයාද මේ මොහොතේ අසරණ ය. හේතුව, වෛද්‍යවරයාට කළ හැක්කේ එවකට පවතින ඖෂධ නියම කිරීම පමණි. ඒ මිස රෝග සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් වෛද්‍යවරුන්ට නැත. බොහොමයක් ඖෂධ වලට මේ තත්ත්වය පැන නැගින්නේ නැති මුත්, මෙය වඩාත්ම බලපාන්නේ ප්‍රතිජීවක ඖෂධවලට ය. අඩු මිලට මෙන්ම අධික මිල ගණන් වලටත් ප්‍රතිජීවක ඖෂධ වර්ග තිබේ. එනිසා ඔබට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ගැන වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම වැදගත් ය.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය