විජය කුමරුන්ගෙන් මැරුම් කෑ යකෙකුගේ පුතෙකු වන කැලේ බණ්ඩාර දෙවියෝ

kalebandara

බණ්ඩාර යන්න අද සමාජයේ බොහෝ විට අසන්නට ලැබෙන පෙළපත් නාමයකි. එහෙත් මෙම පෙළපත් නාමයේ විශේෂත්වයක් ද තිබේ. එනම් මෙය සෑම විටෙකම උඩරැටියන් සඳහා වන පෙළපත් නාමයක් වීම ය. එමෙන්ම කන්ද උඩරට සමාජයේ ප්‍රභූ අභිධාන නාමයක් වන බණ්ඩාර යන්න දකුණු ඉන්දීය සම්භවයකින් යුතු එකක් බව ඉතිහාසඥ ලෝනා දේවරාජ මහත්මිය පෙන්වා දී තිබේ. එහෙත් එයට එරෙහිව නැගෙන මතයකට අනුව බණ්ඩාර යනු කන්ද උඩරට රාජධානි සමයේ භාණ්ඩාගාර භාර නිලධාරීන් හැඳින්වූ නාමයකි. එම බණ්ඩාරවරුන් තමන්ගේ රාජකාරිය අනුව ‘රන්ගේ බණ්ඩාර’ ආදී වශයෙන් විවිධ ආකාරවලින් හැඳින්වුණු බව පැවසෙයි.එමෙම්ම ඇතුම් කුලවතුන් හැඳින්වීම පිණිස ඔහුනට හිමි නින්දගම් මුල් කොට බණ්ඩාර අභිධාන නාමය යෙදීම් පිළිබඳව ද අසන්නට ලැබේ.

එලෙස අතීතයේ ප්‍රභූ සමාජයේ ජන කොටසක් හැඳින්වීමට යොදන ලද මෙම බණ්ඩාර නාමය එදා මෙදා තුර දෙවිවරුන් හැඳින්වීම පිණිසත් යෙදී තිබෙනු අපට දැකගත හැක. එහෙත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීමේ දී මනාව පැහැදිලි වන කරුණක් තිබේ. එනම් මෙම බණ්ඩාර අභිධාන නාමය හිමි වනුයේ අප ජන සමාජයේ ඇදහීමට ලක් වන උප දේවතාවුන්ටපමණක් බවය. ඒ හැරුණු කොට විෂ්ණු බණ්ඩාර, ස්කන්ධ හෙවත් කතරගම බණ්ඩාර, සමන් බණ්ඩාර, නාථ බණ්ඩාර ආදී වශයෙන් අප ජන සමාජයේ ඇදහීමට ලක් වන කිසිදු ප්‍රධාන දෙවි කෙනෙකුට මෙම බණ්ඩාර අභිධාන නාමය යෙදෙන බවක් අසන්නට නැත.

උඩුවේරියේ කපුරුහාමි බණ්ඩාර, කිතගම හිටි බණ්ඩාර, කිවුලේගෙදර බණ්ඩාර, කීර්ති බණ්ඩාර, ගඟේ බණ්ඩාර, ගලේ බණ්ඩාර, දහනක බණ්ඩාර ආදී වශයෙන් දෙවිවරුන් සම්බන්ධ මෙම බණ්ඩාරවලිය පිළිබඳ විමසුමක් කිරීමේ දී ඉතා පැහැදිලිව දැකගත හැකි එක් දෙයක් තිබේ. එනම් මේ සෑම දෙවියකුම පාහේ අතීතයේ කිසියම් මානවීය සම්බන්ධතාවක් පිළිබිඹු කරන බව ය. ඉහත සඳහන් ප්‍රධාන හා ලංකාරක්ෂක දෙවිවරුන්ට වඩා ජනතාවට සමීප බවක් පළ කරන උප දෙවිවරුන් සඳහා ගෞරවනීය නාමයක් ලෙස මෙම බණ්ඩාර නාමය යොදා ඇති බව පෙනේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ අතීතයේ පැවැති වටරක්ගොඩ බණ්ඩාර නම් දේව ඇදහීමක් පිළිබඳව පූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද හිමියන්ගේ ශාස්ත්‍රීය ලිපියක තිබූ තොරතුරක් මත ඒ පිළිබඳ විමසුම් කළ මට එම ප්‍රදේශයෙන් එවැනි දේව ඇදහීමක් පිළිබඳව ශේෂ මාත්‍රයක්වත් සොයා ගත නොහැකි විණි. උන්වහන්සේ එම ලිපිය මගින් ප්‍රකාශ කොට තිබුණේ වලපනේ ප්‍රදේශයේ ආරක්ෂක බළකොටුවක ප්‍රධානියකුව සිටි ප්‍ර්‍රභූවරයකු මරණින් පසු ඒ නමින් දේවත්වයට පත්ව තිබූ බවය. ඒ අනුව මෙම බණ්ඩාර දෙවිවරුන්ගෙන් සැලකිය යුතු කොටසක් මේ වන විට මෙරට ජන විඥානයෙන් ඉවත්ව ගොස් හා ඉවත් වෙමින් සිටින බව පිළිගන්නට අපට සිදු වේ.

ගලේ බණ්ඩාර, ගඟේ බණ්ඩාර ආදී වශයෙන් හඳුන්වන මෙම බණ්ඩාර දෙවිවරුන් අතරේ “කැලේ බණ්ඩාර” යනුවෙන් හැඳින්වෙන දෙවි කෙනෙක් ද සිටියි. එච්.යූ. ප්‍රඥාලෝක හිමියන් විසින් සම්පාදිත පුරාණ සිව්පද සංග්‍රහයේ (1952) සහ ඌව පළාත් සභා සහ සංස්කෘතික අමාත්‍යංශය මගින් ප්‍රකාශිත ඌව වංශ කතාව දෙවන කාණ්ඩය (1991) සඳහා ධර්මසිරි පියසේන මහතා විසින් සපයන ලද ‘ඌවේ ජන ඇදහිලි හා විශ්වාස’ යන ලිපියේ මෙම කැලේ බණ්ඩාර දේව ඇදහීම පිළිබඳ වටිනා තොරතුරු රැසක් තිබේ.

ජන ප්‍රවාදගත තොරතුරුවලට අනුව මෙම කැලේ බණ්ඩාර යනු ලග්ගල විසූ යක්ෂ නායකයකුගේ පුතෙකි. මහාවංශය ඇතුළු ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් අන්දමට විජය කුමරුන් විසින් එතෙක් අප රට අත්පත් කරගෙන සිටි යක්ෂයන් මරා දැමීමේ දී කැලේ බණ්ඩාරගේ පියා ද ඝාතනයට ලක්වන ලදුව ඉන් බියට පත් කැලේ බණ්ඩාරයන්ගේ මව වන නන්දතී ඔහු ද රැගෙන මහා වනයට වැදී ඇත. එහෙත්, ඊට දින හතකට පසු කිසියම් වන උපද්‍රවයකට ලක් වූ ඇය අකාලයේ මියගිය අතර ඉන් පසුව එම කුමරුවාගේ පින් බලයෙන් වනයේ වග වලසුන් විසින් ඔහු හදාවඩා ගත් බවක් පුරාණ සිව්පද සංග්‍රහයේ ඇති කවියකින් මෙලෙස දක්වා තිබේ.

දකිනා දිවි සිහ වග වලසුන් නේ

පැමිණා කිරි පොවමින් ඔහු යන් නේ

ළකුණා පෙර පින් ඇති බව දන් නේ

රැකුණා දිවි මෙම ලෙස කුමරුන් නේ

අතීතයේ අප රටේ ජීවත් වූ වංශකතාකරුවන් යක්ෂයන් සේ දුටු යක්ෂ ගෝත්‍රික ජනතාව හා ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස හඳුන්වන වැදි ජනතාව අතරේ පැහැදිලි සබැඳියාවක් පවතින බව මේ වන විට ශාස්ත්‍රීය වශයෙන් අනාවරණය වී තිබේ. එමෙන්ම ඔවුන් විසින් අදහනු ලබන දෙවිවරුන් හැඳින්වෙනුයේ ද ‘නෑ යකුන්’ යනුවෙනි. එහෙත් මෙම කැලේ බණ්ඩාර දෙවියන් එම නෑ යකුන් ගණයට අයත් නොවන අතර එම ඇදහීම ඌවේ සිංහල බෞද්ධ ජනතාව අතරේ පමණක් ව්‍යාප්ත වී ඇති බවක් පෙනෙයි. එය ද මෙම දේව ඇදහීම් සම්බන්ධ විශේෂත්වයකි.

ජීවිතයේ වැදගත් සංසිද්ධීන්වල දී සහ දුර බැහැර ගමන්බිමන්වල දී කැලේ බණ්ඩාරයන් සිහිකොට ගසකින් කඩා ගන්නා පොල් එල්ලීමෙන් යහපත ඉෂ්ඨාර්ථ සිද්ධිය ලැබෙන බව ඌවේ පාරම්පරික ජනතාව විශ්වාස කරති. නමුත් බොහෝ දෙවිවරුන්ට මෙන් දේවාලයක් හිමි නොමැති කැලේ බණ්ඩාර දෙවියන් සිහිකොට අයියනායක දෙවියන් සිහි කරන අයුරින් වනයේ ගසක කොළ අත්තක් කඩා ගස් දෙබලක එල්ලීමෙන් පවා කැලේ බණ්ඩාර දෙවියන්ගේ පිහිට ලැබෙන බව අතීතයේ ඌව පළාත් වැසියෝ විශ්වාස කළහ.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය