විදුලි අර්බුදය මේ වන විට රටේ සමස්ත ජනතාවම හෙම්බත් කරන තැනට පැමිණ තිබේ. කොළඹ නගර සීමාව හා තෝරාගත් ප්‍රදේශ හැර රටේ අනෙක් සෑම ප්‍රදේශයකම පැය පහකටත් වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීමට පටන් ගෙන ඇත.
විදුලිය කපන්න ඉඩ තබන්නේ නැතැයි කියමින් “ගමේ චණ්ඩියෙකු” සේ හැසිරුණු මහජන උපයෝගීතා කොමිසම දැන් වලිගය දෙපරන්ද අස්සේ ගසා ගත් දඩෝරියෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.”ඉන්ධන ප්‍රභවයක් නැතුව ලයිට් දෙන ක්‍රමයක් ලෝකෙම නෑ. කොමිසම කතා කරන්නේ හරියට අපි ලයිට් ගෙවල් වල හංගගෙන නොදී ඉන්නවා වගේ. කොටින්ම අපේ ගෙවල් වලටත් ලයිට් නෑ තමයි” ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සාමාජික ඉංජිනේරු වරයෙක් මේ ලියුම් කරු සමඟ කීය.
අද (28) දිනයේදීත් පැය පහකට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කීවේය. ඔහුගේ ගමේ චණ්ඩි හැසිරීම ඉවත දමා දැන් පවතින හැසිරීම පෙර සිටම පැවැතියේ නම් පැය පහක විදුලි කප්පාදුවකට යාමට අවස්ථාව හිමි නොවන බව ද එම ඉංජිනේරු වරයා කීය.
ලංකා විදුලිබල මණ්ඩලය මුලින්ම ඉල්ලා සිටියේ පැය දෙකක විදුලි කප්පාදුවකි. එය ලබා නොදීම නිසා විදුලිබල මණ්ඩලයට ජල විදුලි බලාගාරවලින් විදුලිය ජනනය කිරීමට සිදුවූවේ විදුලි කප්පාදුවකින් තොරව ලබාදිය යුතු වූ නිසාවෙනි. මේ අතර ඉන්ධන නොමැතිව බලාගාර පහකට වැඩි සංඛ්‍යාවක් අක්‍රිය වී තිබේ.
ඉන්ධන අර්බුදයෙන් බලාගාර අක්‍රිය වී නිසා විදුලිබල මණ්ඩලයට විදුලි කප්පාදුවකට ඉඩ දුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය. ලංකා විදුලි බල මණ්ඩලයට සේම රටේ සමස්ත ජනතාවටම දැන් සිදුව ඇත්තේ විකල්ප දෙකකි. එනම් ඩීසල් නැවක් එනතුරු මුහුද දෙස බලාගෙන සිටීමට හා වැස්ස වහින තුරු අහස දෙස බලා සිටීමට ය.
නිසි පරිදි ඩීසල් ලැබුණොත් තාප බලාගාර ක්‍රියාත්මක කළ හැකි ය. ජල විදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාපතනයක් ඇද හැලුණහොත් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කළ හැකි ය. එසේ නොමැතිවුවහොත් විදුලිය කප්පාදු කරන පැය ගණන තවත් ඉහළට යා හැකි ය. ඉදිරියේ දී මහජන උපයෝගිතා කොමිසමට කීමට ඇත්තේ විදුලිය කප්පාදු කරන වේලාවල් නොව විදුලිය ලබාදිය හැකි වේලාවන් ය.බැලූ බැල්මට මේ කතා විහිළු සේ පෙනී යා හැක.නමුත් පසුව සැබෑ වූ මෙවැනි විහිළු ඕනෑ තරම් අප රටේ තිබේ.
විදුලි බලාගාර ආශ්‍රීත ජලාශවලට විදුලිය උත්පාදනය කළ හැකි තරමේ ධාරානිපාත වර්ෂාවන් ඇද හැලෙනුයේ මැයි මාසයේ සිට ය. ඉදිරියේ දී ලැබෙනුයේ අපේ ගැමියන් “ගොඩ වැස්ස” ලෙස සළකන අන්තර් මෝසම් වැසි ය.මෙම වැස්ස ගැමියන් ගොඩ වැස්ස ලෙස නම් කරනුයේ එය යල මහ කන්න දෙක අතරේ වසින කන්න වලට අයත් නොවන ගෙවතු වගාවන් සඳහා අතිශය ප්‍රයෝජනවත් වැස්සක් බැවිනි.”කාලයේ හෝ සන්ධ්‍යා භාගයේ ගිගුරුම් සහිත වැසි” යනුවෙන් හැඳින්වෙන මේ ගොඩ වැස්ස විදුලි කෙටීම් සහ අකුණු ගැසීම බහුල ය.ඉන් පොළොවට එක් වන නයිට්‍රිජන් සංයුතිය නිසා තුරු ලිය ප්‍රාණවත් වී බක් මාසයේ පාරිසරික අලංකාරය තීව්ර කරවයි. නමුත් එය ජලාශ පිරී ඉතිරී යාමට තරම් ප්‍රමාණවත් නැත. ජලාශ පිරී ඉතිරි යන්නේ මැයි මස දෙවෙනි සතියේ සිට ය. ඒ නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ ය.
විදුලිය නැති ජනතාවට ජෙනරේටර් භාවිතා කිරීමට ද දැන් අවස්ථාව නැත. ඒ ඩීසල් හා පෙට්‍රල් හිඟයක් ද රට තුළ පවතින බැවිනි. ඉන්දියානු තෙල් සමාගමේ පිරවුම් පොලවල හැර තෙල් සංස්ථාවේ පිරවුම් පොලවල ඉන්ධන හිඟයක් පවතියි. ඉන්ධන ලබා දෙන්නේ ද සළාක ක්‍රමයට මෙන් සීමා සහිතවය. මේ නිසා ජෙනරේටර් භාවිතා කිරීමට ද නොහැකි ය.
ඉන්දියානු තෙල් සමාගමම ඉකුත් සති අන්තයේ දී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමත් සමග මෙරට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200 සීමාව ඉක්මවා ගියේය. නමුත් තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ නොදැමීම නිසා සංස්ථාවේ පිරවුම්පොලවල දිගු පෝලිම් දැක ගත හැකි විය. මේ සියල්ලටම මුල ඩොලර් අර්බුදය ය. නමුත් තවමත් රටේ ඩොලර් හිඟයට පිළියම් සොයා ගැනීමට ආණ්ඩුව සමත්වී නැත.
බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා වීමට ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩුවට හිතවත් බොහෝ දෙනෙකු කීවේ මහෝෂධ පඬිතුමන් බඳු ඔහුගේ පාර්ලිමේන්තු සම්ප්රාප්තියත් සමඟ මේ සියළු ප්‍රශ්න විසඳී යන බව ය. එහෙත්, මොළ හතක් තිබෙනවා යැයි කී මුදල් ඇමතිවරයාට තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා ද නැති ද කියා තීරණය කිරීමට තරම් මොළය පෑදී නැති සේය
එසේ තිබිය දී මහ බැංකු ඇධිපති අජිත් නිවාඩ් කබ්රාල් නම් මන්තරයක් සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව කියයි. ඔවුන් සිතා සිටිනේනේ ඩොලර් මැජික් පෙන්නන්නාක් සේ පහළ වනු ඇති බවට ය. ඩොලර් අර්බුදය ඉන්ධන, විදුලියට දැඩිව බලපා තිබේ. නමුත් ඒ ප්රශ්නය විසඳනවා වෙනුවට වෙනත් කාරණා පෙන්වමින් ආණ්ඩුව ජනතාව නොමග යවමින් සිටියි.
ජනතාවට සුරංගනා කතා කියන ආණ්ඩුවේ මැති ඇමතිවරු විදුලිය අර්බුදයට විසඳුමක් දෙන්නේ නැත. ඔවුන් සතුව දෙන්නට විසදුමක් තිබේද? යන්නද සැක සහිත ය. මේ සියළු කාරණා හමුවේ විදුලි කප්පාදුව ජයටම කෙරීගන යයි.කරන්නට අන් කිසිම දෙයක් නැති ජනතාවට දැන් ජනතාවට අහස දෙස බලා සිටින්නට සිදුව තිබේ.
මේ විදුලි අර්බුදයට අවසන් විසඳුම විදුලි කොටන තුරු අහස දෙස බලා සිටීම යැයි අපට සිතෙන්නේ එනිසා ය.
ලසන්ත වීරකුලසූරිය