විදුලි බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත;දවසින් දෙකෙන් අඩු කරනවා කියා අපි කොහේවත් කියා නෑ

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.එමෙන්ම විදුලි බිල දවසින් දෙකෙන් අඩු කරන බව කොහේවත් කියා නැතැයිද ඔහු සඳහන් කළේය.අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විදුලි බිල සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.වැඩි දුරටත් අදහස් දැක් වූ කුමාර ජයකොඩි මහතා මෙසේ ද සඳහන් කළේය.”විදුලි බිල අඩු කිරීම තමයි අපේ අරමුණ. අපි විදුලි බිල අඩු කිරීම දවසින් දෙකෙන් කරනවා කියලා කියලා නැහැ. අවුරුදු තුනක් ඇතුළත තමයි කරන්න වෙන්නේ.පසුගිය පාලනය කරපු දූෂණවල ප්‍රතිඵල ජනතාවට අද විඳින්න සිදුවෙලා. විදුලිබල මණ්ඩලය මේ වන විට බිලියන 332 ක ණයකින් පෙළෙනවා.වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවුණා. විදුලිය මිලදී ගන්න වැය වන මුදල වැඩියි. මේක වැඩපිළිවෙලක් ඇතුව හැදීම තමයි අරමුණ. මේකෙ පැටලිලි ගොඩක් තියෙනවා. ඒවා නිවැරදි කරන්න ඕන.විදුලි බල මණ්ඩලයෙන් අපිට යෝජනා ලැබුනේ සියයට 37 ක් වැඩි කරන්න. අපි ඒක පැත්තක තියලා සකසුරුවම් කරලා තමයි මේ ගෙනියන්නේ. මේකෙ තියෙන පරණ පව් ටික හෝදන්න වෙලා තියෙනවා. අපි අපේ හිතවතුන්ට ප්‍රොජෙක්ට් දෙන්නේ නැහැ. විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය සැලසුම් ගනිමින් පවතිනවා”.

කාලීන පුවත්