විනිසුරු වරුන් ගේ සිට පික් පොකට් කරුවන් දක්වා සිදු කරන පොල් ගැසීම

අප රටේ දේව ඇදහීම්වල ප්‍රමුඛතම අංග අතරට පොල් ගැසීම ද අයත් වෙයි. එහෙත්, මෙම පොල් ගැසීම දෙවියන් උදෙසා කරනු ලබන පූජා චාරිත්‍රයක් නොවේ. දෙවියන් සඳහා පූජා චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව බැතිමතුන් විසින් තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර ගැනීම පිණිස සිදු කරනු ලබන කේවල යාතු කර්මයකි.නමුදු බොහෝ දෙනෙක් මේ බවක් නොදනිති.

පොල් ගැසීමෙන් බැතිමතුන් අපේක්ෂා කරන අරමුණ යහපත් හා අයහපත් වශයෙන් දෙයාකාර ය. අරමුණ කුමක් හෝ වේවා පොල් ගැසීම පිණිස කිනම් හෝ ඉලක්කගත අරමුණක් තිබිය යුතු බව ජන විශ්වාසයයි. ඒ අනුව විෂ්ණු, සමන්, නාථ, පත්තිනි ආදී ක්ෂාන්තිවාදී ලක්ෂණ සහිත දෙවිවරුන් හමුවේ යහපත් අරමුණු උදෙසා පොල් ගැසීමටත්, කතරගම, දැඩිමුණ්ඩ ආදී ද්විත්ව ස්වරූපයන් පළ කරන දෙවිවරුන් හමුවේ සහ කාලි, දුර්ගා, සූනියම් සහ දෙවොල් ආදී නපුරු චණ්ඩ ලක්ෂණ පළ කරන දෙවිවරුන් හමුවේ අයහපත් අරමුණු උදෙසා පොල් ගැසීමටත් බැතිමත්හු පෙළඹෙති.මෙම පොල් ගැසීම අද වන විට දේශපාලනය හා සම්බන්ධ ක්‍රියාකාරකමක් බවට පත් ව තිබේ.

වසර හතළිහක් පමණ වූ මගේ අඛණ්ඩ වෘත්තීය පත්‍ර කලා ජීවිතය ගත වූයේ කොළඹ 13 සහ 14 යන ප්‍රදේශවල පිහිටි මාධ්‍ය ආයතන දෙකක ය. ඒ කාලය තුළ මට කොළඹ තොටළඟ, මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල වෙසෙන නාගරික පැල්පත්වාසීන් ද සැලකිය යුතු පිරිසක් දැන හඳුනාගෙන සමීපව ආශ්‍රය කිරීමේ අවස්ථාව ලැබිණ. ඔවුන් අතරේ නාගරික ගැට කැපීම ජීවිකාව කරගත් කිහිප දෙනෙක් වූහ. එක් දහස් නවසිය හැත්තෑව දශකයේ අග භාගයේ සහ අසූව දශකයේ මුල භාගයේ මැදිවියේ සිටි බොහෝ දෙනෙක් මේ වවන විට ජීවතුන් අතර ද නැත.

ඔවුන්ගෙන් බොහෝ දෙනකු පික්පොකට් ගැසීමෙන් සැලකිය යුතු මුදලක් අතට ගත් සැණින් එහි මුල් කොටස මෝදර කාලි කෝවිලේ පින් පෙට්ටියට දැමීමටත් එහි ගොස් පොල් ගෙඩියක් ගසා එම පොකට් ගැසීම සම්බන්ධ වරදකාරී හැඟීමෙන් සිත මුදා ගැනීමටත් කටයුතු කළ බව එකල මා අසා තිබිණ. පොකට්ටුවක් පැහැර ගෙන එවැනි කාරියක් සිදු නොකළහොත් එදින රාත්‍රියේ තමන්ට හරිහැටි නින්දක් නොයන බවත් නින්දත් නොනින්දත් අතරේ නපුරු සිහින පෙනෙන බවත්, පසු දා උදයේ පිබිදීමටවත් සිරුරේ ප්‍රාණයක් නොමැති බවත් ඒ ආසන්නතම දිනයෙක හදිසි අනතුරකට හෝ හදිසි රෝගාබාධයකට ලක්වන බවත් එම පොකැට්කරුවෝ තරයේම විශ්වාස කළහ. ඒ අනුව ඔවුන් තම ජීවනෝපාය මුල් කොට කොතරම් බරපතළ මානසික ආතතියකට හා මානසික ගැටුමකට ලක් වන්නේ ද යන්න ජීවිතයේ තරුණ වියේදීම වටහා ගන්නට මට හැකි විය.එසේම ඉන් පැහැදිලි වනුයේ පොල් ගැසීම යනු නොවිධිමත් ආතති කළමණාකරන උපාය මාර්ගයක් ද වන බවකි.


සමාජයේ එක් කොටසක් තමන් විසින් කරන ලද නොකටයුතු සම්බන්ධ මානසික පීඩනයෙන් අත්මිදීමට කටයුතු කරන අතරේ තමන්ගේ විවිධ අරමුණු ඉටුකර ගැනීම පිණිස විනිසුරු වරුන් වැනි සමාජයේ ඉහල තනතුරු දරන අය පවා කතරගම පැමිණ පොල් ගැසීමේ චාරිත්‍රය ඉටු කරන බව දිගු කලක් කතරගම ඇසළ පෙරහර කමිටු සංවිධායකවරයකුව සිටි කතරගම සුමන සෝමපාල මහතා මීට කලකට ඉහත මා හා කියා තිබේ.
උත්තර භාරතීය දෙවිවරුන් සම්බන්ධ යාතුකර්මයක් වුව ද මෙම පොල් ගැසීම දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයෙන් අප රටට ආදේශ වූවක් සේ සැලකේ.

නමුත් දුටුගැමුණු රාජ්‍යෝදයට පෙර එනම් ක්‍රි.ව. 161 පමණ අප රටේ දකුණු ප්‍රදේශයේ පොල් තිබූ බව වංශකතා මූලාශ්‍රවලින් අනාවරණය වෙයි. පොල් සඳහා ව්‍යවහාර වන සංස්කෘත නාමය ‘නාරිකේර’ යන්නය. කේරළ යන නම ද මෙම නාරිකේර යන වදනින් බිහි වූවක් සේ සැලකේ. මක්නිසාද යත් අදටත් ඉන්දියාවේ පොල් වගාව අතිශය සාර්ථක අන්දමින් සිදු වනුයේ කේරළයේ වීම නිසා ය.ඉන්දීය පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පිහිටා ඇත්තේ ද කේරලයේ කොචි හිය.

මේ වන විට බොහෝ යාතුකර්ම මෙන් නවීකරණයට ලක් වුව ද පොල් ගැසීම සම්බන්ධ සාම්ප්‍රදායික පොදු පිළිවෙත් මාලාවක් අතීතයේ දක්නට ලැබිණ. එම පොල් ගසන අරමුණේ යහපත් අයහපත් බව වෙනස් වන අවස්ථා ද තිබේ.පැරණි සම්මතයට අනුව ගසකින් කඩා ගන්නා පොල් ගෙඩිය ලෙලි හැරීම පවා පොල් ගසන බැතිමතා විසින්ම කළ යුතු වෙයි. පසුව එය කිළිකුණු නොමැති තැනක ආරක්ෂා කොට කහ දියෙන් නහවා පිරිසිදු කර ගත යුතුය. එහි දී යහපත් අරමුණු උදෙසා පොල් ගැසී‍මේ දී පොල් ගෙඩියේ මුඩ්ඩ තිබිය යුතු අතර අයහපත් අරමුණු වෙනුවෙන් පොල් ගැසීමේ දී මුඩ්ඩ ඉවත් කරගත යුතු වේ.

පසුව පොල් ගෙඩිය ගෙන දේවාලයක් හෝ කෝවිලක් වෙත ගොස් ඊට අදාළ දෙවි දේවතාවන් වන්දනා කොට ඒ පොල් ගෙඩිය මත්තේ කපුරු පෙත්තක් දල්වා එය පොල් ගසන ස්ථානයට ගෙන ගොස් තමන්ගේ ආයාචනය එම දෙවියන් හමුවේ පැවසීම සංකේතනය කරමින් ඉතා තදින් ධාරණය කරගත යුතුය. මෙසේ විනාඩියක් දෙකක් හෝ ඊට වැඩි කාලයක් එම අරමුණට පමණක් සිත යොමු කරගෙන සිටින අතරේ එක් වරම තමන් තුළ යම් කායික චලිතයක් ඇති වන බවත් ඒ නිමේෂයේදීම එම පොල් ගෙඩිය තමන් ඉදිරියේ වන ගල හෝ ඵලකය මත ගැසිය යුතු බවත් සාම්ප්‍රදායික විශ්වාසයයි. මෙහි දී යහපත් අරමුණු උදෙසා පොල් ගැසී‍මේ දී දකුණු අත ද අයහපත් අරමුණු උ‍දසා පොල් ගැසීමේ දී වම් අත ද භාවිත කළ යුතු බව පැවසෙයි.

මෙම පොල්ගැසීමේ ක්‍රියාව මනෝ විද්‍යාත්මකව නොවිධිමත් ආරක්ෂණ උපයෝග යාන්ත්‍රණයක්(Defense mechanism technique )සේ ද සැලකිය හැක.එහි දී පොල් ගෙඩිය තමන් මුහුණ දෙන ගැටළුව හෝ අර්බුදය සංකේතනය කරන අතරේ එය දෙපළු වී පිපිරී යාම එම ගැටළුව හෝ අර්බුදය නිමාව සංකේතනනය කරයි.මෙය හැඳින්වෙනුයේ සංකේතනය( Symbolization ) වශයෙනි.එමෙන්ම මීට කලකට ඉහත දැදුරුඔය මායිමේ පිහිටි රිදී බැඳි වැල්ල අයියනායක දේවාලය ඉදිරියේ අයහපත් අරමුණකින් පොල් ගැසූ අයකුගේ අත ඒ මොහොතේ කොර වී එය දිවි ඇති තුරාවටම එලෙසම පැවැති බව ඇහැටුවැව, දිවුල්ගනේ පාරම්පරික ගැමියකු වූ එච්.එම්. ගුණතිලක මහතා මීට කලකට පෙර මා හා කීය.මෙසේ ගසනු ලබන පොල් ගෙඩිය දෙපලු වීම හෝ පලු කිහිපයකට පුපුරා යාම එසේ නොමැති නම් කුඩුපට්ටම් වීම සේම එය නොපුපුරා ගලේ වැදී ලිස්සා යාම ද සිදු විය හැක.

එහෙත් අවසානයේ සඳහන් කළ අන්දමට එය ලිස්සා යාම තම අරමුණු සඵල නොවන බවට පෙර නිමිත්තක් බවට ජන විශ්වාසයක් තිබේ.එය එම පොල් ගැසීමේ ක්‍රියාවේ දී ක්ෂණිකට සිත තුළට පිවිසෙන නිෂේධනාත්මක මානසික ඇනවුම්( Negative suggestion )නිසා හට ගන්නා බව ඒ සම්බන්ධ ප්‍රායෝගික යථාර්ථයයි.මෙම පොල් ගැසීම සම්බන්ධයෙන් අදහස් පළ කළ සමහරෙකු එමඟින් සිතට මහත් සැනසුමක්,අස්වැසුමක් ලැබුණු බව මා හා කියා තිබේ.ඒ අනුව එය නැවත නැවතත් කිරීමේ දොසක් තිබේ ද යන ගැටළුව ද යමකු තුළ පහළ විය හැක.ඒ සම්බන්ධයෙන් මට දීමට ඇත්තේ කෙටි පිළිතුරකි.එනම්”වයින් සිරවුණු ඔඅරලෝසුවක් බිම වැටීමෙන් පසු යථා තත්වයට පත් විය හැක.නමුත් ඒ පිළිබඳ සිතා කිසිදු වයින් සිරවුණු ඔරලෝසුවක් පොළොවේ ගැසිය යුතු නැත.”

තිලක් සේනාසිංහ

ඉරා අදුරුපට