ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය “හැක්” කර මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් දෙලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය අසූ දෙදෙනාගේම ප්‍රතිඵල දත්ත සොරාගෙන විභාගයට මුහුණ දුන් සිසුන්ගේ නම ඇතුළත් කරමින් ප්‍රතිඵල ලේඛන පරීක්ෂා කර බැලීමට හැකිවන ලෙස වෙනම වෙබ් ප්‍රවේශයක් සකස් කළ පාසල් සිසුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ජාල ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු ගාල්ලේ ජනප්‍රිය පිරිමි පාසලක උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන සිසුවෙකි.විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් 06 දා ලද පැමිණිල්ලකට අනුව කළ දිර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මේ සිසුවාව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ ඇතුළු විභාග ප්‍රතිඵල පරීක්ෂා කර බැලීමට හැකියාව ඇත්තේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ විභාග අංකය හෝ විභාගයට මුහුණ දුන් අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් පමණි. ඒ හැරුණු කොට කිසිදු විටෙක නමක් පරීක්ෂා කිරීමකින් විභාග ප්‍රතිඵල දීමක් සිදු නොකරමින් රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ.එහෙත්, මේ සිසුවා විසින් විභාග දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවිය “හැක්” කර එහි ඇති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනය සොරාගෙන සකස් කර ඇති නව වෙබ් ප්‍රවේශයෙන් විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ නම ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කර බැලීමට හැකියාව පවතී. විභාගයට පෙනී සිටි අපේක්ෂකයාගේ නම සම්පූර්ණයෙන්ම නොදන්නේ නම් දන්නා කොටස ඇතුළත් කළ විට එවැනි නම් ඇති විභාගයට පෙනී සිටි සියලු අපේක්ෂකයන්ගේ නම් දිස්වන අතර, ඒ නම් අතර ඇති තමන්ට අවශ්‍ය නම තෝරාගෙන ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කිරීමට පහසුකම් මෙහි සපයා තිබේ.මේ සිසුවා වෙබ් අඩවි හැක් කරන සහ දත්ත සොරා ගැනීම් කරන ආකාරය ගැන දැනුම බෙදා ගන්නා තාක්ෂණය විෂය හදාරණ පාසල් සිසුන්ගෙන් සමන්විත ටෙලිග්‍රෑම් සමූහයකට සම්බන්ධව සිටින බවත් එහි 5,000ක් පමණ සිසුන් එක්ව දැනුම හුවමාරු කර ගනිමින් සිටින බවත් සිය විමර්ශනවලින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ ටෙලිග්‍රෑම් සමූහයට උපක්රමශීලීව ඇතුළු වී එහි වන ක්‍රියා නිරීක්ෂණය කර මුලින්ම එම ටෙලිග්‍රෑම් සමූහයේ පරිපාලකවරයෙක්ව (ඇඩ්මින්) හඳුනාගෙන තිබේ. ඔහු ද ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබන දෙහිවල පදිංචිකරුවෙකි. ඒ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විභාග දෙපාර්තමේන්තුවේ වෙඩි අඩවිය හැක් කළ පුද්ගලයාගේ දුරකතන අංක ඇතුළු තොරතුරු විමර්ශන ඔස්සේ අනාවරණය කරගෙන සිට ඇති අතර, මේ සිසුවා මඟින් ටෙලිග්‍රෑම් සමූහයට ඇතුළු වීමේ ප්‍රවේශ ගෙන තවදුරටත් විමර්ශන පවත්වා සැකකරු හඳුනාගෙන ඊයේ (08) ගාල්ලට ගොස් සිසුවාව අත්අඩංගුවට ගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි ජයනෙත්ති මහතාගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක බී.වී.අයි. ගයාශ්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක මහේෂ් කළුගල්ල, පොලිස් කොස්තාපල්වරුන් වන විරංග (68813), මහේෂ් (71191), ජයවර්ධන (97642) යන නිලධාරීන් විමර්ශන පවත්වා සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.