දෙවිවරුන් පිළිබඳව කතා කරන බොහෝ තැන්වල දිව්‍ය විමාන පිළිබඳව ද සඳහන් වෙයි. මිහිපිට ඇති ඇතැම් මන්දිර ඉදිකිරීම් සම්බන්ධයෙන් කතා කරන විට ද සමහරු ‘දිව්‍ය විමානයක් වගේ’ යනුවෙන් පවසනු අපි අසා ඇත්තෙමු.එහෙත්, මේ විමාන යනු මොනවාද? යන්න පිළිබඳ අප සමාජයේ බොහෝ දෙනකු තුළ නිසි දැනීමක්, වැටහීමක්, අවබෝධයක් නොමැති බව පෙනේ. ඊට හේතුව යම් යම් කරුණු මුල් කොට ද ‘මදුරු විමානයක්’ ආදී වශයෙන් මෙම විමාන වදන යෙදීම ය.
අප බොහෝ දෙනකු විමාන යනු දෙවිවරුන්ගේ වාස භවන ලෙස සිතා සිටිය ද එය දෙවිවරුන්ට පමණක් සීමා වූවක් නොවේ. මිනිසුන් නොවන දෙවියන්, යක්ෂයන් සේම ඇතැම් විට ප්‍රේතාදීන් සඳහා ද විමාන ඇති බව පෙනෙයි. ‘යකාගේ හැටියටයි විමානේ’ යන ජන පිරුළ ඒ සඳහා වන සාක්ෂියකි.
මොනියර්-විලියම්ස් සංස්කෘත ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව විමාන යනු පියාසර මාලිගා විශේෂයකි. යමක් පියාසර කරන විට එදෙස බලා සිටින්නාගේ නෙතු මානය වෙනස් වන බැවින් මානය වෙනස් වීම යන අරුතින් ඊට විමාන යන නම ලැබී තිබේ. දෙවියන් සම්බන්ධ ඉදිකිරීම් පිළිබඳ කතා කිරීමේ දී මන්දිර යන්න ද යොදනු ලැබේ. එහෙත්, එසේ මන්දිර නම බොහෝ විට යෙදෙනුයේ දෙවිවරුන් උදෙසා මිනිසුන් විසින් කරන ලද ඉදිකිරීම්වලට බව ඒ සම්බන්ධ මූලාශ්‍ර අධ්‍යයනයේ දී පෙනී යයි.
බෞද්ධ සාහිත්‍යයට අයත් ඛුද්දක නිකායේ විමාන වත්ථු, ප්‍රේත වත්ථු නම් කෘතීන් දෙකක් තිබේ. ඉන් විමාන වත්ථු කෘතිය වෙන් වී ඇත්තේ මිනිස් ලොව දී පින් දහම් කිරීම නිසා මරණයෙන් පසු දිව්‍යාත්ම භාවයන් ලැබූවන් පිළිබඳ විස්තර ප්‍රකාශ කිරීමට ය. මිනිස් ලොව දී අකුසල් සිදු කොට ප්‍රේතාත්මවල ඉපදුණු පුද්ගලයන් පිළිබඳ ප්‍රේත වත්ථුවෙන් විස්තර කෙරේ. එහෙත් එහි ද ප්‍රේත විමාන පිළිබඳ සඳහන් වීමෙන් විමානය යනු දිව්‍යමය වරප්‍රසාදයක් වශයෙන් පමණක් සැලකීම අසීරුය. ඉන් හැඟවෙන්නේ ද පින් කළවුන්ට සේම පව් කළවුන්ට ද විමාන හිමි වන බවකි.
බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන කරුණු අනුව සදෙව් ලෝකවාසී දෙවිවරුන්ගෙන් යම් කොටසක් සඳහා ද ‘විමානවාසී’ යන නම ලැබී තිබේ. ඒ ඒ විමානයන්ගේ නම් වලින් ඔවුන් හඳුන්වන අවස්ථා ද විමාන වත්ථු කෘතියෙහි බහුලව දක්නට ලැබේ. එමෙන්ම වෘක්ෂ දේවතා සහ භූමාටු දේවතා යන උප දේවතාවන් සඳහා ද විමාන තිබූ බවත් ඔවුන් ඒවායින් ගමන් බිමන් ගිය බවත් එසේ ගමන් කරන විට හාත්පස ආලෝකවත් වූ බවත් පැරණි සාහිත්‍ය කෘතීන්වල දක්නට ලැබේ. එහෙත් සෑම දෙවි කෙනෙකුටම විමානයක් ඇති බවක් නොපැවසෙයි.
මෙම විමාන රාක්ෂ, යක්ෂ ආදීන් හට ද තිබූ බව කුවේර, රාවණා ආදී අසුර නරපතියන් හට තිබූ විමානවලින් පැහැදිලි වේ. විමාන වත්ථු ප්‍රකාරණයේ ‘පුෂ්කර විමාන’ නම් යානා පිළිබඳ සඳහන් වන අතර රාවණා රජු සතුව ද පුෂ්කර විමාන නම් යානයක් තිබූ බව සඳහන් ය. ඒ අනුව විමාන යනු මනුෂ්‍ය නොවන දිව්‍ය, රාක්ෂ, යක්ෂ, ප්‍රේත ආදීන් සතුව තිබූ යානා විශේෂයක් ද යන්න පිළිබඳ සැක මතු වෙයි.
පැරණි භාරතීය බිතු සිතුවම් බොහොමයක මෙම විමානවල හැඩතල දක්නට ලැබේ. ඒ සියල්ල පොදුවේ ගත් කල දක්නට ලැබෙනුයේ ගොඩනැගිල්ලක නැතහොත් ඉදිකිරීමක හැඩයකි. නමුත් ඊට වෙනස් ස්වරූප ගත් විමාන පිළිබඳව ද අසන්නට ලැබේ. නිදසුනක් ලෙස රාවණ රජුගේ වාහනය අප ජන සංස්කෘතියෙහි සඳහන් වනුයේ ‘දඬු මොනරය’ යනුවෙනි. ඊට හේතුව එම වාහනය මොනරෙකුගේ හැඩය ගැනීම ය. ඊට “දඬු” යන නම ලැබී ඇත්තේ එය දැවමය( Wooden ) නිර්මාණයක් නිසා විය යුතු ය යන්න ඇතැමුන්ගේ මතයයි.මේ අතර තමන්ගේ ජීවිතය බේරා ගැනීම පිණිස ගුරුළු හැඩයේ දැවමය යානාවක් තනා අඹු දරුවන් ද සමඟ හිමාලයට පලා ගෝ කට්ඨවාහන නමින් එහි රජ වූ වඩු කාර්මිකයකු පිළිබඳ පුවතක් ධම්මපදට්ඨ කතාවේ අභය රාජ කතා පුවතෙහි එයි.
ඒ අනුව ඒවා මිනිසුන්ට ද තැනිය හැකි වාහන බවක් පෙන්නුම් කළ ද රාවණා රථය නමින් හඳුන්වන කිසියම් වස්තුවක ආකෘතියක් අදටත් බලන්ගොඩ, බොල්තුඹේ සමන් දේවාලයේ තිබේ. අතීතයේ රාම-රාවණ යුද්ධය ඒ අද්දර දෙතනගල කඳු වැටිය ආශ්‍රිතව සිදු වූ බවට පැතිර පවතින කතා අනුව එම ආකෘතිය රාවණ රජුගේ වාහනයේ එකක් බවට විශ්වාසයක් තිබේ.
බොල්තුඹේ සමන් දේවාලයේ සුරැකිව ඇති එම රාවණ රථය කිසියම් හේතුවක් මත එය ඡායාරූප ගත කිරීමට එවක එම ප්‍රදේශය භාර පුරාවිද්‍යා නිලධාරියා වශයෙන් කටයුතු කළ ජයන්ත විජේරත්න හේරත් මහතාට අවස්ථාව හිමි විය. එහෙත්, එය ද ඉහත සඳහන් විමාන ලක්ෂණයකින් යුතු වූවක් බව ම’වෙත දැක්වූ එම රාවණ රථයෙන් පැහැදිලි විය. ව්‍යවහාරික වශයෙන් රථය යනු මිහිපිට ධාවනය වන්නකි. එහෙත් එහි ඒ සඳහා අවශ්‍ය රෝද ඇති බවක් පෙන්නුම් නොකිරීම මත ද එය විමාන ලක්ෂණ පළ කරන්නක් බව මට අනුමාන කළ හැකි විය.මෙහි පළවන ඡායාරූප වල ද දැක්වෙන එම රාවණා රථයේ උස සෙ.මී 40 කි.එහි දිග සෙ.මී 22 ක් වන අතර පළල සෙ.මී 18කි.
එමෙන්ම මෙම විමාන නම් වන පියාසර වස්තු පිළිබඳ තවත් සුවිශේෂත්වයක් තිබේ. එනම් ඒවායේ හැඩය පසු කලෙක අහසේ දර්ශනය වූ ‘පියාඹන පීරිසි’ නම් වන වස්තූන්ට තraමක් සමාන වීම ය. පිටසක්වළ ජීවීන්ගේ වාහන විශේෂයක් ලෙස මුල දී හඳුනා ගැනුණු මෙම පියාඹන පීරිසි කතාව මෑතක සිට අසන්නට නැත. ඒ වෙනුවට දැන් භාවිතයට ගැනෙනුයේ ‘හඳුනා නොගත් පියාසර වස්තු’ යන වදනයි. එහෙත්, මීට දශක කිහිපයකට ඉහත අහසේ පියාසර කරමින් තිබිය දී යම් යම් පුද්ගලයන්ගේ නෙත ගැටුණු මෙම පියාඹන පීරිසි සහ අතීත බිතු සිතුවම්වල එන විමාන එක හා සමාන හැඩයක් ගන්නේ කෙසේද? ඒ කෙසේ හෝ පසු කාලීනව මෙම විමාන යන්න දෙවිවරුන් සතු මන්දිර හැඳින්වීම පිණිස ද ආදේශ කිරීම නිසා එම වදන සතු අනන්‍යතාව ගිලිහී ගොස් ඇති බවක් හැඟේ.
තිලක් සේනාසිංහ