අප ජන සමාජයේ වයස අවුරුදු පනහ පමණ පසු කරන බොහෝ දෙනකු; විශේෂයෙන් කාන්තාවන් එක් වරම යම් යම් රෝග ලක්ෂණ පළ කරන අතර ඒවා වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුව කරගත නොහැකි අවස්ථා බොහොමයකි.ඊට හේතුව ඔවුන් පළ කරන රෝග ලක්ෂණ අනුව කරනු ලබන වැඩිදුර පරීක්ෂණ මඟින් නිශ්චිත රෝග විනිශ්චයකට ඒමට වෛද්‍යවරුන්ට නොහැකි වීම ය.මෙම තත්වය පිරිමින්ට වුව පොදු වුව ද පිරිමින්ට වඩා වඩා කාන්තාවන් වෙතින් දැකීමට හැකි ය.ඊට ඔවුන්ගේ ආර්ථවහරණය හෙවත් මාස් ශුද්ධිය නතර වීම ද බලපාන බවට අනුමාන කෙරේ.
කෙසේ වෙතත් ස්ත්‍රී පුරුෂ දෙකොටසම ජීවිතයේ මැදි වියෙන් පසු අත්විඳින මෙම රෝග හෙවත් සහලක්ෂණ තත්වය පොදුවේ හඳුන්වනුයේ නිදන්ගත විඩාබර ආබාධය (CFS Chronic fatigue syndrome) යනුවෙනි. ප්‍රකෘතිමත් නොවී අවම වශයෙන් මාස හයක් වත් එක දිගට පවතින අධික තෙහෙට්ටුවකින් ප්‍රධාන වශයෙන් නිරූපණය කෙරෙන මනෝ කායික ආබාධයක් වන මෙය වෛද්‍යමය නිර්වචනයන් මගින් පවා සම්පූර්ණයෙන්ම පැහැදිලි කළ නොහැක.
එනිසා මෙම සහලක්ෂණයට ප්‍රතිකාර කෙරෙනුයේ එක් එක් රෝග ලක්ෂණයට අදාලව ය. මෙම වයසේ පසුවන කතුන්ගේ ශාරීරික හෝ මානසික ක්‍රියාකාරකම් සමඟ ඔව්හු අධික තෙහෙට්ටුවක්,විඩාබර බවක් පිළිබඳව මැසිවිලි නඟති.නමුත්, එය විවේකයෙන් ප්‍රකෘතිමත් නොවන තෙහෙට්ටුවකි.එදිනෙදා ජීවිතයේ කටයුතු සම්බන්ධයෙන් දක්වන උනන්දුව, උද්යෝගය හීන වීම,කනස්සලු ගතිය,නින්ද නොයාම ශරීරයේ මස්පිඬු,හන්දිපත් වේදනා,හිරිවැටීම්,ක්ලාන්තය,බඩ පිපුම,ඔක්කාරය,දෙනෙත් වටා දැලක් බැඳී ඇත්තාක් මෙන් දැනීම ඇතුළු මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ බොහොමයකි.
නිදන්ගත විඩාබර ආබාධය ඇතිවීමට ඒකීය හේතුවක් නොමැත. නමුත් ඒ සම්බන්ධ බොහෝ න්‍යායන් ඇත . ඒවා වෛරස් ආසාදන සිට මානසික ආතතිය දක්වා විස්තර කෙරේ. සමහර ප්‍රවීණයන් විශ්වාස කරන්නේ මෙ නිදන්ගත විඩාබර ආබාධය බහු විධ සාධකවල එකතුවක් නිසා ඇති විය හැකි බවකි.ජීවිතය පුරා මනැසේ ශේෂ වූ නොවිසඳුණු ගැටළු මත පදනම් වූ සිත් තැවුල් කායික ප්‍රකාශන ලෙස එළි දැක්වීම මෙහි දී සිදුවන බව බහුතරයකගේ පිළිගැනීම ය.
මෙය නිදන්ගත විඩාබර ආබාධය අනුවෙන් හඳුන්වන්නේ ද එනිසාමය. අප තුළ ජනිත වන අප මානසික වශයෙන් සලකන සියලුම හැඟීම් ආවේග වල භෞතික හා ජෛවමය, පක්ෂයක් ද ඇත. නිදසුනක් වශයෙන්, අප දුකෙන් සිටින විට කඳුළු හෙළන අතර බිය වූ විට වේගයෙන් හුස්ම ගනිමු.මෙවන් සෑම කාරියකදීම අපගේ ශරීරය තුළ භෞතික හා ජෛවමය වෙනස්කම් ඇතිවේ.”සෝමා” යනු ශරීරය සඳහා ග්‍රීක වචනය වන අතර. දේහීකරණය( Somatization)යනු කායික මානසික සම්බන්ධතාව හරහා ආතතිය සහ හැඟීම් කායික ප්‍රකාශන ලෙස මුදා හැරීම යන්න හැඟවීම.පිණිස භාවිතා කරන වචනයයි.
ඉහත සඳහන් රෝග තත්වය සම්බන්ධයෙන් ප්‍රජා සෞඛ්‍යමය කියැවීමක් ද තිබේ.වයස අවුරුදු පනහේ දශකය යනු කාන්තා ශරීර වල ඊස්ට්‍රජන් හෝමෝන යාන්ත්‍රණය පසුගාමී වන සමයකි.එමෙන්ම වයස අවුරුදු පනහේ හැටේ දශක ඔවුන් බොහොමයකගේ ස්වීයත්වය,පවුල් ගෘහ සබඳතා සම්බන්ධ පරිවර්තනීය යුගයකි.සැමියාගේ වියපත් බව ඇතැම් විට ඔහුගේ වියොව,දරුවන් ලොකු මහත් වීමත් සමඟ තමන් සතු ගෘහ ආධිපත්‍යය බිඳ වැටීම,තම දරුවන් විවාහ වීමෙන් පසු පවුලට නව සාමාජිකයන් එක් වීම මත පවුලේ සංයුතිය වෙනස් වීම ආදී හේතු කාරණා මත එම වයස් වල බොහෝ කාන්තාවෝ කායික මානසික පසුබෑම් වලට ලක් වෙති.
මේවා ද නිදන්ගත විඩාබර ආබාධ ලක්ෂණ පහළ වීමට හේතු වන බව පෙනෙයි.”මට දැන් ඉස්සර වගේ බෑ”ඔවුන් බොහෝ විට තම කායික මානසික පසුගාමිත්වය පළ කරනුයේ එලෙසිනි.එහෙත්,ඔවුන් පළ කරන රෝග ලක්ෂණ ඔස්සේ ගවේෂණාත්මක ප්‍රතිකාර කිරීමට තරම් වන රෝග නිධානයක් වෛද්‍ය වරුන්ට හමු නොවීම ද නිදන්ගත විඩාබර ආබාධයේ පොදු ලක්ෂණයකි.
මේ තත්වය හමුවේ මෙම වයස් වල බොහෝ කාන්තාවෝ ආගමික වත් පිළිවෙත් වෙත යොමු වෙති.අනේක විධ පුද පූජා,බාර-හාර,දේව කන්නලව්,යාඥා ආදී සෑම ආගමකම දක්නට ලැබෙන එම අභිචාර විධි නම් වන පොදු පිළිවෙත් වෙත යොමු වන ඔව්හු එමඟින් සුව සහනයක් ලබති.මෙහි එක්තරා නොවිධිමත් මනෝ චිකිත්සක අගයක් තිබේ.
එහෙත්,මෙම අනේක විධ පුද පූජා,බාර-හාර,දේව කන්නලව්,යාඥා ආදියට නිරන්තරයෙන් යොමු වීම මත ඒවායේ යෙදීමෙන් තොරව සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට නොහැකි තත්වයක් උද්ගත විය හැකි බවට මනෝ විද්‍යාඥයෝ මත පළ කරති.මෙම තත්වය හැඳින්වෙනුයේ නිශේධනාත්මක ප්‍රතිස්ථම්භනය(Negative reinforcement)යනුවෙනි.නමුත්,මෙහි දී කිව යුතු වඩාත් වැදගත්ම දෙයක් තිබේ.
එනම් කුමන හේතුවක් මත හෝ හටගන්නා මනෝ කායික වේදනා කැක්කුම් වැනි සහලක්ෂණ නිදන්ගත විඩාබර ආබාධය සේ හඳුනාගෙන වෛද්‍ය වරුන් හමුවීමට නොයා සිටීම අතිශය අඥාන තීරණයක් බවය.එනිසා ඔබ කළ යුත්තේ ඔබ තුළ පවතින රෝග ලක්ෂණ මුල් කොට නිවැරදි රෝග විනිශ්චයකට එළඹීමට ඔබේ වෛද්‍ය වරයාට උපරිම සහාය දැක්වීම පමණි.
දමයන්ති ගමගේ