වියපත් වන විට උදරය එල්ලා වැටෙන්නේ ඇයි?

මැදි වයසට එන විට උදරය එල්ලා වැටීම ගැහැනු පිරිමි දෙපක්ෂයටම බලපාන ගැටලුවකි. පිරිමින්ට කෙසේ වෙතත් කාන්තාවන්ට නම් මෙය සිත් වේදනා ඇති කරවන තත්ත්වයක් වේ. ඒ මෙයින් සිරුරේ හැඩය වෙනස් වී විකෘති පෙනුමක් ඇති විය හැකි නිසාය. අලංකාර ඇඳුමක් ඇන්දත් මෙවැනි උදරයක් ඇතිවිට එහි සුන්දර පෙනුම මතුකර ගැනීමට බාධා ඇති වෙයි.

උදරය මහත් වීමට ප්‍රධාන හේතුව මේදය තැන්පත් වීමයි. මෙසේ ශරීරයේ මේදය තැන්පත් වීම ක්‍රම දෙකකට සිදු වේ.

1. සමට යටින් තැන්පත් වීම
(subcutaneous )

බාහිරට දිස්වන්නේ මේ ආකාරයට මේදය තැන්පත් වීමයි. එය බාහිරින් පෙනෙන්නේ සිරුර තරබාරු වීම ලෙසිනි.

2. ශරීර අභ්‍යන්තරයේ තැන්පත් වීම
( visceral fat )

හෘදය, පෙනහලු, ආමාශය වැනි අවයව වලට පිටින් මේද ස්ථරයක් තැන්පත් වීම මේ තත්ත්වයයි.

කාන්තාවන්ගේ වැඩිපුරම මේදය තැන්පත් වන්නේ ශරීරය පහළ කොටසේ ය. එනම් උකුල, තට්ටම් වැනි ප්‍රදේශවල යි. මේ හැරුණු විට පියයුරුවල ද මේදය තැන්පත් වෙයි. ඒ, යොවුන් වියට පත් වීමෙන් පසු ඇතිවන හෝමෝනවල බලපෑම නිසාය. කාන්තාවන්ගේ ශරීරයට හැඩයක් ලැබෙන්නේ සැකිල්ලේ තිබෙන හැඩයට අමතරව මෙම මේදය නිසාය. උකුල පළල් වීම ආදිය එහි ප්‍රතිඵලයකි.

පිරිමින්ගේ වැඩිපුරම මේදය තැන්පත් වන්නේ උදර ප්‍රදේශයේය.
ගැහැනු පිරිමි දෙපිරිසේම ශරීරයේ ස්වභාවය, ජාන අනුව තීරණය වෙයි.
සිරුර තරබාරු වීම ආකාර 4 කට සිදුවේ.

1. පළමු කාණ්ඩයේ අයගේ උදරය වැඩිපුර විශාල ය. ඊට සාපේක්ෂව අත් පා සිහින්ය. මෙය පිරිමින්ගේ බහුලව පවතින්නකි. මේ තත්ත්වය Central obesity නමින් හැඳින්වේ.

2. දෙවන කාණ්ඩයේ තට්ටම් හා ඉන ප්‍රදේශය මහත් ය. කාන්තාවන් තුළ බහුල මෙය peripheral obesity තත්ත්වයයි.

3. ඉනෙන් ඉහළ පපුව ප්‍රදේශය තරබාරු වීම හා උකුල ප්‍රදේශය කුඩා වීම තුන්වැන්න වේ. upper truncal obesity යනු මෙයයි.

4. සිව්වන ක්‍රමය නම් උදරය, තට්ටම්, ඉන, පපුව වැනි තැන් තැන්වලින් මහත් වීමයි. ( mixed obesity ) ලෙසින් මෙය හැඳින් වේ.
මේ හැරුණු විට කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසු මහත් වීම තවත් තත්වයකි.

උදර කුහරයට යටින් මස් පේශි පිහිටා තිබේ. කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසු සමට යටින් සහ අනෙකුත් අවයවවල මේදය තැන්පත් වීම වැඩිය. ඊට හේතුව දරුවාගේ පෝෂණයට අවශ්‍ය ශක්තිය මවගේ ශරීරයේ මේදය ලෙස තැන්පත් වීමයි.ගැබ් ගැනීමෙන් පසු කාන්තාවන් තරබාරු වීමට බලපාන එක හේතුවක් වන්නේ මෙයයි.

ගැබ් ගැනීමෙන් පසු සමත්, සමට යටින් ඇති මේද ස්ථරය හා පටකවලත්, මස්පේශි යන මේ සියල්ලේමත් ඇදීමක් සිදු වේ. දරුවා බිහි වූ පසුවත් මේ ඇදුනු ඒවා එලෙසින්ම පවතී. දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ගේ උදරය එල්ලා වැටීමට හේතුව එයයි. මෙය සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට නම් මස්පිඬු ශක්තිමත් කරන ව්‍යායාම කළ යුතුය. ශරීරයේ මේදය තැන්පත් වූ පසු ඒවා ඉබේම අයින් වෙන්නේ නැත. ආහාර පාළනය හා ව්‍යායාම මගින් මේදය දිය කර හැරිය යුතුය. එසේ නොකළහොත් උදරය, දරු ප්‍රසූතියෙන් පසුවත් එල්ලා වැටුණු තත්ත්වය එලෙසින්ම දිගටම පවතිනු ඇත.

වියපත් වන විට කාන්තාවන්ගේ ආර්තවහරණය එනම්, ඔසප් චක්‍රය නතර වීම සිදුවේ. මේ නිසා ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම මත කාන්තාවන් තුළ ඇති සුමුදු භාවය අඩු වන අතර කායික මානසික ක්‍රියාකාරිත්වයේ ද වෙනස්කම් හටගනී. වයසට යන්නට යන්නට පටකවල මේදය ටිකෙන් ටිකඅඩු වී යයි .

සම හා මස්පිඬු අතර මෙලෙස මේදය අඩු වූ විට ඒ දෙක අතර තිබෙන තද බව අඩු වී සම රැළි වැටේ. වයසත් සමග ශරීරයේ අනෙකුත් පටකද දුර්වල වනු ඇත. ඇඟිලි දෙකෙන් සම අල්ලා ඉස්සුවහොත් එය තරමක් වෙලා යන තුරු ම ඉස්සී පවතින්නේ මේ නිසාය. වයසට යන විට සම තුනී වීමද මේ තත්ත්වයට බලපායි. ඒ නිසා ද උදරයේ එල්ලා වැටීම සිදු වනු ඇත.

තරුණ වයසේදී සිටම තරබාරු සිරුරක් ඇති කෙනෙකු ගේ වයසට යන විට සම සහ උදරය එල්ලා වැටීම වැඩි ය. ඊට හේතුව, ඒ අයගේ ඝනකම් මේද ස්ථරයක් පැවතීමයි.

වයසට යන විට එම ස්ථරය අඩුවීමේදී සම එල්ලා වැටීම සිදු වේ. සිහින් සිරුරක් තිබූ කෙනකුගේ සමට යටින් ඇති මේද ස්ථරය තුනී නිසා වයසට යන විට මේදය අඩුවීම මත සම එල්ලා වැටීම සැලකිය යුතු තරමකින් සිදු වන්නේ නැත. ඒ අනුව තරුණ වයසේදී තිබූ ශරීරය හැමදාමත් තරබාරු වන්නට නොදී පවත්වා ගැනීම වයසට ගියත් උදරය එල්ලා වැටීම බොහෝ දුරට වළක්වා ගත හැකි හොඳම පියවරයි. එමඟින් වයසට ගියත්, වයස පෙනීම අඩු වනු ඇත.

කායික රෝග විශේෂඥ  වෛද්‍ය කේමින්ද තිලකරත්න

ඉන්දු පෙරේරා

විනිවිද සායනය