තරුණ වයසේ දී කිසිම බරපතළ රෝගයකට ලක් නොවුණහොත් ඔබ නිරුපද්‍රිතව ජීවිතේ වියපත් අවදියට ළඟා වනු ඇත. එම අවදිය ද ඔබ හොඳින් ජීවිතය ගත කරන්නට පුළුවන. නමුත් ජීවිතයේ තව තවත් ඉදිරියට යද්දී ශරීරයේ යම් යම් තැන්වල කඩාවැටීම් බලාපොරොත්තු විය යුතුවේ. එය වයසට යන විට සිදු විය හැකි දෙයකි .
නමුත් මෙලෙස සිදු විය හැකි කඩාවැටීම් පිළිබඳව සෑම දෙයක්ම ඔබට ඒ වෙලාවේදීම දැනෙන්නේ නැත. ඔබට යමක් දැනගන්නට නම් රෝගය හොඳින් වර්ධනය වී ඔබට හොඳින් දැනෙන රෝග ලක්ෂණයක් මතුවන තුරු සිටිය යුතුවේ. මේ ආකාරයට සෙමෙන් සෙමෙන් ඔබගේ ජීවිතය විනාශ කරන්නට මාන බලන රෝගයක් ගැන අද ඔබේ අවධානය යොමු කරමු.
මොළය තුළ වතුර එක්රැස් වීම පිළිබඳව ඇතැම් විට ඔබ අසා තිබෙන්නට පුළුවන . මේ නිසා මොළයේ කොටස් ක්‍රමයෙන් අයින් වන අතර, වතුර ප්‍රමාණය එන්න එන්නම වැඩි වීම මෙහි ස්වභාවය යි.
අපේ ශරීරයේ මොළය තුළ සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයක් වතුර තිබේ. ඒවා විවිධ කුහර ගණනාවක් තුළ එකතු වී පවතියි. එසේම එක කුහරයකින් තවත් කුහරයකට ඒවා ක්‍රමයෙන් මාරුවෙයි. වතුර උපදින උල්පත් කීපයක් මොළය තුළ පවතින අතර මොළයේ තවත් තැන් කිහිපයක දී මෙම වතුර උරා ගැනීම සිදුවේ . වතුර උනන ස්ථානයේ සිට උරා ගන්නා තැන දක්වා වතුර නිරන්තරයෙන් මොළය තුළ සංසරණය වෙයි.
වයස්ගත වන විට යම් හේතුවක් නිසා විටින් විට වතුර තදවීමක් ඇති වෙන හෙයින් තෙරපෙන වතුර නිසා මොළයේ සෛල තදවී යයි. අවසානයේ දී මේ හේතුව මත කුහර විශාල වීමක් සිදුවෙයි.
මොළයේ සෛල තදවීම නිසා රෝග ලක්ෂණ තුනක් ප්‍රධාන වශයෙන් පිළිබිඹු වේ.
ඇවිදීම ක්‍රමයෙන් දුර්වල වීම, මුත්‍රා ඉබේ පිටවීම, නිතර නිතර ඇති වන අමතක වීම ලෙස එය ආරම්භ වී අවසානයේදී සම්පූර්ණයෙන්ම නිකන් ම නිකන් ශරීරයක් බවට පත්වීම දක්වාම ක්‍රම ක්‍රමයෙන් එය ගමන් කරනු ඇත. එහිදී රෝගියා කිසිම කතාවක් බහක් නැතිව බලාගත් අත බලාගෙන සිටින තත්ත්වයට පත්වීම නොවැළැක්විය හැකිය. මුලින්ම හඳුනා ගැනීම තුළින් ප්‍රතිකාරවලට පැමිණ සුව වූ රෝගීන් විශාල පිරිසක් ඇතත්, මෙහි ඇති ගැටලුව වන්නේ මෙවැනි රෝගයක්, රෝගයක් ලෙස හඳුනා ගෙන වෛද්‍යවරයෙක් ළඟට පැමිණෙන්නට තරම් මානසික තත්වයක්,ශාරීරික හැකියාවක් රෝගියාට නැති වීමයි. මේ නිසා රෝගියා ක්‍රමයෙන් ඇඳටම කොටුවේ. අවසානයේ නිකන් ම ජීවිතක්ෂයට පත් වනු ඇත. රෝගියා මියගියේ වයස්ගත වීම නිසා යැයි පවුලේ අය සිතනු ඇත. මෙය වයස්ගත වීම තුළ ස්වභාවයෙන් හට ගන්නා දෙයක් ලෙස සිතන හෙයිනුත්, ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝග තත්ත්වයක් ලෙස නොදන්නා හෙයිනුත් මෙවැනි රෝගීන් හට ජීවත් වීමට ඇති අවස්ථාව අහිමි වී යයි.
සමාජයෙහි විශාල පිරිසක් මෙය සුව කළ හැකි රෝගයක් ලෙස හඳුනා ගැනීමට නොදන්නාකම නිසා වෛද්‍යවරයෙක් ළඟට පැමිණෙන්නට මෙවැනි රෝගියකුට අවස්ථාවක් ලැබෙන්නේ නැත. නමුත් මෙවැනි රෝගීන් හට රෝහලේ ප්‍රතිකාරවලට භාජනය වීමට අවස්ථාව සැලසෙන්නේ නම් සැලකිය යුතු ප්‍රමාණයකට වෙනදා මෙන් හොඳින් ජීවිතය ගත කිරීමට අවස්ථාව ලැබේ.
ප්‍රතිකාර ලෙස මුලින්ම සිදු කරන්නේ මොළයේ තදවෙන වතුර ශරීරයෙන් ඉවත් කිරීමයි. මොළය හරහා කෙළින්ම වතුර පිටතට ගැනීමක් සිදු නොකර පිට කොන්දෙන් මෙම වතුර පිටතට ගත හැකිය . මෙය සිදු කරන්නේ රෝගියාට වේදනාවක් නොදැනෙන ලෙස ඉන්ජෙක්ෂන් කටුවක් ආධාරයෙන් පිටකොන්දේ යම් ස්ථානයකින් සෙමෙන් මෙම වතුර ඉවත් කිරීම තුළිනි. සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් හට නැවතත් ජීවත් වීමේ අවස්ථාව සලසා ගන්නට මෙම ප්‍රතිකාරය ඉවහල් වේ. එමගින් ඔවුන්ට ඇවිදින්නටත් කතා කරන්නටත් නැවත අවස්ථාවක් ලැබෙනු ඇත. නමුත් අවාසනාවන්ත ලෙස යළිත් මෙසේ වතුර තද වීම ආරම්භ වුවහොත් රෝහලේදී මෙවැනි රෝගියකුව ශල්‍යකර්මයකට භාජනය කරනු ලබයි. මෙහිදී සිදු කරන්නේ මොළයේ එකතු වෙන වතුර ස්ථිර වශයෙන් බඩට වැටෙන ලෙස සියුම් බටයක් පිහිටුවීම ය. එවිට තව දුරටත් මොළයේ වතුර තද වන්නේ නැත.
එකතු වන වතුර බටය දිගේ ගොස් උදරයට ඇතුල් වෙයි . මෙවැනි ශල්‍යකර්මයක් සිදු කරන්නේ රෝගියාගේ ශරීර තත්ත්වය යහපත් නම් සහ ශල්‍යකර්මයකට සුදුසු නම් පමණි. නමුත් සමහර විට වෛද්‍යවරුන් අපහසුතාවකට පත් වන්නේ රෝගියාගේ ඥාතීන් මෙවැනි විවිධ ප්‍රතිකාර ක්‍රමවලට කැමැත්ත ප්‍රකාශ නොකිරීම නිසාය. එයට හේතුව රෝගියාට මෙමගින් සිදුවන යහපත ගැන ඔවුනට වැටහීමක් නොතිබීම ය. මෙවැනි ප්‍රතිකාරවලට කැමැත්ත දෙන්නට රෝගියාට මානසික ශක්තියක් ඒ මොහොතේ නොමැති නිසා වෛද්‍යවරුන් කැමැත්ත විමසන්නේ ඥාතීන්ගෙනි . එහෙත් ඔවුන් සියලු දෙනා ඊට වැඩි අනුකූලතාවයක් නොදැක්වීම මත රෝගියාට ජීවත්වීමට ඇති අවසාන අවස්ථාව ද අහිමි වී යන්නේ ශෝචනීය ලෙසිනි.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා