වියෝ දුක මෙන්න දුරලන උපදෙස් අතිශය වේදනාත්මක අද්දැකීමක් වන වියොව මනුෂ්‍යයන් වන අපට ඒකාන්ත වශයෙන් ම අත්විඳීමට සිදුවන දෙයක්. මෙය බිරිඳ /සැමියා හෝ පවුලේ කෙනෙකු විදේශ ගත වීම, දික්කසාද වී සැමියා හෝ බිරිඳ පවුලෙන් වෙන් වී යාම, මරණය වැනි ඕනෑම දෙයක් නිසා සිදුවන්න පුළුවන්.
වියෝව නිසා ඇතිවන හැඟීම හෙවත් චිත්තවේගය තමයි දුක වශයෙන් හඳුන්වන්නේ. තමන් ගේ ජීවිතයට වැදගත් වූ කෙනෙක් වියෝ වීම තුළ දුකක් ඇති වීම ස්වභාවික ප්‍රතික්‍රියාවක්. වියෝ වූ කෙනා සමග තිබූ බැඳීම සහ වියෝව සිදුවූ ආකාරය අනුවත්, තමාගේ පෞරුෂය අනුවත් මෙම දුක අඩු වැඩි වෙන්න පුළුවන්.
තමාගේ සමීපතමයකු හදිසි මරණයකට ලක්වූ අවස්ථාවක වියෝ දුක වැඩියි. නමුත් සමීපතමයකු වුණත් කාලයක් තිස්සේ අසනීප වී දුක් විඳිමින් හිඳ මිය ගියොත් එවිට අර තරම් ලොකු වියෝ දුකක් දැනෙන්නේ නෑ. ඒ නිසා තමයි කිව්වේ වියෝව සිදු වූ ආකාරය අනුවත් වියෝ දුක අඩු වැඩි වෙනවා කියලා.
ඒ වගේම තමාගේ සමීපතමයකු මිය ගිය අවස්ථාවක තමන්ගේ සිතට දැනෙන දුකට වඩා වැඩි දුකක්, එම මියගිය පුද්ගලයාට එතරම්ම සමීපව නොසිටි වෙනත් කෙනෙකුට දැනෙන්න පුළුවන්. එක් එක් කෙනාගේ පෞරුෂය අනුවත් වියෝ දුක අඩු වැඩි වන බවට මෙය සරල උදාහරණයක්.
වියෝ දුක නම් වූ මෙම ස්වභාවික ප්‍රතික්‍රියාවෙහි ඇති ස්වභාවික ලක්ෂණය වන්නේ එය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාමයි. නමුත් එයද පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වෙනවා.සමහර කෙනෙකුට මෙලෙස වියෝ දුක අඩු වීම වෙනුවට එය ඒකාකාරව දිගු කලක් පවතින්න පුළුවන්.
ඒ වගේම තවත් කෙනෙකුට එය අඩු වීම වෙනුවට තව තවත් වැඩි වන්නත් පුළුවන්.
මෙලෙස වියෝදුක ඒකාකාරව දිගු කලක් පවතින අයගේ සහ ක්‍රම ක්‍රමයෙන් අඩුවීම වෙනුවට එය වැඩි වන අයගේ ප්‍රතික්‍රියා අසාමාන්‍ය විය හැකියි. වියෝව සිදු වුණේ මරණයකින් නම් එම මැරුණු පුද්ගලයා ගේ පැවති ලක්ෂණ තමා තුළත් දැනෙන බව මෙවැනි කෙනෙකුට හැඟී යා හැකියි. එසේම මැරුණු පුද්ගලයාගේ හැසිරීම් බඳු හැසිරීම් රටාවන් ද තාවකාලිකව මොවුන් පෙන්වනු ලබනවා.
එය ඔවුන් හිතා මතා කරන්නක් නොවෙයි. එම පුද්ගලයාගේ සිතට දැනෙන දැඩි වියෝ දුක නිසා සිදුවිය හැකි හානිය වැළැක්වීම පිණිස මෙය මනස විසින් යොදනු ලබන සංරක්ෂණ ප්‍රයෝගයක්.
තමා අතහැර ගිය පුද්ගලයකු සමග මෙන්ම හදිසි මරණයක් වැනි දෙයක් සිදුවීමෙන් වෙන්වී ගිය පුද්ගලයෙකු සමග වුවත් සිතට දැඩි තරහක් ඇතිවන අවස්ථා තිබෙනවා. නිදසුනක් ලෙස යම් කාන්තාවකගේ සැමියා ඇය එපා කියද්දීම නිවසින් පිටව ගමනක් ගොස් එහිදී හදිසි අනතුරකට ලක්ව මිය ගියේ යැයි සිතමු. එවිට එම බිරිඳ තුළ සැමියා කෙරෙහි දැඩි තරහක් ඇති විය හැකියි.
නමුත් මේ තරහව බොහෝ විට ප්‍රකාශ වන්නේ දුකක් ලෙසිනුයි. තරහව මොන දේ කළත් දිගු කලක් ගතවෙන තුරු පහ වී යන්නේ නෑ. දුකට වඩා තරහව නැමැති චිත්ත වේගය සිත තුළ මලකඩ මෙන් දැඩිව බැඳී පවතින නිසයි.
තමාගෙන් වෙන්වී ගිය පුද්ගලයකු කෙරෙහි වෙනදා නොතිබුණු විදිහේ දැඩි ආදරයක් ගෞරවයක් ඇතැම් විට කෙනෙකුට දැනෙන්නට පුළුවන්. එවිට ඒ පුද්ගලයාගේ මොන තරම් නරක, අයහපත් ගතිගුණ තිබුණත් ඒ සියල්ල සිතින් යටපත් වී ගොස් හොඳ ගතිගුණ ම ඉස්මතු වෙනවා. මෙය ද වියෝ දුක අඩු කිරීම සඳහා සිත විසින් යොදනු ලබන සංරක්ෂණ ප්‍රයෝගයක්.
තමාව අතහැර යාම මෙන්ම මරණය තුළින් වෙන්වී යාම ද සමහර කෙනෙක් මුලදී පිළිගන්නට මැලි වෙනවා. ” එයා කීයටවත් එහෙම කරන්නේ නැහැ. ඔය ගියාට ආයෙ එයි, එයාට බෑ මාව තනියම දාලා යන්න” වැනි දේවල් සමහරුන් වියෝගයක දී පවසන්නේ මෙසේ ඒ යථාර්ථය පිළි ගැනීමට සිත ඉඩ නොදීම නිසයි.
මෙය ද ඒ පුද්ගලයා රැක ගැනීම සඳහා යටි සිත විසින් යොදනු ලබන සංරක්ෂණ ප්‍රයෝගයක්. ඉන්පසු ටිකෙන් ටික එම පුද්ගලයාගේ වියෝව පිළිගන්නට පටන් ගන්නවා.
අප කොයි තරම් ආදරය කළත්, අපේ ජීවිතය තුළ අපට කොතරම් වැදගත් වුවත් අපගේ සමීපතමයන් දිනෙක අප ගෙන් වෙන්වී යාම වළක්වන්නට බෑ. ඒ නිසා මොනතරම් වියෝ දුකක් ඇති වුණත් අපට අපේ හිත හදාගෙන අලුත් ජීවිතයට හැඩ ගැසෙන්නට සිදු වෙනවා .
වියෝදුක සමනය කර ගන්නේ කොහොමද?
* වියෝ දුක හඳුනා ගැනීම
වියෝ දුක, ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි චිත්තවේගයක්. මෙහිදී මෙම චිත්තවේග යටපත් කර ගැනීම නොව කළ යුත්තේ තමන්ගේ සිතෙහි දැඩි වියෝ දුකක් හට ගෙන තිබෙන බව හඳුනා ගැනීමයි.
* වියෝ දුකක් තමා තුළ තිබෙන බව පිළිගැනීම
සතුට, තරහ මෙන්ම දුකද ඇති වූ ලෙසින්ම දිනෙක නැතිවී යන බව පිළිගැනීම ඊළඟට කළ යුතු දෙයයි. නමුත් මෙලෙස පිළිගැනීම වෙනුවට බොහෝ දෙනෙකු කරන්නේ තමන්ට මින් එහාට ජීවිතයක් නැතැයි සිතමින් මානසිකව විශාල කඩා වැටීමකට ලක් වීමයි. අහිමිවීම යනු යථාර්ථය බව පිළිගත හැකි නම් ඉතා ඉක්මනින් ම එවැනි කෙනෙකුට යළි සාමාන්‍ය තත්ත්වයට පැමිණීමේ හැකියාව ලැබෙනවා .
* වේදනාව සමග කටයුතු කිරීමට හුරු වීම
වේදනාව නිසා පැත්තකට වී සිටීම නොව, වේදනාව සමග තමාට කටයුතු කිරීමට සිදුවන බව වටහා ගත යුතුයි. එසේම වේදනාව සමනය කරගෙන ඉක්මනින් යථා තත්ත්වයට පත්වන්නට නම් වේදනාව පවතිද්දී ම සියලු කටයුතු සාමාන්‍ය ලෙසින් සිදු කිරීම ඉතාමත්ම වැදගත්. එතෙක් තමන් කරගෙන ආ සාමාන්‍ය කටයුතු යළි ආරම්භ කිරීම සඳහා වේදනාව සමනය වන තුරු බලා සිටීම යනු වේදනාව දිගින් දිගටම පවත්වා ගැනීමට ඔබ නොදැනුවත්වම පෙළඹීමයි.
* වියෝ වූ පුද්ගලයා නැතිව ජීවත් වීමට මනස සකස් කර ගැනීම
වියෝ වූ පුද්ගලයා පරිහරණය කළ දේවල් ඒ අයුරින්ම තබාගෙන, කිසිවෙකුටවත් ඒවාට අත තබන්නට වත් ඉඩ නොදී ප්‍රවේශම් කිරීම බොහෝ දෙනෙකු සිදු කරන දෙයක්. එහි අරුත නම් වියෝ වූ පුද්ගලයා මනසින් මෙන්ම භෞතිකවද ඉවත් කරන්නට සූදානමක් නැති කමයි.
නමුත් මෙය කිසිදු ආකාරයකින් පලක් ඇති දෙයක් නොවෙයි. එමෙන්ම මෙමගින් වියෝදුක අඩු කර ගැනීමට කිසිදු පිටිවහලක් ලැබෙන්නෙත් නෑ. එනිසා එම පුද්ගලයා භාවිතා කළ කාමරයේ බඩු මුට්ටු ආදිය පවා වෙනස්කර අලුත් ජීවිතයට මනස හැඩ ගස්වා ගැනීම ඉතා වැදගත්.
* අලුත් සම්බන්ධතා ඇති කර ගැනීම
වියෝ වූ පුද්ගලයා සමඟ චිත්තවේගීය වශයෙන් තිබුණු බැඳීම අඩු කරමින් අලුත් සම්බන්ධතා හරහා ඉදිරියට යායුතුයි. අලුත් චිත්තවේගී බැඳීම් ඇතිකර ගත යුතුයි. නැතිවී ගිය බැඳීමක් තුළම මනසින් ජීවත් වීමෙන් කිසිදු යහපතක් සිදුවන්නේ නෑ. ඔබ වටා සිටින අය සහ සමාජය ඔබට දොස් කියාවි. නමුත් ඔබේ සිත හදා ගත යුත්තේ ඔබමයි. කිසිවකුටත් එය කළ නොහැකියි.
එමෙන්ම ඔබට චිත්තවේගීය වශයෙන් බැඳීම් ඇති කර ගත හැක්කේ කා සමගද යන්න දැනෙන්නේ ඔබටම පමණයි. එය පවුලේ කෙනෙකු හෝ නැතහොත් පිටස්තර කෙනෙකු වන්නටත් පුළුවන්. එසේම එය ප්‍රේම සම්බන්ධතාවක් හෝ එසේ නොවන ඥාති හිතමිතුරු බැඳීමක් වෙන්නත් පුළුවන්. අවශ්‍ය වන්නේ එය ඉතා ලෙන්ගතු බැඳීමක් වීම පමණයි.
එසේම වියෝ වූ පුද්ගලයාගෙන් පවුලට ලැබුණු දායකත්වය පිරිමසා ලිය හැකි නව මං පෙත් කෙරෙහි යොමුවීම ද තවත් ඉතා වැදගත් කාරණාවක්.
මේ අයුරින් කටයුතු කරන්නට හැකි නම් වියෝ දුකින් මිදී ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත් වන්නට හැකි වේවි.
මනෝ විද්‍ය උපදේශක ආචාර්ය සුරංග අමරකෝන්