බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ශ්‍රී ලාංකික සිනමාලොලීන්ගේ ද ප්‍රියතම නළුවකු බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. ෂාරුක්ගේ රසික රසිකාවියන් කව්රුත් මේ වනවිට බලා සිටින්නේ ඔහුගේ අලුත්ම සිනමාපටය වන ‘පතාන්’ චිත්‍රපටය සිනමා ශාලා වෙත පැමිණෙන තුරුයි. එය ලබන මාසයේ ප්‍රදර්ශණය ආරම්භ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
කෙසේ නමුත් මේ වනවිට ‘පතාන්’ චිත්‍රපටය කේන්ද්‍ර කර ගෙන ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ඒ, චිත්‍රපටයට එරෙහිව රටේ විවිධ ප්‍රදේශවල විරෝධතා රැල්ලක් පැන නැගීමත් සමග යි. විවිධ ආගමික සහ දේශපාලන කණ්ඩායම් මේ පිටුපස සිටින බව පැවසේ. ඇතැම් තැන්වල ෂාරුක්ගේ සහ ප්‍රධාන කාන්තා චරිතය රඟපාන දීපිකා පාදුකෝන්ගේ ඡායාරූප සහ පඹයන් ගිනි තැබීමට පටන්ගෙන තිබූ බවක් ද මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර ඇතැම් පාර්ශ්ව පවසා තිබුණේ චිත්‍රපටය තහනම් කළ යුතු බවයි. ඒ අතර චිත්‍රපටය වර්ජනය කරන්නැයි ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටීමේ ව්‍යාපාරයක් ද සමාජ මාධ්‍ය තුළ දියත්ව තිබේ.
මෙම විරෝධතා රැල්ල පැන නැගී ඇත්තේ ‘පතාන්’ චිත්‍රපටයේ ගීතයක් අඩංගු විඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට නිශ්පාදකයන් පියවර ගැනීමත් සමග ය. ‘බෙෂරාම් රංග්’ නැමැති ගීතය ඇතුළත් මෙම ජවනිකාවේ දීපිකා ඉතා සරාගී ආකාරයෙන් රඟපාන ආකාරයක් දැකිය හැකි අතර ඇය හැඳ සිටින්නේ ද හැඟීම් අවුස්සන ආකාරයේ ඇඳුම් ය. සිරුරේ බොහෝ තැන් නිරාවරණය වී ඇති ආකාරයක් ද එහි දැකිය හැකි වේ. කෙසේ හෝ වේවා, ඉහත කී විරෝධතාවලට හේතු වී ඇත්තේ මෙම සරාගී ජවනිකාවේ එක් තැනක දීපිකා හැඳ සිටින ඇඳුමක වර්ණය යි. එම ඇඳුම තද කහ පැහැති ඇඳුමකි. මෙම පැහැය හින්දු ආගමට අනුව පූජනීය වර්ණයක් ලෙස සැලකෙන්නකි. විරෝධතාකරුවන් තර්ක කරන්නේ දීපිකා මෙම ජවනිකාවේ එවැනි ඇඳුමක් හැඳ සිටීමෙන් හින්දු ආගමට නිගරු කරන බවයි.
ඉන්දියාවේ දේශපාලනඥයන් පවා මෙම විරෝධතාවට එක්ව සිටින අන්දම දැකිය හැකි වේ. එහි පෙරමුණේම සිටින කෙනෙකු වන්නේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති නරෝත්තම් මිෂ්රා ය. චිත්‍රපටයේ ඇතැම් කොටස් ඉවත් නොකළහොත් එය මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය තුළ ප්‍රදර්ශණය කිරීමට ඉඩ නොදෙන බව ඔහු පවසා තිබේ.
ෂාරුක් මෙන්ම දීපිකා ද මෙයට පෙර ද එරට හින්දුවාදීන්ගේ දෝෂ දර්ශණයට ලක් වූ කලාකරුවන් දෙදෙනෙකු බව රහසක් නොවේ. කලකට පෙර හින්දු අන්තවාදීන් එරට මුස්ලිම් ජනතාවට විවිධ හිරිහැර කළ අවස්ථාවක ෂාරුක් ඒ ගැන අප්‍රසාදය පළ කිරීම ඇතැමුන් තුළ ඔහු ගැන කෝපයක් ඇති කරන්නට හේතු වී තිබිණි. එමෙන්ම ඔහුගේ Raees චිත්‍රපටය සඳහා පාකිස්තාන නළුවකු යොදා ගැනීම ද සමහරුන්ගේ සතුටට හේතු වී තිබුණේ නැත. දීපිකා ද මෙයට වසර කිහිපයකට පෙර නරේන්ද්‍ර මෝදි රජයට එරෙහිව දියත් වූ විරෝධතාවකට සහභාගි වූ අතර එයින් ඇයට ද අලුත් සතුරන් පිරිසක් ඇති විය.
‘පතාන්’ චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇත්තේ ජනවාරි 25 වැනි දින ය. එය සිනමාලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින සිනමාපටයකි. ෂාරුක්ගේ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ වසර 4 කට පමණ පසුව වීම එයට ප්‍රධාන හේතුවකි. අවසන් වරට ඔහුගේ සිනමාපටයක් තිරගත වූයේ 2018 වසරේ යි. ඒ ‘සීරෝ’ (Zero ) චිත්‍රපටය යි. එහි ෂාරුක් සමග ප්‍රධාන කාන්තා චරිතය නිරූපනය කළේ අනුෂ්කා ෂර්මා ය. අනුෂ්කා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ බිරිඳයි.
ෂාරුක් ‘පතාන්’ චිත්‍රපටයේ රඟපාන්නේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කාරයකු හඹා යන ඉන්දීය රහස් ඔත්තු නිලධාරියකුගේ චරිතයක් බව පැවසේ. දීපිකා රඟපාන්නේ ඔහුගේ සහයක නිලධාරිනියකගේ චරිතය යි. ජෝන් ඒබ්‍රහම් ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරයි. ඉන්දියාවේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද මෙහි රූපගත කිරීම් සිදු විය.
නිහාල් පීරිස්