විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරියට බරපතල සැත්කමක්; රෝගය කුමක්ද යන්න හෙලි නොකරයි; ලබන සතියේ චාල්ස් රජුත් රෝහල්ගත වෙයි

බ්‍රින්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරිය බරපතල සැත්කමක් සඳහා රෝහල්ගත කිරීම මේ දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වී තිබේ. මෙයට අදාළව පළවන වාර්තා අනුව පෙනෙන්නේ ඇය කිසියම් බරපතල අසනීප තත්ත්වයකින් පසුවන බවයි. ඉහත කී සැත්කම කර ඇත්තේ කුමරියගේ උදරයේ බව සඳහන් වේ. The London Clinic නැමැති පෞද්ගලික රෝහලේ කරන ලද මෙම සැතකමෙන් පසු ඇයට සති දෙකක පමණ කාලයක් එහි රැඳී සිටින්නට සිදුවනු ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් රජ පවුල සඳහන් කර තිබිණි.

රෝහලේ සිට නිවසට පැමිණීමෙන් පසුව ද තවත් මාස තුනක පමණ කාලයක් ඇයට විවේක ගන්නට සිදුවනු ඇති බවත්, ඒ කාලය තුළ කිසිදු නිල කටයුත්තකට කේට් කුමරිය සහභාගි නොවනු ඇති බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන්ව තිබේ. මේ අයුරින් ඇය දීර්ඝ කාලයක් රෝහලේ රැඳී සිටීමත්, දිගු කාලයක් විවේක ගන්නට සිදුව තිබීමත් නිසා ඇතැම් නිරීක්‍ෂකයන් පවසන්නේ ඇය කිසියම් බරපතල රෝග තත්ත්වයකින් පෙලෙමින් සිටිනවා විය හැකි බවයි. මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ මාධ්‍ය වාර්තා අනුව පෙනී ගියේ ඇයගේ දරුවන්ට පවා තවම ඇය බැලීමට යාමට ඉඩදී නැති බව ය.

මේ වනවිට 42 වැනි වියෙහි පසුවන කේට් කුමරියට කළ සැත්කම පිළිකාවක් සම්බන්ධ සැත්කමක් නොවන බව කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ ඉහත කී නිවේදනයේ සඳහන් වේ. කෙන්සින්ටන් මාලිගය යනු විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ නිල වාසස්ථානය පිහිටා ඇති මාලිගය යි.

ඉහත කී කාරණා හැරෙන්නට කුමරියගේ සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් වෙනත් වැඩි විස්තරයක් සඳහන් කර තිබුණේ නැත. වැඩි විස්තර ප්‍රසිද්ධියට පත් කරනවාට කුමරියගේ කැමැත්තක් නැති බවක් ද සදහන්ව තිබිණි. කෙසේ නමුත් රජ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය ගැටලුවලට අදාල වැඩි විස්තර ප්‍රසිද්ධියට පත් නොකිරීම සාමාන්‍ය සම්ප්‍රදාය බව ද සඳහන් කළ යුතු වේ.

සිය බිරිඳගේ සැත්කමෙන් පසු විලියම් කුමරු ද ඔහුගේ නිල කටයුතුවලින් තාවකාලිකව ඉවත් වී තිබේ. කේට් කුමරිය සුවය ලබන තුරු ඔහු ඇය සහ දරුවන් සමග කාලය ගත කිරීම සඳහා නිල කටයුතුවලින් ඉවත්ව සිටිනු ඇති බව මාලිගය ප්‍රකාශ කර ඇත. විලියම් කුමරු මේ ආකාරයෙන් නිවාඩු ගැනීම ද කේට් කුමරියගේ තත්ත්වයෙහි ඇති බරපතල බව පෙන්වන්නක් බැව් ඇතැමුන්ගේ අදහස යි.

උදරයේ සැත්කමක් යන්න අවයව කිහිපයකට අදාල වේ. ආමාශය, බඩවැල් මෙන්ම කාන්තාවන්ගේ ගර්භාෂය ද උදරයට අයත් ය. කේට් කුමරියගේ සැත්කම මින් එක් අවයවයක කරන ලද්දක් විය යුතු බව වෛද්‍ය විශේෂඥයන්ගේ අදහස යි. කුමරිය අනාගත රජ බිසවක වීමට සිටින කෙනෙකු නිසා ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරුන් විශේෂ අවධානයක් යොමු කරනවා විය හැකි බවත් ඇතැමුන් පෙන්වා දී තිබිණි.

කේට් කුමරිය යොදාගෙන සිටි නිල කටයුතු ද රැසක් අවලංගු කර ඇති අතර මේ නිසා ඇති වූ අපහසුතාවන් ගැන ඇය අදාළ පාර්ශ්වවලින් සමාව ඉල්ලා තිබිණි.

රෝහලෙන් නික්ම ඒමෙන් පසු කේට් කුමරිය විවේක ගැනීමට නියමිතව ඇත්තේ වින්ඩ්සර් මාලිගය පිහිටි පරිශ්‍රයේ ඇති විලියම්-කේට් දෙදෙනාගේ පෞද්ගලික මැදුරේ ය. එය හැඳින්වෙන්නේ ඇඩිලේඩ් නිවහන යනුවෙනි. මෙය ශීත කාලයට අධික ශීතලෙන් යුතු නිවහනක් බව සඳහන් වේ. කේට් නැවත සුවය ලබන අවස්ථාවේ මෙවැනි තැනක කාලය ගත කිරීම එතරම් සුදුසු නැති බවට ද අදහස් පළ වී තිබිණි.

මේ අතර චාල්ස් රජු ද ලබන සතියේ රෝහල්ගත වීමට නියමිත බව ඔහුගේ නිල මාලිගය වන බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි. ඔහු ප්‍රොස්ටේට් ග්‍රන්ථිය ඉදිමීමේ තත්ත්වයකින් පීඩා විඳින බවත්, රෝහල්ගත වන්නේ ඊට ප්‍රතිකාර ගැනීමට බවත් සඳහන් ය. මෙය වයස අවුරුදු පනහට වැඩි පිරිමින් නිතර මුහුණ දෙන රෝගී තත්ත්වයකි. පිරිමින්ගේ මුත්‍රාශයට පහළින් පිහිටා ඇති ප්‍රොස්ටේට් ග්‍රන්ථිය ප්‍රජනන ක්‍රියාවලියේ දී අවශ්‍ය වන තරළයක් නිපදවන තැනකි. 75 වැනි වියෙහි පසුවන චාල්ස් රජුගේ රෝග තත්ත්වය පිළිකාමය තත්ත්වයක් නොවන බව ද බකිංහැම් මාලිගය පවසා තිබේ.

චාල්ස් රජු, විලියම් කුමරු සහ කේට් කුමරිය යන රජ පවුලේ ජ්‍යෙෂඨයන් තිදෙනාම නිල කටයුතුවලින් ඉවත් වීමත් සමග චාල්ස් රජුගේ බිරිඳ වන කැමිලා බිසවට එම කාලය තුළ විශාල වගකීමක් පැවරෙනු ඇති බව ද රජ පවුල පිලිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර