විවාහය ගිළිහුණු එක කොච්චර හොඳද?කියලා දැන් මට හිතෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී මාලි ජයවීරගේ

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍ය කිහිපය අතරට අවිවාදයෙන්ම අයත් වන ටෙලි නාට්‍යයක් වන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ “කෝලම් කුට්ටම” ය. එහි ගුරුන්නාන්සේ ගේ බිරිඳ වන හිච්චි නෝනා ගේ චරිතයට ජීවය දෙන්නේ වසර ගණනාවක පටන් අඛණ්ඩව රංගන ක්ෂේත්‍රය තුළ දකින ප්‍රවීණ රංගන ශිල්පිනියකි. ඇය මාලි ජයවීරගේ ය.
වසර හතළිහකට ඉතාමත්ම ආසන්න කාලයක් රංගන ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව රැඳී හිඳිමින් එම ක්ෂේත්‍රය තුළ නොනැසෙන නමක් තබාගෙන, අන් අයගේ ආදර ගෞරවය නොමඳව ලබමින් කිසිසේත්ම බැස නොයන තරුවක් ලෙස නොව සඳක් ලෙස රැඳී හිඳින එම රංගන ශිල්පිනියගේ වගතුග කෙසේ දැයි අපි සොයා බලමු.

* මාලි කොහොමද මේ ක්ෂේත්‍රයට ආවෙ?

රංගන ශිල්පිනියක් විදිහට මං මුලින්ම ආවේ වේදිකාවෙන්. නමුත් ඊටත් කලින් මම ප්‍රවීණ නර්තන ශිල්පී කමෙල් රත්නසිරි මහතාගෙන් නැටුම් හැදෑරුවා. ඒ නැටුම් පන්ති තිබුණේ කොළඹ සුදර්ශි ශාලාවේ. සුදර්ශිය කියන්නේ ඇත්තෙන්ම වේදිකා නාට්‍යවල තිඹිරි ගෙය වගේ තැනක්. වේදිකා නාට්‍ය පුරුදු පුහුණු වෙන ශිල්පීන් ඒ සඳහා එකල අනිවාර්යයෙන් යොදාගත් තැනක් තමයි සුදර්ශී ශාලාව.

* එහෙම නම් මාලි ජයවීරගේ නැමැති රංගන ශිල්පිනියගේ තිඹිරිගෙයත් සුදර්ශියම වෙන්න ඇති.

ඒ කතාව ඇත්ත

* කොහොමද ඒක සිද්ධ වුණේ?

නැටුම් ඉගෙන ගන්න සුදර්ශියට එන කාලේ අපි නිතරම නළු නිළියන්ට දකිනවා. ඒ කාලේ දැන් වගේ රූපවාහිනි තිබුණේ නැති නිසා අපි නළු නිළියන්ව හඳුනගත්තේ චිත්‍රපටි වලින් සහ වේදිකා නාට්‍යවලින්. ඉස්සර අපි හරි ආසයි එයාල ව දකින්න. ඔය කාලේ නිහාල් සිල්වා නිතර සුදර්ශියට ආව ගිය කෙනෙක්. 1984 දි හෙලේනා ලෙහ්තිමකී නම් ෆින්ලන්ත ජාතික නාට්‍යවේදිනියක් රංගන ශිල්පීන් සඳහා වැඩමුළුවක් සුදර්ශියේ පවත්වනවා කියලා මට ඒකට සහභාගී වෙන්න කිව්වෙ නිහාල් අය්යා. වැඩමුළු වලට සහභාගී වෙන්න නම් මම හරිම කැමතියි. ඒත් රඟපාන්න නම් මගේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ. ඇත්තටම මගේ තිබුණේ ඒ ගැන පොඩි බයක්. නිහාල් අයියා කිව්වා “මේකෙ රඟපාන්න නෑ. ඉගෙන ගන්න වැඩමුළුවක්” කියලා. ඒ උඩ තමයි මං මේකට සම්බන්ධ වුණේ.

* මාලි, පුන්තිලා නාට්‍යයේ රඟ පෑවා නේද?

ඔව්. නිළියක් වෙන අරමුණක් මට කොහෙත්ම තිබුණෙ නැති වුණත් මම මේ වැඩමුළුවට සහභාගි වුණේ හරිම ආසාවෙන්. ඒ රංගන අභ්‍යාස හරි ආසාවෙන් ඉගෙන ගත්තා. ඒ වගේම අපට මග වියදමට රුපියල් දහයකුත් දිනපතාම ලැබුණා. රුපියල් දහයක් කියන්නේ ඒ කාලේ තරමක් ලොකු මුදලක්. මම කැලණියේ අපේ ගෙදර ඉඳලා සුදර්ශියට යාම් ඊම් කරලා ඒ රුපියල් දහයෙන් තව පොඩි ගාණක් ඉතුරුත් කර ගත්තා. කොහොම වුණත් පුන්තිලා නාට්‍යයේ ලයිනා කියන මෙහෙකාරියගේ චරිතයට මාව තෝරාගත්තා. මුලින් ලොකු බයක් තිබුණත් ඊට පස්සේ ඇත්තටම මං මේ චරිතය කළේ ගොඩක් ආසාවෙන්. ඊට පස්සේ විජය නන්දසිරිගේ කුස පබාවතී එකට සම්බන්ධ වුණා.
එතන ඉඳලා මට දක්ෂ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් ගණනාවක් එක්ක වේදිකා නාට්‍යවල වැඩ කිරීමේ වාසනාව ලැබුණා. මේ විදියට රඟපෑමට මගේ තිබුණු බය තුරන් වෙලා ගියා.

* දූදරුවෝ ටෙලි නාට්‍යයේ ඔයා මතක හිටින චරිතයක් කළා?

ඔව්,නාලන් මෙන්ඩිස් මහත්තයාගේ ” දූ දරුවෝ” ටෙලි නාට්‍යයට සම්බන්ධ කළේ ඒකේ චරිතයක් රඟපාන අතරේ සහාය අධ්‍යක්ෂ විදිහටත් කටයුතු කරපු උදේනි අල්විස්. ඒ තමයි මගේ පළවෙනි ටෙලි නාට්‍යය. ඒකේ කුසුමලතාගේ (සුනේත්‍රා සරච්චන්ද්‍ර) ඇඳුම් සාප්පුවේ ඇඳුම් මහන සේවිකාවක් වුණු එමිල්ඩා ගේ චරිතය තමයි මම රඟපෑවේ. එයින් පස්සේ මට ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් යටතේ ටෙලිනාට්‍ය ගණනාවක රඟපාන්න අවස්ථාව ලැබුණා.
සුදත් දේවප්‍රියගේ මඩොල්දූව, ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය, සුදත් රෝහණගේ මුදියන්සේ මාමා, තිස්ස අබේසේකරගේ වනසරණ, පිටගම්කාරයෝ, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ගිරිකුල අන්දරය, ආරියරත්න ඇතුගලගේ සූසැට මායම්, අනුරුද්ධ ජයසිංහගේ පියාඹන මූනිස්සන්, විමලරත්න අධිකාරිගේ රන්දෝලි, ආනන්ද අබේනායකගේ පුරඟනන් ඇවිත්, සාරංග මෙන්ඩිස්ගේ භාර්යාවෝ, ශ්‍රියන්ත දිසානායක ගේ හදවතේ කතාව, මංජුල සිංහ පෘථිවිගේ සඳ දියමංකඩ, ටිකිරි රත්නායක ගේ මුතු කුඩ, සුනිල් කොස්තාගේ කැන් යූ හියර් මී, හසුන් සමීරගේ චලෝ, අශෝක හඳගමගේ ප්‍රභාතය මේ අතරින් කිහිපයක්. ඒ වගේම අශෝක හඳගමගේ භූමිකා, හෙණ, මාඝාත කියන වේදිකා නාට්‍යවලත් මම රඟපෑවා. සිරස රූපවාහිනියේ විකාශය වුණු ඉන්දියානු නාට්‍ය කණ්ඩායමක් විසින් නිර්මාණය කර වසූදා ටෙලිනාට්‍යයේ රඟපෑමත් මා ලද සුවිශේෂ අත්දැකීමක්.

* මාලි චිත්‍රපටවල රඟපෑමට සම්බන්ධ වුණේ නැද්ද?

මම මේ වන විට රඟපාපු සියලුම ටෙලිනාට්‍ය ප්‍රමාණය මං හිතන්නේ සියයකට ආසන්න ඇති. නමුත් චිත්‍රපට නම් මට ලැබිලා තියෙන්නේ සීමිත ප්‍රමාණයක් විතරයි. පරාක්‍රම නිරිඇල්ලගේ අයෝමා, වසන්ත ඔබේසේකරගේ දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා, ධර්මසිරි බණ්ඩාරනායකගේ භව දුක, භව කර්ම, ජයන්ත චන්ද්‍රසිරිගේ ගරිල්ලා මාකටිං, සුනිල් ආරියරත්න ගේ උප්පලවන්නා, ජැක්සන් ඇන්තනීගේ ජුලියට්ගේ භූමිකාව, සරත් වීරසේකරගේ ගාමනි මම සම්බන්ධ වුණු චිත්‍රපටි .
ඇත්තටම මහ ලොකු නිළියක් නොවුණට මට මගේ රංගන ජීවිතය ගැන මහා විශාල තෘප්තියක් දැනෙනවා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. රංගනයෙහි නියුතු ඕනෑම කෙනෙකුගේ සිහින අධ්‍යක්ෂවරුන් වන ප්‍රවීනයන් ගණනාවක් සමග මට වැඩ කිරීමේ වාසනාව ලැබුණා. ඒක මම හිතන්නේ හැමෝටම ලැබෙන භාග්‍යයක් නොවෙයි. ඒ අතින් මම හරිම වාසනාවන්ත නිළියක්.

* මාලි වේදිකාවෙන් දැන් ඈත් වෙලාද?

කොහෙත්ම නෑ. මේ දවස්වල මම සුජීව ප්‍රියලාල් ගේ ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යයේ ලෝරාගේ චරිතය නිරූපණය කරනවා.

* කෝලම් කුට්ටම හැරුණු විට මේ දවස්වල අපට මාලිව දැකගන්න ලැබෙන ටෙලි නාට්‍ය මොනවද ?

කෝලම් කුට්ටම ගැන කතා කරනකොට එහි අධ්‍යක්ෂවරයා වන ශිවගුරුනාදන් ගැනත් වචනයක් දෙකක් නොකිව්වොත් මං හිතන්නේ ඒක අඩුවක්. ඔහු මේ දිනවල සිටින ජනප්‍රියතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඉතාම සැහැල්ලුවෙන් අපේ චරිතය රඟපෑමේ නිදහස ඔහු අපට ලබා දී තිබෙනවා. ඔහු වැනි අධ්‍යක්ෂවරයකු සමග වැඩ කරන්නට ලැබීමත් ඇත්තෙන්ම භාග්‍යයක්. ඒ සමගම ශාන් ජයරත්නගේ පළවෙනි අධ්‍යක්ෂණය වූ අක්ෂි ටෙලි නාට්‍යයේ ද මම ආදි ( ශලනි තාරකා) ගේ ආච්චිගේ චරිතය රඟපානවා. ශාන්ගේ පළවෙනි අධ්‍යක්ෂණය වුවත් ඔහු මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබෙන කෙනෙක්. අක්ෂි ටෙලි නාට්‍යයත් මේ දිනවල ගොඩක් ජනප්‍රියයි. මේ චරිත දෙකටම මම ඉතාමත්ම කැමතියි.

* ඔයා සම්මානනීය නිළියක්. මම හරිද?

ඇත්තටම ලොකු සම්මාන උළෙලවල්වලින් මට තවම සම්මාන ලැබුණේ නැති වුණත් ඉතාමත්ම අගය කළ යුතු සම්මාන තුනක් මට ලැබුණා.
එකක් තමයි ජයලත් මනෝරත්න ගේ ෆෝත් වෝල් කණ්ඩායම විසින් මනෝරත්න ගේ නාට්‍ය උළෙලක් පැවැත් වූ අවස්ථාවේ දී මාව පුදුමයට පත් කරමින් ඔවුන් මට සම්මානයක් පිරිනැමුවා . ඒ වේදිකාවට කරන ලද සේවය වෙනුවෙන් “වේදිකාවේ දිරිය සොයුරිය” ලෙස ඇගයීම් සම්මානයක්.
ඊළඟ සම්මානය සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ සුවඳ පද්ම සම්මානය යි. එම සම්මානය පිරිනැමුණේ ක්ෂේත්‍රය තුළ ඉතාමත්ම යහපත් ලෙස රැඳී සිටිමින් කරන ලද සේවය ඇගයීම සඳහායි. අනෙක කෙටි නාට්‍ය උළෙලක මට හොඳම නිළිය සම්මානය හිමි වුණා.

* මාලි මෙම ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව එදා මෙන්ම අදත් රැඳී හිඳිනවා

මට මං ගැන ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මම මේ රංගන ක්ෂේත්‍රය තුළ කිසිම ආකාරයකින් මගේ නමට කැළලක් ඇතිකර ගත්තේ නෑ. ඒ වගේම කාටවත් අකුල් හෙළලත් නෑ. හැම දෙනාටම මං එකසේ දෙන්නෙ ආදරය. ඒ නිසා හැමෝගෙන්ම මට පෙරළා ලැබෙන්නෙත් ආදරයමයි. කිසි කෙනෙක් මට වරදක් කියන්නෙවත්, මට නපුරක් කරන්නේවත් නෑ. මං මේ ගමන යන්නේ බොහොම හෙමින්, හරියට කඹයක් උඩ ඇවිදිනවා වගේ හරිම සීරුවෙන්, පරිස්සමෙන්. ඒ හින්දා මට හැකියාව ලැබුණා මේ ක්ෂේත්‍රය තුළ මගේ නමත් රැකගෙන, මම කරන චරිතවලට උපරිම සාධාරණයකුත් කරමින් මා සමග වැඩ කරන සියලු දෙනා සමගින්ම ඉතා ළෙන්ගතුව කටයුතු කරන්න.

* මම දැන් අහන්නේ ඔයාගෙන් පෞද්ගලික ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය අහන්නේ නැතුව ඉන්නම බෑ මට. ඇයි මාලි විවාහ නොවුණේ ?

තරුණ කාලෙදි මටත් හරි ආසාවක් තිබුණා මනමාලියක් වෙන්න. බැඳල දරුවො හදන්න. ඒ වයසේ ඉන්න ඕනෑම තරුණියකට ඇතිවෙන ආසාවල් මටත් තිබුණා. ඒ ගැන ගොඩක් හීන තිබුණා . කොහොම හරි මම යොවුන් වයසේ ඉන්නකොට අම්මාට මම නිතරම කියපු දෙයක් තමයි “අම්මේ මට අවුරුදු විසි පහේදී බඳින්න ඕනෙ. මොකද මට අවුරුදු පනහ වෙනකොට මගේ ළමයව කසාද බන්දලා දෙන්නත් ඕනේ” කියලා.

* ඔයාට පෙම්වතෙක් හිටියද ?

නෑ .

* ඒ කියන්නේ කාටවත්ම ආදරේ කරලා නැද්ද ?

නෑ. මාත් එක්ක යාළු වෙන්න අහල කවුරු හරි මට ලියුමක් දුන්නොත් මම ඒක කෙලින්ම ගෙනත් දෙන්නෙ මගෙ අයියා අතට. මට ඉන්නේ අයියයි නංගියි මල්ලියි. අයියා මා එක්ක ලොකු සම්බන්ධතාවයක් ඉස්සර ඉඳලම තිබුණා. මගේ වගේම නංගිගේ, මල්ලිගේත් රැකවරණය ගැන අම්මා තාත්තා තරමටම හිතපු කෙනෙක් තමයි අපේ අයියා. මම කැමති වුණ එක පිරිමි ළමයෙක් නම් හිටියා. හැබැයි එයා මාත් එක්ක යාළු වෙන්න ඇහුවම මම ගෙදරට ඇවිත් ඒ ගැන කිව්වා. අපේ දෙමව්පියෝ හොයලා බලනකොට එයා මට වඩා අවුරුදු දහයක් බාලයි. ඒ නිසා ඒ කටයුත්ත කරන්න අම්මලා කැමති වුණේ නෑ. මමත් එතනින්ම ඒ ගැන අදහස අතහැර දැමුවා. මගේ අයියයි නංගියි මල්ලියි තුන්දෙනාම බැන්දට පස්සේ අම්මා අයියත් එක්ක එකතු වෙලා මට මනමාලයො හෙව්වා. නමුත් මොනව හරි හේතුවක් උඩ ඒ එකකටවත් කැමැත්තක් ඇති වුණේ නෑ. අපේ අම්මා මගේ කේන්දරේ පන්සලේ හාමුදුරුවන්ට දීලා බලවලා තිබුණා. එතකොට හාමුදුරුවෝ කිව්වලු “මෙයාට තියෙන්නෙ නොගැළපෙන විවාහයක්. ඒ විවාහය කරනවට වඩා එයාට මෙහෙම ඉන්න දෙන්න. එයා මේ විදියට හොඳ ජීවිතයක් ගත කරයි. බල කරන්න එපා කිසි දේකට” කියලා. ඒ වුණත් අම්මා මට මනමාලයො හොයන එක නම් නතර කළේ නැහැ. හැබැයි අම්මාවත්, අයියාවත්, තාත්තාවත් මට කිසිම දවසක අහවලාට කැමති වෙන්න කියලා කිසිම කෙනෙක් ගැන බල කිරීමක් කළේ නෑ. ඒ තීරණය මටම ගන්න ඉඩ දුන්නා. අන්තිමට මට මගේ හිතට ගැලපෙන කෙනෙක් හමු වුණේ නැති නිසා විවාහය කියන දේ මගෙන් ගිලිහිලා ගියා. මට දැන් නම් හිතෙනවා එහෙම වුණ එක කොයි තරම් හොඳද කියලා.

* ඇයි එහෙම හිතෙන්නේ?

මට ජීවිතේ අඩු සැමියෙක් සහ දරුවෙක් විතරයි. මට අනිත් හැමදේම තියෙනවා. මට මගේම කියලා ගෙයක් තියෙනවා. ජීවත් වෙන්න ආදායමක් තියෙනවා. මගේ සහෝදරයන් දෙදෙනාත්, සහෝදරියත් මං ගැන හොඳින් සොයා බලනවා. ඒ විතරක් නෙමෙයි මගේ සහෝදරයින්ගෙ දරුවෝ, ඒ ගොල්ලන් විවාහ කරගෙන ඉන්න අය මේ හැමෝම මට හරි ආදරෙයි. හැමදෙනාම මට පුංචි අඩුපාඩුවක්වත් වෙන්න දෙන්නේ නෑ. ඒ වගේම තමයි මං ආශ්‍රය කරන අය. මගේ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම මට ආදරෙයි. ක්ෂේත්‍රයේ අපි වැඩ කරන කොට වුණත් ඒ හැමෝගෙන්ම මට ලැබෙන්නේ ලොකු සහයෝගයක්. රෑ වුණොත් කිසි කෙනෙක් මට තනියම එන්න ඉඩ තියන්නේ නෑ. ගෙදරටම ගෙනත් බස්සනවා. ඒ වගේම මම ආශ්‍රය කරන යාළුවන් හැමෝගෙම පවුල්වල අයත් මම හොඳටම දන්නවා. ඒ වගේම ඒ අයත් මගේ පවුලේ අය හඳුනනවා. ඉතින් මේ විදිහට ආදරය කියන දේ බෙදා හදාගෙන සහයෝගයෙන් ජීවත් වෙනකොට සැමියෙක්, දරුවෙක් නැති අඩුවක් නම් මට කොහොමටවත් දැනෙන්නේ නෑ . ඒ වෙනුවට මට දැන් හිතෙනවා එවැනි බැඳීම් නැතිව මෙහෙම තනිවම ජීවත් වෙනකොට පින් දහම් කරගෙන කොයිතරම් නිදහසේ ඉන්න පුළුවන් ද කියලා. අන්න ඒ නිදහස් සුවය අද මම ඉතා හොඳින් අත් විඳිනවා.

ඉන්දු පෙරේරා

රසගඟුල